එංගලන්තය අන්ත අසරණ කල ගුණතිලකගේ ප්‍රවේගකාරී ශතකය

3132

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (04) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. එහි දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා දියත් කළ සුපිරි පිති හරඹය නිසා තරගය පහසුවෙන්ම ජය ගනිමින් තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

දිනේෂ් චන්දිමාල්ගෙන් නොදැවී ලකුණු 190ක්

මෑත කාලීනව ඉහළ දක්ෂතා දක්වා ඇති පෙරළිකාර බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් සටන ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් වැනි කෙටි කාලයකි. .

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක කීතන් ජෙනින්ග්ස් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තය වෙත පවරා ගත්තේය. ඒ අනුව ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2ක් ලකුණු 18ක් තුල  දී බිඳ දැමීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් විය. නමුත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවයක් පිහිටුවීමට මෑතක දී තම ජාත්‍යන්තර තරග දිවිය ආරම්භ කල බෙන් ඩකට් සහ ලයන්ස් පිළේ නැංගුරම ලෙස කටයුතු කරන ලියාම් ලිවින්ග්ස්ටන් සමත් වූහ.

වමත් පිතිකරු බෙන් ඩකට් පන්දු 45ක් තුල දී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත කරමින් රැස් කල ප්‍රවේගකාරී ලකුණු 59 නිසා එංගලන්තයට නැවතත් තරගයට අවතීර්ණ වීමට දෙවැනි අවස්ථාවක් හිමි වුවද පසුපෙළ පිතිකරුවන්ගේ මන්දෝත්සාහය නිසා ඔහුගේ ඉනිම ඵල රහිත විය. මෙම සංචාරය පුරාවටම පිත්තෙන් අති විශිෂ්ට දක්ෂතා දක්වමින් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරට තට්ටු කරන මැදපෙළ පිතිකරු ලියාම් ලිවින්ග්ස්ටන් අද හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 94ක් රැස් කළේය.

මිලින්ද සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ ලියාම් ලිවින්ග්ස්ටන් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන විට එංගලන්ත ලයන්ස් මුළු ලකුණු සංඛ්‍යාව 217ක් ලෙස සටහන් විය. අංක 6 පිතිකරු ලෙස ක්‍රීඩා කල ජෝ ක්ලාක් රැස් කල ලකුණු 26 හැරෙන්නට අනෙක් පසුපෙළ පිතිකරුවන් ඉලක්කම් දෙකේ ලකුණක් හෝ ලබා ගැනීමට අසමත් වීම එංගලන්තයේ පරාජයට අත්වැලක් විය. ශ්‍රී ලංකා නායක මිලින්ද සිරිවර්ධන අද තම වමත් පිට දඟ පන්දුව රිසිසේ දඟ කවමින් එංගලන්ත පිතිකරුවන් සිව්දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යවද්දී තිසර පෙරේරා සහ ලහිරු මධුශංක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

රංගිරි දඹුලු ලකුණු පුවරුවේ දිස්වන අඩු ලකුණු සංඛ්‍යාව දෙස දෙනෙත් යොමමින් ක්‍රීඩා පිටිය මැදට පිය නැගූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පීඩනයකින් තොරව වේගවත් පහරවල් කරා යන අයුරු දැක ගන්නට ලැබුණි. එංගලන්ත කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙකු තමන්ට අභියෝගයක් කර නොගත් කුසල් ජනිත් පෙරේරා අද හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 70ක් රැස් කළේය.

අනෙක් අන්‍තයේ සිට තමාටම ආවේණික වේගවත් පහරවල් සමගින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක අද නොදැවී ලකුණු 121ක් වාර්තා කිරීමට සමත් විය. දැකුම්කළු හතරේ පහර 12කින් සහ දැවැන්ත හයේ පහර 6කින් විචිත්‍රවත් වුනු ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට වැය වුනේ පන්දු 88ක් පමණි. මේ වනවිට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයේ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග යන ක්‍රීඩකයින් දෙදෙනා යම්තාක් දුරකට ස්ථාවර වී සිටියත් දික්වැල්ලට ICCයෙන් පනවා ඇති තරග තහනම බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදීත් ක්‍රියාත්මක වීම නිසා ධනුෂ්කට එහි දී ඉනිම ඇරඹීමට අවස්ථාවක් උදාවීමට ඉඩ තිබේ.

 කුසල් සහ ධනුෂ්ක ප්‍රථම කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 28යි පන්දු 4ක් තුල ගොඩ නගා තිබූ ලකුණු 201ක අති විශිෂ්ට සබඳතාවය බිඳ දැමීමට කිසිදු එංගලන්ත පන්දු යවන්නෙකු සමත් නොවුනු අතර අවසානයේ දී ඔවුන් දෙදෙනාව නතර කිරීමට හැකි වූයේ දඹුල්ල ක්‍රීඩාංගණයට ගලා ආ අඳුරට පමණි. ඒ හේතුවෙන් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම් වූ අතර අදාළ පන්දුවාර සංඛ්‍යාව තුලදී ශ්‍රී ලංකාව ලබා ගත යුතුව තිබුනේ ලකුණු 83ක් වැනි සුළු ලකුණු සංඛ්‍යාවක් බව ගණනය කිරීම් වල දී හෙලිවිය. ඒ අනුව ලකුණු 119ක දැවැන්ත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා A කණ්ඩායමට හිමිවිය.

මේ වන විට නිමාවුනු තරග දෙකේම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වූ බැවින් අනිද්දා (06) කුරුණෑගල දී ආරම්භ වීමට නියමිත තෙවැනි එක්දින තරගය එංගලන්ත ලයන්ස් පිළට ඉතාමත් තීරණාත්මක වනු ඇත. ඒ එම තරගය පරාජය වුවහොත් එක්දින තරගාවලියේ පරාජය ද උරුම කරගෙන හිස් අතින්ම නැවතත් එංගලන්තය බලා පියාසර කිරීමට ඔවුන්ට සිදුවන බැවිනි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 42.5): ලියාම් ලිවින්ග්ස්ටන් 94, බෙන් ඩකට් 59, ජෝ ක්ලාක් 26, මිලින්ද සිරිවර්ධන 4/40, තිසර පෙරේරා 2/17, ලහිරු මධුශංක 2/34.

ශ්‍රී ලංකා A කණ්ඩායම – කිසිවෙකු නොදැවී ලකුණු 201 (පන්දුවාර 28.4): ධනුෂ්ක ගුණතිලක 121*, කුසල් පෙරේරා 70*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට