ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට

725

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (21) පියවර ගන්නා ලදි.

නිත්‍ය සීමිත පන්දුවාර නායක උපුල් තරංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් පාකිස්තානයේ පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගය සඳහා සහභාගී වීමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බැවින් මෙම සංචිතයේ නායකත්වය පවරා තිබෙන්නේ තිසර පෙරේරා හටයි.

සිංහ පෝතකයන් කොදෙව් බිමේ අණසක පතුරවයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන නිල නොවන (සිව් දින) ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම…

තිසර පසුගිය මාසයේ දී ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ පාකිස්තානයේ සංචාරය කළ අතර ඔවුන් එහි දී විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කළේ පාකිස්තානය තුල  ක්‍රිකට් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවයි. ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක 26 සහ 27 දෙදින අබුඩාබි හීදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් 29 වැනිදා පැවැත්වෙන අවසන් තරගය සඳහා පාකිස්තානයේ ලාහෝර් නුවර බලා පියාසර කිරීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු තරග දෙක සඳහා වෙනත් සංචිතයක් නම් කරන ලෙසට පාකිස්තානයට යාමට අකමැති වූ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉල්ලා සිටිය ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සම්පූර්ණ තරගාවලිය සඳහා එකම සංචිතයක් නම් කිරීමේ තීරණයේ සිටි බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අසිත ප්‍රනාන්දුගෙන් මානුෂීය සත්කාරයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආධුනික පන්දු යවන්නෙක් හට සිය පාවහන් යුගල පරිත්‍යාගය කර තිබේ.

විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන 9 වන නායකයා බවට පත් වීමට නියමිත තිසර පෙරේරාට අමතරව වර්තමාන එක්දින සංචිතයේ සිටින යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුව‍ෙකු වන සධීර සමරවික්‍රම, වේගපන්දු යවන්නන් වන ලහිරු ගමගේ සහ විශ්ව ප්‍රනාන්දු මෙන්ම පා දඟපන්දු යවන්න යුගලය වන ජෙෆ්රි වැන්ඩර්සේ සහ සීක්කුගේ ප්‍රසන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරයක නිරතව සිටින දසුන් ශානක ඇතුළු සංචිතයේ සෙසු ක්‍රීඩකයන් ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙනු ඇති.

විනය කඩ කිරීමේ චෝදනාවකට වරදකරු වී තරග තහනමකට ලක්ව සිටි නමුත් පසුව එම තහනම ලිහිල් කෙරුණු ධනුෂ්ක ගුණතිලක ජාත්‍යන්තර ක්‍රිකට් කරළියට නැවත පිවිසෙද්දී විස්සයි විස්ස තරග විශේෂඥයන් වන ඩිල්ශාන් මුණවීර, ඉසුරු උදාන, අශාන් ප්‍රියංජන් සහ චතුරංග ද සිල්වා ද සංචිතයට ඇතුලත්ව සිටියි.

තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් නොලැබූ යොවුන් කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක ශ්‍රී ලංකා සංචිතයක් සඳහා තම පළමු කැඳවීම ලබද්දී, මීට වසර 8කට පෙර සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ 31 හැවිරිදි පිතිකරු මහේල උඩවත්ත ද ශ්‍රී ලංකා සංචිතයේ  සිටියි.

මහේල උඩවත්ත අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුමෙන් සැරසුණු 2009 වසරේ දී ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට ලාහෝර් නුවර දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එතැන් පටන්  ක්‍රිකට් කණ්ඩායමක් තවමත් පාකිස්තානයේ තරග සංචාරයකට එක්වී  නැත.

ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග සංචිතය තිසර පෙරේරා (නායක), ඩිල්ශාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, අශාන් ප්‍රියංජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සේ, චතුරංග ද සිල්වා, විකුම් සංජය, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<