විද්‍යාර්ථයින්, සුමංගල බලකොටුව සුනුවිසුනු කරයි

1094

සිංගර් අන්තර් පාසල් ලීග් (2019) රග්බි තරග මාලාවේ පළඟ ශූරතාවය යටතේ තවත් තියුණු තරගයක් අද (22) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ඒ ප්‍රබල කණ්ඩායම් දෙකක් වන මහනුවර සුමංගල විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතරයි.

කෙසේ වෙතත් පසුගිය සතියේ ද බෝගම්බර දී ආගන්තුක මලියදේවයින් අතින් ලකුණු 09ක පරාජයක් අත්විඳි සුමංගලයින්ට මෙවරත් පරාජයේ අමිහිරි වේදනාව භුක්ති විඳීමට ඉඩ සලස්වමින් 29-03ක් ලෙසින් තරගය ජය ගැනීමට විද්‍යාර්ථයින් සමත් විය.

දෙවන අර්ධයේ රාජකීය ප්‍රහාරයෙන් ඉසිපතන බලාපොරොත්තු වතුරේ යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉතා වැදගත් තරගයක් අද (22) පැවැත්වුණේ කොළඹ…

පළමු පා පහර පස්වරු 04.12ට එල්ල කරමින් තරගය ආරම්භ වූ අතර 17 වැනි මිනිත්තුවේ විද්‍යාර්ථයේ ‘Full back’ ක්‍රීඩක ඩිල්ශාන් කෝදාගොඩ අතට ආ පන්දුව පෙරළා රැගෙන ඔහු දක්ෂ ධාවනයක නිරත විය. සුමංගල ආරක්ෂක වළල්ල සාර්ථකව තරණය කරමින් ඔහු ධවල රේඛාව වෙත පන්දුව පතිත කළේ විද්‍යාර්ථ ලකුණු පුවරුවට පළමු ලකුණ එකතු කරමිනි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (විද්‍යාර්ථ 05-00 සුමංගල)

පසුව තරග ආරම්භයේ සිටම දැඩි තියුණු බවක් ආරෝපණය කර ගනිමින් ක්‍රීඩාවේ නිරත වූ විද්‍යාර්ථයින්, එතෙක් මන්දගාමීව සිටි සුමංගලයින්ගේ ආරක්ෂාවට නැවත වරක් තර්ජනය කරමින් පළමු උත්සාහක දිනුමට මිනිත්තු 05කට පසුව යළිත් වරක් උත්සාහක දිනුමක් සටහන් කිරීමට සමත්කම් දැක්විය. එම ලකුණු රැස් කිරීමේ ගෞරවය හිමි කර ගත්තේ විද්‍යාර්ථ ‘Wing’ ක්‍රීඩක පැතුම් ජයකොඩි විසිනි. පසුගිය වර අසාර්ථක වූ ප්‍රවර්තන ඉලක්කය මෙවර සාර්ථක කර ගැනීමට ‘Scrum half’ ක්‍රීඩක චිරන්ත කළුආරච්චි සමත් වූයේ අමතර ලකුණු 02 ද ලකුණු පුවරුවට එක් කරමිනි. (විද්‍යාර්ථ 12-00 සුමංගල)

අනතුරුව තරගයේ 26 වැනි මිනිත්තුවේ දී නැවත වරක් උත්සාහක දිනුමක් සටහන් කිරීමට විද්‍යාර්ථ ‘NO-08’ ක්‍රීඩක කවිෂ්ක බණ්ඩාර සමත් වූයේ, පැමිණි පන්දුව නිසි ලෙස කල්යල් බලා ධවල රේඛාවේ සලකුණු කිරීමේ ප්‍රතිඵලය නිසාවෙනි. එහි අමතර ලකුණු එක් කිරීමේ වගකීම මැනවින් ඉටු කරමින්, සුපුරුදු පරිදි චිරන්ත කළුආරච්චි ප්‍රවර්තනය සාර්ථක එල්ලයට යොමු කළේය. (විද්‍යාර්ථ 19-00 සුමංගල)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ 28 වැනි මිනිත්තුවේ සුමංගල ක්‍රීඩක හුවමාරුවකින් අනතුරුව නැවතත් තරගය ආරම්භ වූව ද, 29 වැනි මිනිත්තුව වන විට උද්වේගකර වූ තරගයේ උණුසුම මැද විද්‍යාර්ථ  ‘Loose prop’ ක්‍රීඩක තරිඳු රිද්මක ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන අයුරින් ක්‍රීඩා කිරීම හේතුවෙන් දිනයේ නිකුත් කළ පළමු කහ කාඩ් පත් අවවාදය ඔහුට සිදු කිරීමට ප්‍රධාන විනිසුරු දීපාල් පුණ්‍යවර්ධන කටයුතු කරන ලදි.

අනතුරුව නැවත වරක් සුමංගල ක්‍රීඩක හුවමාරුවකින් පසුව පළමු අර්ධය නිමා වූයේ සුමංගලයින් දැඩි පීඩාවකට ලක් කරමින් එක් ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වූ පසුබිමකය.

පළමු අර්ධය: මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය 19 (3T,2C) – 00 මහනුවර සුමංගල විද්‍යාලය

අනතුරුව තරගයේ දෙවන අර්ධය ආරම්භ කරමින් පස්වරු 05.00ට පළමු පා පහර එල්ල කරමින් නැවත වරක් තරගය ආරම්භ විය. සුමංගලයින් පළමු අර්ධයේ ලද අමිහිරි අත්දැකීම අකාමකා දමමින් නැවතත් තරගයට අවතීර්ණ වූවද, විද්‍යාර්ථයින්ගෙන් එල්ල වූ තර්ජනය තවදුරටත් එලෙසින්ම පවතින බව දෙවන අර්ධයේ ද පැහැදිලි විය.

සුමංගලයින් කිහිපවරක් විද්‍යාර්ථ අන්තය ආක්‍රමණය කිරීමට සමත් වූවද ලකුණක් ඩැහැ ගැනීමට විද්‍යාර්ථ ආරක්ෂක බැම්ම කිසි ලෙසකින් ඉඩ සැලසුවේ නැත. ඒ අවසරයෙන් යළිත් වරක් දෙවන අර්ධයේ 10 වැනි මිනිත්තුවේ දී සුමංගලයින් ක්‍රීඩක හුවමාරුවක් සිදු කරන ලදි.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පළඟ ශූරතාවයට තවත් ළඟා වෙයි

2019 සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් මරදාන…

දැඩි පීඩනයකින් යුතුව ලකුණු 19ක පරතරයක් සහිතව තරග වැදුණු සුමංගලයින් ලකුණක් වෙනුවෙන් පිටියේ ඔබමොබ සැරිසැරුව ද, ලකුණු පරතරයට තවත් බරක් එක් කරමින් යළිත් වරක් ක්‍රියාත්මක වූ විද්‍යාර්ථයින් දෙවන අර්ධයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.

දෙවන අර්ධයේ 16 වැනි මිනිත්තුවේ පෙර පරිදීම නැවත වරක් සාර්ථක ධාවනයක නිරත වෙමින් පැතුම් ජයකොඩි ධවල රේඛාව සලකුණු කළේ සිය කණ්ඩායමේ ලකුණු පුවරුවට ලකුණු 05ක් එක් කරමිනි. එහෙත් එහි ප්‍රවර්තන ඉලක්කය අසාර්ථක විය. (විද්‍යාර්ථ 24-00 සුමංගල)

ලකුණු තත්ත්වයෙන් මෙන්ම ක්‍රීඩා රටාවෙන් ද, සම්පූර්ණයෙන්ම පසුබැස සිටි සුමංගලයින් 22 වැනි මිනිත්තුවේ දී යළිත් ක්‍රීඩක හුවමාරුවක් සිදු කළ ද පීඩනකාරී තත්ත්වය තවදුරටත් එලෙසින්ම පැවැතිනි.

කෙසේ වෙතත් තරග උණුසුම මැද වූවද, තරගයක පැවතිය යුතු ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව ගිලිහී යාම හේතුවෙන් යළිත් වරක් සත්කාරකයින්ට කහ කාඩ් පත් අවවාදයක් කිරීමට ප්‍රධාන විනිසුරුවරයාට සිදු විය. එම අවවාදය හරහා දෙවන අර්ධයේ 28 වැනි මිනිත්තුවේ දී පිටියෙන් පිටමං කළේ විද්‍යාර්ථ ‘නොම්බර 04’ ක්‍රීඩක තරූෂ තිලකරත්නය.

ඒ අවසරයෙන් ඉන් මිනිත්තු 04කට පසුව හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සුමංගලයින්ට හැකි විය. ඒ අනුව සිය කණ්ඩායම ලබා ගන්නා පළමු ලකුණ වෙනුවෙන් සාර්ථක වීමට, සුමංගලයේ ‘නොම්බර 15’ යටතේ ක්‍රීඩා කරන පළපුරුදු ප්‍රහාරක උමේෂ් වීරකෝන්ට හැකි විය. (විද්‍යාර්ථ 24-03 සුමංගල)

විද්‍යාර්ථයින් නැවතත් A කාණ්ඩයට පැමිණෙයි ද?

විද්‍යාර්ථ විද්‍යාලය මෙම (2019) වසරේදී සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී ඉතා හොඳින් දක්ෂතා…

තරගයේ ලකුණු රැස් කිරීම සහ පරතරය අඛණ්ඩව පවත්වා ගැනීම අතින් විද්‍යාර්ථයින් සාර්ථක වූවද, ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව තැකීමකට ලක් කිරීම අතින් විද්‍යාර්ථයින් පල්ලම් බැස ඇති බව යළිත් වරක් සනාථ කරමින්, තරගයේ තෙවන කහ කාඩ් පත් අවවාදයත් උරුම කර ගැනීමට තවත් මිනිත්තුවක් ගත වන විට විද්‍යාර්ථයින්ට සිදු විය. එහි දී අවවාදයට ලක් වූයේ විද්‍යාර්ථ නොම්බර 18 ‘ Reserve’ ක්‍රීඩක රුමේෂ් සමිරංගය.

අනතුරුව දෙවන අර්ධයේ 36 වැනි මිනිත්තුවේ දී නැවත වරක් සුමංගලයින්ගේ ක්‍රීඩක හුවමාරුවක් සිදු වූ අතර ඉන් මිනිත්තු 02ක් ගත වන විට යළිත් වරක් විද්‍යාර්ථ ලකුණු පුවරුව ඔසවා තැබීමට ඩිල්ශාන් කෝදාගොඩ සමත් විය. උත්සාහක දිනුමක් වෙනුවෙන් සාර්ථක ධාවනයක යෙදුණු ඩිල්ශාන් අවසන් මිනිත්තු කිහිපයේ සටහන් කළ ලකුණු 05ත් සමඟින් විද්‍යාර්ථ ජය තවදුරටත් සනාථ විය.

ඒ අනුව තරගය පුරාවට එක් දඬුවම් පහරකින් පමණක් සෑහීමට පත් වීමට සුමංගලයින්ට සිදු වූයේ, විද්‍යාර්ථයින්ගේ දැඩි ක්‍රීඩා රටාව හමුවේ ලකුණු 26ක අමිහිරි පරාජයක් ද උරුම කර ගනිමිනි.

අවසන් ලකුණු තත්ත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 29 (5T, 2C) – 03 (1P) සුමංගල විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • විද්‍යාර්ථ විද්‍යාලය: ඩිල්ශාන් කෝදාගොඩ (2T), පැතුම් ජයකොඩි (2T), චිරන්ත කළුආරච්චි (2C) කවිෂ්ක බණ්ඩාර (1T)
  • සුමංගල විද්‍යාලය: උමේෂ් වීරකෝන් (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<