ශතක මැෂිමේ හොඳම ඉනිම නිසා ඉන්දියාවට වාර්තාගත ජයක්!

82
AAP

සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පූනේ හිදී පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 137ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සත්කාරක ඉන්දියාව අද (13) සමත් විය.

ඒ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලි ජයග්‍රහණය 2-0ක් ලෙස තමන් සතුකර ගනිමිනි.

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ: බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට අද (13) අලුයම…

කෝලිගේ පෞද්ගලික හොඳම ටෙස්ට් ඉනිම ද වාර්තා වූ මෙම තරගයේ දී වාර්තා ගණනාවක්ම අලුතින් බිහිවිය. ඒ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන ඩොන් බ්‍රැඩ්මන් සතුව තිබූ වාර්තාවක් ද තමන් නමින් ලියා ගැනීමට කෝලිට හැකි විය.

ඒ ටෙස්ට් නායකයෙකු ලෙස වැඩිම අවස්ථාවන් ගණනක දී ලකුණු 150 ඉක්මවූ ක්‍රීඩකයා ලෙසයි. කෝලි මේ දක්වා ඉනිම 9ක දී මෙම හපන්කම පෙන්වා ඇති අතර බ්‍රැඩ්මන් ඉනිම 8ක දී ලකුණු 150 පසුකර ගොස් තිබුණි.

තරගයේ කාසියේ වාසිය ද ජය ගැනීමට නායක කෝලි සමත් වූ අතර මුල් දින දෙකේ දී ම දැක ගැනීමට ලැබුණේ සාම්ප්‍රදායික ටෙස්ට් තරගයක ලක්ෂණයි. ඒ මුලින් පන්දුවට පහර දීම තෝරා ගනිමින් ඉන්දියාව ලකුණු 601ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගූ බැවිනි.

පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ පූනේ තණතිල්ල ද ඔවුන්ගේ වෑයම මල්ඵල ගැන්වීමට දැවැන්ත සහයක් විය. නමුත් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ට නම් උෂ්ණාධික කාලගුණයක් යටතේ මෙම අජීවී තණතිලිවල පන්දු යැවීම ඉතාමත් අමිහිරි වූ බව දැක ගන්නට ලැබුණි.

ඉන්දියාව ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස මේ දිනවල අත්හදා බලමින් සිටින මායාන්ක් අගර්වාල් තවත් වරක් තම තේරීමට සාධාරණයක් ඉටු කළේ තම දෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කරමිනි. පන්දු 195කට මුහුණ දුන් ඔහු එහි දී හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 108ක් රැස්කර ගත්තේය.

නමුත් මෙම ඉනිමට තිබූ අවධානය ඉක්මනින්ම පැහැර ගත් නායක කෝලි නොදැවී ලකුණු 254ක් වාර්තා කරමින් ක්‍රිකට් ලෝකයේ වැඩි කතාබහට ලක්විය. මීට පෙර අවස්ථා 6කදී ද්විත්ව ශතක වාර්තා කර තිබුණ ද මෙය කෝලි ලබාගත් ඉහළම ටෙස්ට් ලකුණයි.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා වසර 13ක ශතක නියඟයට තිත තබයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ටෙස්ට් නායකයා වන ටිම් පේන් වසර 13කට…

මෙම පිතිකරුවන් දෙදෙනාට අමතරව රවීන්ද්‍ර ජඩේජා ද ශතකයට ක්‍රමයෙන් ආසන්න වුවද අවසානයේ ලකුණු 91කට ඔහුව පිටියෙන් ඉවත් කිරීමට නවක පන්දු යවන්නෙකු වන සෙනුරන් මුතුසාමි සමත් විය.

තම සගයාගේ ශතකය අහිමි වීමත් සමඟ තවදුරටත් පිතිකරණයේ යෙදීම ඵල රහිත බව තේරුම් ගත් ඉන්දීය නායකයා තීරණය කළේ ඉනිම අත්හිටු වීමටයි. ඒ වන විට ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5කට ලකුණු 601ක් එක්රැස් වී පැවතීම ද ඔහුට මෙම තීරණය ගැනීම පහසු කළේය. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩාට කඩුලු 3ක් හිමි විය. 

මේ අනුව දින දෙකක් අවසන් වන විට තවත් දකුණු අප්‍රිකානු පරාජයක් සඳහා රඟමඬල නිර්මාණය වී තිබූ අතර ගැටලුව වී තිබුණේ එය ඉනිමක පරාජයක් ද නැතහොත් ගෞරවාන්විත පරාජයක් ද යන්න පමණකි.

නමුත් තම මව්බිමේ තණතිලිවලට වඩා හාත්පසින්ම වෙනස් දඟ කැවෙන පූනේ තණතිල්ල මත දී පිත්තෙන් වැඩි යමක් කිරීමට දකුණු අප්‍රිකානු පිළට හැකි නොවීය. තම මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනාම දැවී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 275ක් පමණි.

ඒ ද පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරන කේශව් මහරාජ් ලබා ගත් ලකුණු 72ටත්, වර්නන් ෆිලැන්ඩර් නොදැවී ලබා ගත් ලකුණු 44ටත් පින් සිදු වන්නටයි. මීට අමතරව නායක ෆැෆ් ඩු ප්ලෙසිස් තම ටෙස්ට් දිවියේ 21 වැනි අර්ධ ශතකය ලෙස ලකුණු 64ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් තම පන්දුවෙන් රැවටූ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4ක් දවා ගනිමින් නැවතත් දස්කම් අතරට පිවිසෙද්දී උමේෂ් යාදෙව් සහ මොහොමඩ් ශමී කඩුලු 5ක් තමන් අතරේ බෙදා ගත්හ.

අභිෂේක් හා උවිඳු ත්‍රිත්වයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් …

මෙම අසාර්ථක පිළිතුරු බැඳීම නිසාම දකුණු අප්‍රිකානුවන්ට සිදු වූයේ පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයට ද ලක් වීමටයි. එහි දී ද පෙරටත් වඩා ඉන්දීය පන්දු යවන්නන් හමුවේ නිරුත්තර වූ ඔවුන් ලකුණු 189කට තම සියලුම කඩුලු අහිමි කර ගත්හ.

එහි දී නැවතත් යම්තාක් දුරකට තම රටේ ගෞරවය බේරාදුන් කේශව් මහරාජ් සහ වර්නන් ෆිලැන්ඩර් පිළිවෙළින් ලකුණු 22 සහ 37 බැගින් රැස් කළහ. ඒ සමහරක් නම ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කරමිනි.

දෙවැනි ඉනිමේ දී වැඩිම දස්කම් දැක්වූ පන්දු යවන්නන් දෙදෙනා ලෙස උමේෂ් යාදෙව් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. මේ නිසාවෙන්ම ඉන්දීය පිළ මෙම තරගයේ ජය තහවුරු කර ගත්තේ දින 4කටත් අඩු කාලයක් තුලදීයි. තරගයේ වීරයා ලෙස සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දීය ජයග්‍රහණයට පාර කියූ විරාත් කෝලි නිතරගයෙන්ම සුදුසුකම් ලැබීය.

මෙම ජයග්‍රහණයත් සමඟ මව්බිමේ දී අඛණ්ඩව වැඩිම තරගාවලි ජයග්‍රහණ ගණනක් ලබාගත් රට බවට ද ඉන්දියාව පත්විය. ඒ 1994-2000 වකවානුව තුල තරගාවලි ජයග්‍රහණ 10ක් ලබමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තබා තිබූ වාර්තාව අභිබවා යමිනි.

මෙය සැලකෙන්නේ නායක කෝලි ඉන්දීය කණ්ඩායමට ඉනිමක ජයග්‍රහණ අත්කර දුන් 8 වැනි අවස්ථාව ලෙසයි. ඒ අනුව ඔහු නායකයෙකු ලෙස එහිදී දෙවැනි වන්නේ ඉනිමක ජයග්‍රහණ 9ක් ඉන්දියාවට ලබා දී ඇති එම්. එස්. දෝනිට පමණි.

කමිඳු අදත් ගඟට ඉනි කපයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස…

එසේම සුපිරි පිතිකරුවෙකු ලෙස පමණක් නොව දක්ෂ නායකයෙකු ලෙස ද තම කණ්ඩායම වෙනුවෙන් වගකීම ඉටු කරමින් සිටින විරාත් කෝලි මේ දක්වා ටෙස්ට් තරග 50ක දී ඉන්දීය පිළ මෙහෙයවමින් තරග 30ක් ජයග්‍රහණයෙන් අවසන් කර තිබේ.

දෙරට අතර තරග සංචාරය අවසන් කරමින් පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඔක්තෝබර් 19 වැනිදා රංචි හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

ඉන්දියා (පළමු ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 601 (පන්දුවාර 156.3): විරාත් කෝලි 254*, මායන්ක් අගර්වාල් 108, රවීන්ද්‍ර ජඩේජා 91, අජින්ක්‍යා රහානේ 59, චෙටෙස්වර් පුජාරා 58, කාගිසෝ රබාඩා 3/93.

දකුණු අප්‍රිකා (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 275 (පන්දුවාර 105.4): කේශව් මහරාජ් 72, ෆැෆ් ඩු ප්ලෙසිස් 64, වර්නන් ෆිලැන්ඩර් 44*, ක්වින්ටන් ඩි කොක් 31, රවිචන්ද්‍රන් අශ්වින් 4/69, උමේෂ් යාදෙව් 3/37, මොහොමඩ් ශමී 2/44.

දකුණු අප්‍රිකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 189 (පන්දුවාර 67.2): ඩීන් එල්ගාර් 48, ටෙම්බා බවුමා 38, වර්නන් ෆිලැන්ඩර් 37, කේශව් මහරාජ් 22, උමේෂ් යාදෙව් 3/22, රවීන්ද්‍ර ජඩේජා 3/52.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<