ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් නැවතත්

381

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලිය අදියර දෙකක් යටතේ මෙම වසරේ ජුලි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව තරගාවලියේ පළමු අදියර ජුලි මස 08 හා 09 දෙදින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ දෙවන අදියර ජුලි මස 15 හා 16 දෙදින තුරඟ තරග ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ප්‍රේක්ෂකාගාරය මවිත කළ ඉසිපතනයේ පෙරළිය

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (18) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන්..

ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක Dialog Axiata PLC සමාගම 2016 වසරේ දී පළමු වරට මෙම තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් 8 ම මෙම තරගාවලියටත් එක්කර ගන්නට සමත්ව ඇත. ඒ අනුව ‘Access Kings’, ‘Cargills Gladiators’, ‘Etisalat Panthers’, ‘EzY Wolves’, ‘KBSL Dragons’, ‘Softlogic Warriors’, ‘Mobitel Eagles’ සහ ‘Walkers Vipers’ යන කණ්ඩායම් මෙවර ද අදියර දෙකක් යටතේ තරගාවලියේ ශූරතාවය සඳහා තරග වදිනු ඇත.

මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් 2016 වසරේ දී මෙම තරගාවලිය පැවැත්වීමට පෙරමුණ ගත් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මහනුවරට මෙම තරගාවලිය රැගෙන යාමට හැකි වීම සම්බන්ධයෙන් සතුටට පත්වෙමින් ප්‍රකාශ කළේ,

“අපි පසුගිය වසරේ දී පෙන්නුවා ඉතා සුළු කාලයකින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව කොයි වගේ තැනකට ගෙනියන්න පුළුවන් ද කියලා. ඒ වගේම මෙම වසරේ දී අපිට අවශ්‍ය වුනේ තරගාවලිය මහනුවරට රැගෙන යන්න. කෙසේ වුවත් මූල්‍යමය ගැටලු හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ විදුලි ආලෝකය සහිත ක්‍රීඩාංගණ නැති නිසා අපිට තරගාවලිය පවත්වන්න සිදු වෙන්නේ දහවල් කාලයේ.”

එමෙන්ම ඔහු තවදුරටත් අදහස් දක්වමින් තරගාවලියේ අදියර දෙකම සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන වෙනත් සුවිශේෂී අංග පිළිබඳව සහ සැණකෙළි පසුබිම සම්බන්ධයෙන් ද ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම තරුණ ක්‍රීඩකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අනෙක් අනුග්‍රාහකයින්ට ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීමට ඉදිරිපත් වෙන මෙන් ඔහු මෙහි දී ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගාවලිය සඳහා කාන්තා තරග අංශයක් ද ඇතුළත් කර තිබීමයි. ඒ අනුව කාන්තා තරග අංශයෙන් කණ්ඩායම් 04ක් තරග වැදීමට නියමිතයි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තරගාවලියට කාන්තා තරග අංශයක් ද හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“අපි මෙම වසරේ දී තරගාවලිය සඳහා කාන්තා තරග අංශයක් ද ඇතුළත් කළා. ඔබ හැමෝම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ නිරත වන කාන්තාවන් ඉහළ දස්කම් දක්වලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ශ්‍රී ලංකාවේ කාන්තා රග්බි ක්‍රීඩාව ද ඉදිරියට රැගෙන යන්න.”

ඒ අනුව මෙවර තරගාවලියේ කාන්තා අංශයෙන් තරග වදින කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ CR & FC කණ්ඩායමයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම තරගාවලියේ වගකීම බාර ගනිමින් පසුගිය වසරේ දී එය සාර්ථකව පැවැත්වීමට කටයුතු කළ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ,

“හරීන් ප්‍රනාන්දු මහතා තමයි මෙම තරගාවලිය පසුගිය වසරේ දී පවත්වන්න පෙරමුණ ගෙන කටයුතු කළේ. ඒ අනුව පසුගිය වසරේ තරගාවලිය ඉතා හොඳින් පැවැත්වුණා. මෙම වසරේ දීත් නව අදහස් කිහිපයක් එකතු කර ගනිමින් සාර්ථකව තරගාවලිය පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා රග්බි සභාපති අසංග සෙනෙවිරත්න මහතා ද මෙහි දී සිය අදහස් දැක්වීය. ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලෝක රග්බි ආයතනය සහ ආසියානු රග්බි පාපන්දු සංගමය මඟින් මෙම තරගාවලිය අනුමත කර ඇති බවත් ඔවුන් මෙම තරගාවලිය සත් සාමාජික තරග ප්‍රවර්ධනය කළ යුතු ආකාරය සම්බන්ධව ආකෘතියක් ලෙස යොදා ගත හැකි බව ප්‍රකාශ කර ඇති බවත් ය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ වර්ධනයට සුවිශේෂී මෙහෙයක් ඉටු කරන මෙම තරගාවලියේ ද ප්‍රධාන අනුග්‍රාහක Dialog Axiata PLC සමාගමට සෙනෙවිරත්න මහතා මෙහි දී සිය විශේෂ ස්තුතිය පුද කර සිටියේය.

ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක මහතා මෙහි දී තරගාවලියේ ආකෘතිය පැහැදිලි කළේය. තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 08 කාණ්ඩ 02කට බෙදා දක්වනු ඇත. තරගාවලියේ පළමු දිනයේ දී ඔවුන් තරග වදින්නේ ‘Round-Robin’ පදනම යටතේ ය. ඉන් අනතුරුව තරගාවලියේ දෙවන දිනයේ දී කණ්ඩායම් ශූරතා කුසලානය, පලඟ ශූරතාවය, බඳුන ශූරතාවය සහ පළිහ ශූරතාවය සඳහා පිළිමළුන් පිටුදැකීමේ පදනම මත තරග වදිනු ඇත.

තවදුරටත් සෑම කණ්ඩායමකටම පසුගිය වසරේ දී තම කණ්ඩායම නියෝජනය කළ එක් ක්‍රීඩකයෙක් මෙම වසරේ දී ද තම කණ්ඩායමට තෝරා ගත හැකි අතර ඊට අමතරව විදේශීය ක්‍රීඩකයින් තිදෙනෙක් ද ඇතුළත් කර ගත හැක. එමෙන්ම ‘A’ කාණ්ඩයෙන් එක් ක්‍රීඩකයෙක්, ‘B’ හා ‘C’ කාණ්ඩවලින් ක්‍රීඩකයින් හතර බැගින් සහ ‘D’ කාණ්ඩයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් වශයෙන් ක්‍රීඩකයින් ඇතුළත් කර ගත යුතුය. අවුරුදු 23න් පහළ ක්‍රීඩකයෙක් තරගය පුරාවටම පිටියේ රැඳී සිටිය යුතු අතර එක වර ක්‍රීඩා කර හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් ගණන දෙකකි.  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<