දකුණු අප්‍රිකානුවෝ පාකිස්තානය වැසි දියේ ගිල්වයි

616

දකුණු අප්‍රිකාව සහ සංචාරක පාකිස්තානය අතර සෙන්චූරියා හී සුපර් ස්පෝර්ට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින දිවා රාත්‍රී තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13කින් ජයග්‍රහණය කරමින් තරග 5කින් යුත් තරගාවලියේ 2-1ක් ලෙසින් ඉදිරියට පැමිණීමට සත්කාරක දකුණු අප්‍රිකානුවෝ අද (25) සමත් වූහ.

පාන්ඩ්‍යා සහ රාහුල්ගේ තරග තහනම ඉවතට?

සුප්‍රසිද්ධ සජීවී රූපවාහිනි වැඩසටහනක් අතරතුර දී සිදු කළා යැයි පැවසෙන ආන්දෝලනාත්මක ප්‍රකාශ …

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 317ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් දෙවරක් වර්ෂාවෙන් බාධා වූ දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 187කින් නතර විය. ඒ වෙද්දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කිරීමේ දී දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 174ක් පමණි.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කිරීමට එක් ඉදිරි පෙළ පිතිකරුවෙක් හැර අනෙක් සෑම කෙනෙක්ම වග බලා ගත් හ.

පාකිස්තාන ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙසින් ෆාකර් සාමන් ලකුණු දෙකකට දැවී යන්නේ ඉනිම ලකුණු 4ක් ව තිබිය දී ය. අවාසනාවන්ත ඒ සිදුවීමෙන් පසුව වඩාත් පරිස්සම් වූ අනෙක් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සහ බාබර් අසාම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක සබඳතාවක් එක් කළහ. බාබර් අසාම් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබා ගන්නේ ය. බාබර් අද රැස් කරන්නේ තම එක්දින ජාත්‍යන්තර පිටියේ 10 වැනි අර්ධ ශතකයයි.

ඔවුන්ව අනුගමනය කළ මොහොමඩ් හෆීස් ද අද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිම වෙනුවෙන් පන්දු 58ක් වැයව තිබූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ 36 වැනි අර්ධ ශතකය විය.

ඉමාම් සහ හෆීස් අතර තෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව ලකුණු 84ක් වෙද්දී පාකිස්තාන ඉනිම කියැවුණේ ලකුණු 220කට කඩුලු 3ක් ලෙසිනි.

කෞෂාල්ගේ දෛවෝපගත ඉනිම ද්විත්ව ශතකයෙන් නවතී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට අභියෝග කරන මෙරට ක්‍රිකට් …

පාකිස්තාන ඉනිමට ලකුණු 250ක් පැමිණෙනවාත් සමඟම එතෙක් දකුණු අප්‍රිකානුවන්ට හිසරදයක් බවට පත්ව සිටි ඉමාම් උල් හක් දැවී ගියේ ය. පන්දු 116කට මුහුණ දී සිටි ඉමාම් හතරේ පහර 8ක් සමඟ ලකුණු 101ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ 5 වැනි ශතකය වන අතර දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කරන ලද මංගල ශතකය ද විය.

ඔහුගේ දැවී යෑමත් සමඟින් 5 වැනි කඩුල්ලට ඉක්මන් ලකුණු 52ක් ලබා දීමට ෂොයිබ් මලික් සහ ඉමාඩ් වසීම් සමත් වූහ. ඔවුන් දෙදෙනා ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 30ක් පමණි. ෂොයිබ් මලික් පන්දු 27ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය.

පාකිස්තාන ඉනිම අවසන් වෙන විට ඉමාඩ් වසීම් පන්දු 23ක දී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ඩේල් ස්ටේන් සහ කගීසෝ රබාඩා කඩුලු දෙක බැගින් ද බෙයුරාන් හෙන්ඩ්‍රිකස් සහ ටබ්රයිස් ෂම්සි කඩුල්ල බැගින් බෙදා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම පන්දුවාර 16.5ක් වූ විගස දී ක්‍රීඩාංගණයට ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලකුණු 88ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් ඒ වෙද්දී නොදැවී පිටියේ රැඳී සිටි රීසා හෙන්ඩ්‍රිකස් නොදැවී ලකුණු 25ක් ද ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණක් ලබා ගනිමින් ද පිටියේ රැඳී සිටිය හ.

වර්ෂාවට පෙර ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 53ක් තම ඉනිමට ඇතුළත් කළහ. හසීම් අම්ලා පන්දු 30කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් ඉනිම හැර ගියේය.

තරගය වෙනස් කිරීමට ලැබුණු උඩපන්දුව ශ්‍රී ලංකාව අතින් ගිලිහෙයි!

ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදු වූ අතපසුවීමක් නිසා අද රාත්‍රි ආහාරය දක්වා තරගයේ පාලනය…

අනෙක් ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 36ක දී ලකුණු 33ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට ඇතුළත් වූ හතරේ පහර සංඛ්‍යාව 4කි.

වර්ෂාවෙන් හේතුවෙන් පැයක පමණ කාලයක් අපතේ යවමින් තරගය ආරම්භ වූව ද නැවත වරක් වර්ෂාව තරගයට බාධා කළේය. එවර තරගය නතර කරද්දී දකුණු අප්‍රිකානුවෝ කඩුලු දෙකක් දැවී ලකුණු 187ක් ලබා සිටියේ ය. එතැන් සිට තරගය තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි වීම හේතුවෙන් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තීරණය විය.

ඒ වෙද්දී රීසා හෙන්රිකස් පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා සිටියේ ය. ඔහු විසින් අද ලබා ගත්තේ තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 2 වැනි අර්ධ ශතකයි. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

නායක ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 42ක් වැය කළ අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 108කි.

මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට 28 හැවිරිදි වමතින් වේගපන්දු යවන බෙයුරාන් හෙන්ඩ්‍රිකස් සමත් විය.

පාකිස්තානය; කඩුලු 6ක් දැවී 317 (50) ඉමාම් උල් හක් 101, බාබර් අසාම් 69, මොහොමඩ් හෆීස් 52, ෂොයිබ් මලික් 31, ඉමාඩ් වසීම් නොදැවී 43, ඩේල් ස්ටේන් 2/43, කගීසෝ රබාඩා 2/57

දකුණු අප්‍රිකාව; කඩුලු 2ක් දැවී 187 (33) ක්වින්ටන් ඩි කොක් 33, හසීම් අම්ලා 25, රීසා හෙන්ඩ්‍රිකස් නොදැවී 83, ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී 40

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය මේ මස 27 වැනිදා ජොහැන්ස්බර්ග් හිදී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<