කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ක්‍රීඩා සමාජ රැසක් අතුරින් මෙරට රග්බි කරලියට නොමැකෙන සටහන් රැසක් එකතු කර ඇති ප්‍රධානතම තෝතැන්නක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය හැඳින්විය හැකියි. 2013 වසරේදී ඔවුන් දස වසරක මහනුවර ආධිපත්‍ය බිඳ දමමින් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ජයගත් විශිෂ්ට ගෞරවය ප්‍රති නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව මෙවරද තරගාවලියට පිවිසීමට සූදානම්ව සිටිති.

හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි පිටුවට සඳහා පිවිසෙන්න

පසුගිය වසරේ අභිමානවත් ශතක සංවත්සරය සැමරූ හැව්ලොක් ක්‍රීඩා සමාජය 1915 වසරේ සිටම ජාතික රග්බි ක්ෂේත්‍රයට දායාද කල ක්‍රීඩකයන් රැසකි. මයිකල් ජයසේකර සහ හිෂාම් ආබ්දීන් මේ වන විටත් රග්බි කරලියේ වඩාත් කතා බහට ලක්වන හැව්ලොක් නිෂ්පාදන ද්විත්වයක් ලෙස හැඳින්විය හැක. මයිකල් ජයසේකර වත්මන් රග්බි ජාතික තේරීම් කමිටු සභාපති වරයා ලෙස කටයුතු කරන අතර ආබ්දීන් ද එම කමිටුවේ සාමාජිකයෙකි. ‘හැවීස්’ ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලබන හැව්ලොක් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ රග්බි ලීග් තරග බිමේ අභිමානයෙන් යුතුව තම සුපුරුදු රෝස වර්ණයෙන් පිටියට පිවිසෙන එකම කණ්ඩායමයි.

පසුගිය ලිපි: අහිමි වූ කීර්තිය හඹා යන්නට නාවික හමුදා ක්‍රීඩකයන් සැරසෙයි

මෑත කාලීන දක්ෂතා

ක්‍රීඩා සමාජය සිදු කල විශාල ආයෝජනයන් වලට නිසි වටිනාකමක් ලබා දුන් නායක හෙන්රි ටෙරන්ස්ගේ කණ්ඩායම් සගයන්, 2013 වසරේදී විශිෂ්ට තරගාවලියක් ක්‍රීඩා කලේ වසර 10ක් අඛණ්ඩව කන්ද උඩරට රැඳී තිබු ලීග් රග්බි කිරුළ නැවත වාණිජ අගනුවර වෙත ගෙන එමිනුයි. නමුත් ඉන්පසු වසරේදී හැව්ලොක් කණ්ඩායමට හිමි වූයේ තෙවන ස්ථානයයි. කොළඹ රෝස බලකාය පසුගිය 2015 තරග වාරයේදී අනුශූරතාව දක්වා පියවරක් ඉදිරියට එන්නට සමත් විය. කෙසේ වෙතත් මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වයද දැරූ ධනුෂ්ක රන්ජන්ගේ නික්මයාම හැව්ලොක් ක්‍රීඩා සමාජයට විශාල පාඩුවක් වනු ඇත. ධනුෂ්ක මහනුවර කණ්ඩායම සමග තම ක්‍රීඩා දිවියේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටියත් මෙවරත් ලීග් තරගාවලියේ පෙරලියක් කරන්නට සමත් ක්‍රීඩකයන් සහ අත්දැකීම් හැව්ලොක් කණ්ඩායම සතුවද පවතියි.

පසුගිය තරග වාරයේ සහභාගී වූ තරග 14ක් අතුරින් තරග 11ක් ජය ගන්නට හැව්ලොක් කණ්ඩායම සමත් විය. ඉතිරි තරග 3න් 2ක් පරාජය වූ ඔවුන්, එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගන්නට සමත් විය. කෙසේ වෙතත් එම තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා බවට පත් වූයේ හැව්ලොක් හුකර් ක්‍රීඩක ප්‍රසාත් මධුශංක යි. ඔහු එම තරගාවලිය තුල උත්සාහක දිනුම් 12ක් වාර්තා කල අතර එම දස්කම පදනම් කර ගනිමින් ඔහුට පළමු වරට ශ්‍රී ලංකා ජාතික රග්බි (15 සාමාජික) කණ්ඩායමටද කැඳවීමක් ලැබුණි. මේ අතර 2014 වසරේ ශූරතා ත්‍රිත්වයම දිනා ගත් ඉසිපතන විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩක ගානුක දිසානායකද මෙවර හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව මහනුවර ක්‍රීඩා සමාජයට එක්වීමට තීරණය කර තිබේ.

හැව්ලොක් සංචිතය

බෝධියන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන දුෂ්මන්ත ප්‍රියදර්ශනට මෙවර හැව්ලොක්ස් සුක්කානම භාර වී තිබේ. ඔහු පසුගිය වසරේදී හැව්ලොක් සාර්ථකත්වය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නේ තම වේගවත් තරග විලාශය මගින් ඉදිරිපෙළ සවිමත් කරමිනුයි. ඉදිරි ඛාණ්ඩය ද අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර ප්‍රසාත් මධුශංක, ලිස්ටන් ෆ්ලැට්නි සහ ජේසන් මෙල්ඩර් ඊට අවශ්‍ය බර (ශක්තිය) සපයන අතර තුන්වන පෙළ (Third Row) සවිමත් කිරීම සඳහා ශාරෝ ප්‍රනාන්දු, සුදර්ශන මුතුතන්ත්‍රී සහ රාජපක්ෂ සහෝදරයන්ගේ දායකත්වය හිමිවනු ඇත.

හැව්ලොක් කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයන් දෙදෙනාම ආබාධ වලින් සුවය ලබා නැවත පැමිණ සිටියි. ඔවුන් දෙදෙනාම ජාතික කණ්ඩායමේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වන අතර දුලාජ් පෙරේරා හෝ නිරෝෂන් ප්‍රනාන්දු යන ඔවුන්ගෙන් අයෙක් සෙන්ටර් හෝ ෆුල් බැක් ස්ථානයක ක්‍රීඩා කිරීමේ ඉඩ කඩක්ද පවතියි. සුපර් සෙවන්ස් තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධයක් හේතුවෙන් ආසියානු සත්සාමාජික තරගාවලිය අහිමි වු, මිතුන් හපුගොඩ සුවය ලබා සිටීම හේතුවෙන් ඔහුගේ වේගය සහ ප්‍රතිවාදීන් මුලා කල හැකි පාද චලනයන් හැව්ලොක් කණ්ඩායම ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇත. පසුගිය වසර කිහිපය තුල විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කල චාමර දාබරේ දෙවන වරටත් හැව්ලොක් කණ්ඩායම සමග එක්වී සිටියි.

තරුණ ජවය

හාෆ් බැක් ස්ථානයේ ක්‍රීඩා කරන සුදම් සූරියආරච්චි හට වැදගත් සහ ඉක්මන් තීරණ ගැනීමේ විශාල වගකීමක් පැවරෙනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික 20න් පහල කණ්ඩායම නියෝජනය කල කෙවින් ඩික්සන්, නිශෝන් පෙරේරා, ලසිඳු ඉශාන්, චාමික කුසල් සහ විමුක්ති රාහුල පසුගිය වසරේ ආරම්භ වූ තම ක්‍රීඩා සමාජ තරග දිවියේ අනාගතයට වටිනා අත්දැකීම් එකතු කරගන්නට වෙර දැරීම හැව්ලොක් කණ්ඩායමට ද ඉහල වටිනාකමක් එක් කරයි.

Dialog Rugby League Hub

තිරය පසුපස බල ඇණිය.

පසුගිය වසරේ හැව්ලොක් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කලේ බොහෝ දෙනා ලගාලෙස හඳුන්වන ටුලගීස් ටවීටා (TulageseTavita) යි. නමුත් මේ වසරේ ඔවුන්ගේ පුහුණුකරු තනතුර සඳහා හිටපු ජාතික පුහුණුකරුවකු වන රොනී ඊබ්‍රාහිම් පත් කර ඇත. රොනී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන සමයේ ඔවුන් සෙරන්ඩිබ් කුසලාන තරගාවලියේදී (2013 වසරේ) පෝලන්තය පරාජය කරන්නට සමත් වුවද මැඩගස්කරය හමුවේ පරාජය විය. රොනී කෙටි කලක් ඉන්දීය ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකාරීත්වය ද දැරීය. ඔහු විශ්වාස කරන්නේ හැව්ලොක් කණ්ඩායම මෙවර තරගාවලියේදී කිසිවෙකුටත් දෙවැනි නොවනු ඇති බවයි.

රොෂාන් ඕපාත පසුගිය වසරේ මෙන්ම මේ වසරේදී ද හැව්ලොක් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.

2016/17 සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2137026″]