ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට උපුල් තරංග පත්කොට තිබේ. දිගු කාලීන නිහැඬියාවකින් පසු ලසිත් මාලිංග, ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත්තේ මේ තරගාවලියේදීයි.

පසුගිය විස්සයි විස්ස තරග සංචාරයේ දී නායකත්වය හෙබවූ දිනේෂ් චන්දිමාල් සමඟින් සංචිතයෙන් ඉවත් වන්නට ධනංජය ද සිල්වා සහ තික්ෂිල ද සිල්වා හට සිදුව ඇත. දැනට ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය හේතුවෙන් එහි නායකත්වය දරන උපුල් තරංග, වහා ක්‍රියාත්මක වන පරිදි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස නායකත්වයට පත්කොට ඇත.

දණහිසේ ආබාධයක් සහ ඩෙංගු උණ රෝගය හේතුවෙන් වසරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි ලසිත් මාලිංග, අවසන් වරට 2015 වර්ෂයේ නොවැම්බරයේ දී විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව කණ්ඩායමට එක් කර තිබේ.

අන්තිම මාස හතරේ දී තරගවලට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව වර්ධනය කරගන්න මං සැලසුමකට පුහුණුවීම් කළා. පෙබරවාරි 15 තියෙන පුහුණු තරගයේදී උපරිමයෙන් ක්‍රීඩා කරලා කණ්ඩායමේ ස්ථානයක් වෙන්කරගන්න බලාපොරොත්තු වෙනවා. අපේ පන්දු යැවීමේ ශක්තිය ගැන පදනම් වුණොත්, ඒ කියන්නේ පන්දුවේ වේගය වෙනස් කළොත් අපට ඕස්ට්‍රේලියාව පරාජය කරන්න පුළුවන්.” බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී මාලිංග පැවසුවේය.

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර ද වසර හතරකින් පසු නැවත කණ්ඩායමට එක්කොට ඇත. විස්සයි විස්ස තරග හතරකට සහභාගී වී ඇති ඔහු කැරිබියන් ප්‍රීමියර් ලීග් බටහිර ඉන්දීය කොදෙව් දූපත් තුළ සහ බංගලාදේශය තුළ වේගවත් ක්‍රීඩකයෙකු ලෙස ජනප්‍රියයි.

චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන සහ දසුන් ශානකට විස්සයි විස්ස සංචිතයේ හිමි විය යුතුව තිබූ ස්ථානයන් එලෙසින්ම හිමිව ඇත. නව මුහුණුවරකින් සමන්විත ඕස්ට්‍රේලියාව සමඟින් ප්‍රථම තරගය මෙල්බර්න් හිදීත් (පෙබ: 17), දෙවැන්න ජීලොන් හිදීත් (පෙබ: 19) , තෙවැන්න ඇඩිලේඩ් හිදීත් (පෙබ: 22) පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය

උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, සීක්කුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, දසුන් ශානක, ඉසුරු උදාන, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, විකුම් සංජය.       

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට