උණුසුම් සටන ජය පරාජයෙන් තොරව අවසන්

588

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර කල්කටා හිදී පැවැත්වූ පළමු ටෙස්ට් තරගය, අයහපත් ආලෝක තත්වය නිසාවෙන් අද (20) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් හා පස්වන දිනය ආරම්භ වන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 171ක් ලබාගෙන සිටියේය.

මතභේදාත්මක සිව්වන දිනය අවසානයේ ඉන්දියාව ශක්තිමත් ස්ථානයක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ කල්කාටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී…

දිනය ආරම්භ කරමින් දසුන් ශානක පළමු පන්දුවාරය යොමු කළ අතර තරගයේ 44 වන පන්දුවාරය යොමු කළ සුරංග ලක්මාල්, 4 පහර 8ක් සමඟින් ලකුණු 79ක් ලබා ගෙන සිටි ලෝකේශ් රාහුල්ව දවා ගැනීමට සමත් විය.

නායක විරාත් කෝලි හා එක් වෙමින් හොඳ සබඳතාවයක් ගොඩනැංවීමට බලාපොරොත්තුවෙන් සිටි චෙටෙස්වර් පුජාරා, ලකුණු 22ක් ලබාගෙන සිටිය දී ලක්මාල් එවූ බවුන්සර් පන්දුවකට ගලී කලාපයේ සිටි දිල්රුවන් පෙරේරාට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

නැවතත් ක්‍රියාත්මක වූ ලක්මාල් මෙම ඉනිමේ දැනට ලබාගත් තෙවන කඩුල්ල ද ලබා ගනිමින් ආජින්ක්‍ය රහානේව ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහුව හසු කර ගනිමිනි. නමුත් පිටියේ විනිසුරුතුමා ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් රහානේ තෙවන විනිසුරුතුමා වෙත සිය දැවී යාම යොමු කළත්, එහි දී අවසන් තීරණය බවට පත්වූයේ පිටියේ විනිසුරුතුමාගේ තීරණය අවසන් තීරණය බවයි.

පස්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ නායක කෝලි හා රවින්ද්‍ර ජඩේජා ස්ථාවරත්වය රැකගෙන ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වුවත්, එය ඵල රහිත කිරීමට දිල්රුවන් පෙරේරාට හැකි වූයේ සිලිප් කලාපයේ රැඳී සිටි ලහිරු තිරිමාන්න අතට ජඩේජා විසින් උඩ පන්දුවක් ලබා දී ලකුණු 9කට දැවී ගිය නිසාවෙනි.

දිවා විවේකයට තරගය නතර කරන විට ඉන්දීය දෙවන ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 251ක් ලෙස දැක්විය. අශ්වින් හා ව්‍රිදිමන් සහා පිළිවෙළින් ලකුණු 7කට හා ලකුණු 5කට දැවී ගිය පසු ක්‍රියාත්මක වූ කෝලි වේගවත් පිතිකරණයක නිරත වෙමින් එක අන්තයක් රැකගෙන ක්‍රීඩා කළ අතර අවසානයේ කෝලි සිය 18 වන ටෙස්ට් ශතකය වාර්තා කර ගත්තේ 4 පහර 12ක් හා දැවැන්ත 6 පහර දෙකක් සමඟිනි. කෝලි ශතකය ලබා ගෙන ඉන්දීය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කරන විට නොදැවී ක්‍රීඩා කළ ඔහු හා මොහොමඩ් ශමී පිළිවෙළින් ලකුණු 104*ක් හා ලකුණු 12*ක් ලබා ගෙන සිටියේය.

ලකුණු 231ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 2ක් ලෙස දැක්වෙන විට කඩුලු 2ක් දැවී ගොස් තිබුණි.

ඇන්ජලෝ මැතිව්ස් හා ලහිරු තිරිමාන්න තෙවන කඩුල්ල සඳහා ලකුණු 12ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී බුවනේස්වර් කුමාර් එවූ පන්දුවකට ලකුණු 7ක් ලබා ගෙන සිටි තිරිමාන්න දැවී ගියේ ශ්‍රී ලංකා පිතිකරණය යම් අවදානමකට ඇද දමමිනි.

උමේෂ් යාදෙව් හා දකුණතින් වේගපන්දු යවන මොහොමඩ් ශමී, මැතිව්ස් හා චන්දිමාල්ව දවා ගැනීමට සමත් විය. එහි දී 4 පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගැනීමට චන්දිමාල්ට හැකි විය. ඉන්දීය පන්දු යවන්නන්ට අභියෝගයක් වෙමින් කරට කර සටනක් දුන් දික්වැල්ල 4 පහර දෙකක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාගෙන සිටිය දී බුවනේස්වර් කුමාර් එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියේය.

ක්‍රිකට් පිටිය උණුසුම් කරන තුන්කොන් සටනක් ලබන මාර්තුවේ

ඉන්දියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත…

දකුණතින් පිත්ත හසුරුවන දිල්රුවන් පෙරේරා ද බුවනේස්වර් එවූ පන්දුවකට ආරක්ෂිත පහරක් එල්ල කිරීමට ගොස් සිය කඩුල්ලේ පිට ඉන්න ගලවා ගන්නට සිදු වූයේ ඉන්දීය ක්‍රීඩකයින්ගේ ජවය තවදුරටත් බල සම්පන්න කරමිනි.

රංගන හේරත් හා දසුන් ශානක පන්දුවට පහර දෙමින් සිටිය දී පිටියේ විනිසුරුවරුන් විසින් ආලෝක තත්වය පරීක්ෂා කළ අතර එය ක්‍රීඩා කිරීමට උචිත මට්ටමක නොපැවතුණ නිසාවෙන් තරගය නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය. අවසානයේ ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 75ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී බුවනේස්වර් කුමාර් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

ඉන්දියාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3): චෙටෙස්වර් පුජාරා 52, ව්‍රිදිමන් සහා 29, මොහොමඩ් ශමී 24, රවින්ද්‍ර ජඩේජා 22, බුවනේශ්වර් කුමාර් 13, සුරංග ලක්මාල් 4/26, දිල්රුවන් පෙරේරා 2/19, දසුන් ශානක 2/36, ලහිරු ගමගේ 2/59.

ශ්‍රී ලංකාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 294 (පන්දුවාර 83.4): රංගන හේරත් 67, ඇන්ජෙලෝ මැතිව්ස් 52, ලහිරු තිරිමාන්න 51, නිරෝෂන් දික්වැල්ල 35, දිනේෂ් චන්දිමාල් 28, බුවනේශ්වර් කුමාර් 4/88, මොහොමඩ් ශාමි 4/100, උමේෂ් යාදෙව් 2/79.

ඉන්දියාව (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 352 (පන්දුවාර 88.4): විරාත් කෝලි 104*, ශිකර් ධවාන් 94, ලෝකේශ් රාහුල් 79, චෙටෙස්වර් පුජාරා 22, දසුන් ශානක 3/73, සුරංග ලක්මාල් 3/93.

ශ්‍රී ලංකා  (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 75 (පන්දුවාර 26.3): නිරෝශන් දික්වැල්ල 27, දිනේෂ් චන්දිමාල් 20, ඇන්ජලෝ මැතිව්ස් 12, බුවනේස්වර් කුමාර් 4/08, මොහොමඩ් ශමී 2/34.

තරගයේ වීරයා – බුවනේස්වර් කුමාර් (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 24 වැනි දා නාග්පූර් හිදී ආරම්භ වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<