මිලර්ගෙන් සහ ප්ලෙසිස්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ප්‍රහාරයක්

339
Sri Lanka v South Africa 2nd ODI

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණයත් සත්කාරක දකුණු අප්‍රිකානුවන් සතු වූයේ ලකුණු 121ක් වැනි දැවැන්ත පරතරයකිනි. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිළට ප්‍රථම එක්දින තරගයේ ඉලක්කය වරදියි

දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම් එක්කාසු කොට ගනිමින් පැවැත්වුනු තරග 10කින් සමන්විත තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා…

ඊයේ ඩර්බන් තණතිල්ල මතදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග ප්‍රබල පිතිකරුවන් රැසකින් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමට මුලින් පිතිකරණයේ යෙදීමට ආරාධනා කිරීම තරමක් මතභේදාත්මක තීරණයක් බවට පත්විය. තරමක් මන්දගාමී, සුළු දඟ කැවීමක් සහිත ඩර්බන් තණතිල්ලෙන් යම් සහයක් උකහා ගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීම සමහරවිට ඔහුගේ බලාපොරොත්තුව වන්නට ඇත.

කෙසේවෙතත් ඒ අනුව ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 307ක් වාර්තා කිරීමට සමත් විය. ඉනිමේ මුල් භාගයේදී දකුණු අප්‍රිකාව සතු සුපිරිම පිතිකරුවන් සිව් දෙනෙකුට ක්‍රීඩාගාරයේ විවේක සුව විඳින්නට සලස්වමින් එක් අවස්ථාවක ලකුණු පුවරුව කඩුලු 4ට ලකුණු 108ක් ලෙස දිස්වූවත් ඩූ ප්ලෙසිස් සහ ඩේවිඩ් මිලර් පස්වෙනි කඩුල්ල සඳහා ලකුණු 117ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නංවමින් දකුණු අප්‍රිකානුවන්ට ජය මාවත විවර කර දුන්හ. මෙම සබඳතාවය බිඳ දැමීමට ලකුණු 63ක් ලබාසිටි ෆැෆ් ඩූ ප්ලෙසිස්ගෙන් ලැබුනු උඩපන්දුව ස්ලිප් හි පන්දු රැකි ධනංජය සිල්වා අත්හැරීම තරගයේ තීරණය කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය.

ප්ලෙසිස් හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 105ක් රැස්කල අතර ඉනිමේ අවසන් භාගයේදී ශ්‍රී ලංකාවට මල්වෙඩි සන්දර්ශනයක් පෙන්වූ ඩේවිඩ් මිලර් හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 6ක් සමගින් ලකුණු 117ක් රැස් කළේය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සැලකිය යුතු තරම් හොඳින් පන්දු යැවුවත් වේග පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට හසුවීම නිසා අවසන් පන්දුවාර කිහිපයේදී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යාමට හේතු විය.

ලකුණු 308ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සහ කලින් තරගයේදී මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කල උපුල් තරංගයි. ඔවුන් දෙදෙනා පන්දු කිහිපයක්ම හතරේ සීමාවෙන් එපිටට යවමින් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ලබා දුන්නද දකුණු අප්‍රිකානු පිළේ සුපිරි පන්දු රැකීමේ දක්ෂතා හේතුවෙන් නැවත ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදුවිය. එතැන් පටන් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් කිහිප දෙනෙකුම යම් ආරම්භයක් ලබා ගත්තත් ඒ කිසිවෙකුටත් දීර්ඝ ඉනිමක් කරා යාමට නොහැකි විය. එබැවින් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 187ක් ලෙස සටහන් විය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ දක්ෂතා දැක්වූ අතර තහීර්, ඩුමිනි සහ පාර්නෙල් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

රටවල් දෙක අතර තුන්වැනි එක්දින තරගය පෙබරවාරි 4 වැනිදා ජොහැන්ස්බර්ග් හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතව ඇත. තරගාවලි ජයග්‍රහණයක් පිලිබඳ බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය අනිවාර්ය ජය ගැනීමට සිදුව තිබේ.

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 307 (පන්දුවාර 50): ඩේවිඩ් මිලර් 117*, ෆැෆ් ඩු ප්ලෙසිස් 105, ක්‍රිස් මොරිස් 26, සුරංග ලක්මාල් 2/54, සචිත් පතිරණ 1/19.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 37.5): දිනේෂ් චන්දිමාල් 36, උපුල් තරංග 26, සචිත්‍ පතිරණ 26, නිරෝෂන් දික්වැල්ල 25, ඉම්රාන් තහීර් 2/26, ජේ. පී. ඩුමිනි 2/30, වේන් පාර්නෙල් 2/34.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<