20න් පහළ සුක්කානම නවීන් හේනකංකානම්ගේට

1063

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් දාහත් දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් නම් කර තිබෙන අතර මෙම තරගාවලිය අගෝස්තු මස 10 සහ 11 හොංකොං හි “කිංග්ස් පාර්ක්” නුවර දී පැවැත්වීමට නියමිතයි.

>> වෙළඳසේවා සත් සාමාජික රග්බි කිරුළ ‘Access’ දිනා ගනී

පසුගිය පාසල් රග්බි තරගවාරයේ  දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් හා තම පළමු අන්තර් සමාජ රග්බි තරගවාරය වෙනුවෙන් සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන් මෙම සංචිතය සමන්විත වන අතර ජාතික සංචිතයේ සිටින එකම යොවුන් ක්‍රීඩකයා වන නවීන් හේනකංකානම්ගේ හට කණ්ඩායමේ නායකත්ව වගකීම පැවරී තිබේ.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ක්‍රීඩකයෙකු වූ නවීන්, පසුගිය ආසියානු 20න් පහළ තරගාවලිය මෙන්ම නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියත්, පැරිස් සත් සාමාජික ශූරතාවය දිනූ කණ්ඩායමේත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.

නිලුෆර් ඊබ්‍රහිම් මහතාගේ  පුහුණුකාරීත්වය යටතේ හා හිටපු ශ්‍රී ලංකා රග්බි නායක ෆාසිල් මරිජා මහතාගේ මගපෙන්වීම යටතේ සංචිතය පුහුණුවීම් සිදු කරන අතර අවසන් (12) දෙනාගේ සංචිතය ලබන සති අගදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

කණ්ඩායම් තේරීම් කමිටුවේ සභාපති රොහාන් අබේකෝන් මහතා සමඟින් ThePapare.com අප කළ විමසීමක දී එතුමා මේ අදහස් ප්‍රකාශ කළේය.

“හොඳ සංචිතයක් ඉන්නවා, අන්තර් සමාජ සත් සාමාජික තරග, වෙළඳසේවා සත් සාමාජික තරග වගේ පසුගිය කාලයේ පැවැත්වූ සත් සාමාජික තරගාවලි කිහිපයකටම මේ දරුවෝ සහභාගී වුනා, ඒ නිසා ඉතා හොඳ මට්ටමක ඔවුන් ඉන්නවා, අපේ අවම බලාපොරොත්තුව අවසන් තරගයට පැමිණීම, ඒ නිසා කණ්ඩායමේ මානසිකත්වය ඉතා හොඳ මට්ටමක තියනවා”

“කණ්ඩායමේ සිටින ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් විදිහට නවීන්ට නායකත්ව වගකීම පැවරිලා තියනවා, ක්‍රීඩකයෙක් වගේම හොඳ නායකත්වයක් අපි නවීන්ගෙන් බලාපොරොත්තු වෙනවා, අවසන් 12 දෙනාගේ සංචිතය ලබන සති අග දී ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි.”

කණ්ඩායමේ නායක නවීන් හේනකංකානම්ගේ ද ThePapare.com සමඟින් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“පසුගිය තරගාවලියේ අවසන් තරගයේ දී අපි හොංකොං කණ්ඩායමට පරාජය වුනා, ඒ නිසා අපිට හම්බුනේ අනුශූරතාවය, නැවත වරක් ඒ වැරදි නිවැරදි කරගන්නට මට නායකත්වය ලැබිලා තියෙනවා, සතුටුයි ඇත්තටම”

“විශේෂයෙන්ම කියන්න ඕන අපේ කණ්ඩායමට හොඳම පුහුණුකරුවෝ ලැබිලා තියෙන්නේ, නිලුෆර් සර් ගෙන් සහ ෆාසිල් සර්ගෙන් ලොකු support එකක් ලැබෙනවා”

සංචිතය මෙසේයි.

නවීන් හේනකංකානම්ගේ (නායක), ගැමුණු චේතිය, අවිශ්ක ලී, හරිත් බණ්ඩාර, තුලෙයිබ් හසන්, ජනිඳු දිල්ශාන්, හේෂාන් ජැන්සන්, දිනුක් අමරසිංහ, චතුර සෙනෙවිරත්න, කේ.ඩි. කාවින්ද, රැන්ඩි සිල්වා, තීක්ෂණ හේෂාන්, ගිහාන් මධුසංක, දිලුක්ෂ දන්ගේ, මනුල රත්නායක, චමෝද් ප්‍රනාන්දු, මුර්ශීඩ් සුබේර් 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<