නව තාක්ෂණය නිසා පීඩනය විනිසුරුවන්ට

121
Simon Tauffel

නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණ සඳහා එක්වීම සිතන තරම් පහසු නොවන බව හිටපු විනිසුරු සයිමන් ටෝෆල් පවසා සිටියා. ඔහු පවසා සිටින්නේ එම තාක්ෂණය නිසා විනිසුරුවරුන්ගේ කාර්‍යභාරය තවත් සංකීර්ණ වී ඇති බවයි. 

48 හැවිරිදි සයිමන් ටෝෆල් පවසන පරිදි කැමරා විශාල ප්‍රමාණයක් හා අනෙකුත් තාක්ෂණික උපකරණ විනිසුරුවන්ගේ පීඩනය තවත් වැඩි කිරීමට සමත් වන බවයි.

සඳුන් මධුශංක නිල්වලා තෝමසුවෝ පාලනය කරයි

“ඒක ඇත්තටම ගොඩක් ලොකු අභියෝගයක්. ඒක ලේසි දෙයක් නම් හැමෝම ඒක කරාවි. ඒක සම්පූර්ණයෙන්ම අඩුපාඩුවලින් ඉගෙන ගන්න රැකියාවක්. “ AFP පුවත් සේවය සමඟින් පැවති සම්මුඛ සාකච්ඡාවක දී සයිමන් මේ බව පවසා තිබේ. 

විනිසුරු තීරණ අභියෝගයට ලක්කිරීමේ නීතිය මඟින් ක්‍රීඩකයන්ට විනිසුරු ලබා දුන් තීන්දුව නැවත බැලිය හැකි වීම, වේගය අඩු කළ පුනරූපන, පන්දුවේ ගමන් මඟ පිළිබඳව ඇති තාක්ෂණික මෘදුකාංග, ධ්වනි සංවේදක, හා තාප සංවේදක හෙවත් hot spot මගින් පන්දුව පිත්තෙහි වැදුණ බව පෙන්වීම වැනි තාක්ෂණික මෙවලම් විනිසුරුවන්ට මහත් අභියෝගයක් එල්ල කිරීමට සමත් වන බව ඔහුගේ අදහසයි. 

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එක් කළ මෙම තාක්ෂණය ඉන් අනතුරුව වෙනත් ක්‍රීඩාවන් සඳහා ද යොදාගැනීමට පෙලඹිනි. ඒ අනුව ටෙනිස්, රග්බි හා පාපන්දු මෙලෙස අධි තාක්ෂණික මෙවලම් භාවිතයට ගන්නා අනෙකුත් ක්‍රීඩාවන් බවට පත්ව ඇත. 

“ඔබ විනිසුරුවරයෙකු හැටියට තරග කරන්නේ කැමරා 30ක්, ball tracker, snicko, hot spot වගේ තාක්ෂණයන් එක්ක. ඒ වගේම විස්තර විචාරය කරන තුන්දෙනා සමඟ. ඒ වගේ වෙලාවක දී තියන පීඩනයත් එක්ක තමන්ගේ උපරිම හැකියාව එළියට නොඑන්න පුළුවන්.” 

සයිමන් ටෝෆල් විනිසුරුවරයෙකු ලෙස තම පළමු තරගයට සහභාගි වන විට ඔහුගේ වයස 29ක් පමණි. 

“ඒත් ඒක ජීවිතයේ කොටසක්, රොජර් ෆෙඩරර්ට පහරක් මඟ හැරෙන්න පුළුවන්. ටයිගර් වුඩ්ස්ගේ පහරක් වරදින්න පුළුවන්. මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්. ඒත් ඒ වගේ වැරදි කරනවා නම් අපිට හැකියාව තියෙන්න ඕන ඒ වැරදි හදාගන්න යම් පාඩමක් ඉගෙන ගන්න.” 

සයිමන් ටෝෆල් ලොව බිහි වූ දක්ෂතම විනිසුරුවරයෙකු ලෙස සැලකෙන අතර ඔහුගේ නිරවද්‍යතාව හා ශාරීරික සුවතාවය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්විය. සයිමන් ටෝෆල් ජාත්‍යන්තර විනිසුරු දිවියට සමුදුන්නේ 2012 වසරේ දී ය. 

2004 වසරේ සිට 2008 වසර දක්වා පිට පිට වසර 5ක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන වසරේ විනිසුරු සම්මානයෙන් පිදුම් ලැබීමට ද සයිමන් ටෝෆල් සමත් විය. 

කවිඳු සහ සනෝජ් මේරියන්ස් ගොඩදායි

ජාත්‍යන්තර විනිසුරු දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව සයිමන් විනිසුරු දක්ෂතා හා පුහුණු කළමනාකරුවෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහා සේවය කළේය. ඔහු පසුගිය දා Finding the Gaps නමින් ඔහු විසින් රචිත ග්‍රන්ථයක් ද එළිදක්වනු ලැබුණි. 

“මම හැමවෙලේම කියන්නේ ඔබේ කාර්‍යය ගැනම අවධානය යොමු කරන්න කියලා. අනෙක් අය බලාපොරොත්තු වෙන දේ හෝ ඔබගේ කාර්‍යයේ අවසන් ඵලය ගැන හිතන්න හොඳ නෑ. මිනිසුන් ඔබව කොහොමත් විනිශ්චය කරනවා. ඉතින් ඔබ ඔවුන්ට ඔබව දෙන්න.”

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී වඩාත් කතාබහට ලක්වූ ලකුණු 6 සිදුවීම සයිමන් ටෝෆල් පිළිබඳව නැවතත් කතාබහ ඇතිකිරීමට සමත් විය. එංගලන්තය හා නවසීලන්තය අතර පැවති අවසන් තරගයේ දී කණ්ඩායම් දෙක ලබා ගත් ලකුණු සංඛ්‍යාව සමාන වූ අතර ඉන් අනතුරුව පැවති සුපිරි පන්දුවාරයේ ද ලකුණු සමාන වීම නිසා තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා තරගය තුල එල්ල කළ හතරේ හා හයේ පහර සංඛ්‍යාව සලකා බැලීමට සිදු විය. එම තරගයේ ජයග්‍රහණය එංගලන්තය සතු විය. මෙම තරගයේ දී ලකුණක් සඳහා පැති මාරුකරගනිමින් සිටි එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගේ පිත්තෙහි වැදී හතරේ සීමාව වෙත පන්දුව ඇදී ගිය අතර විනිසුරුවන් තීරණය කළේ එංගලන්තයට ලකුණු 6ක් පිරිනැමීමටයි. 

කෙසේ වෙතත් සයිමන් ටෝෆල් පසුව අදහස් දක්වමින් මෙම අවස්ථාවේ දී එංගලන්තයට ලබා දිය යුතුව තිබුණේ ලකුණු 5ක් පමණක් බවත් ය. 

සයිමන් ටෝෆල් තම ජිවිතයේ ලද වඩාත්ම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ පසුගිය 2009 වසරේ දී ය. පාකිස්තානයේ ලාහෝර් හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සඳහා සයිමන් ටෝෆල් ද මැදිවී තිබුණි. 

එම ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරග පැවැත්වීම සම්පූර්ණයෙන් ඇණහිටි අතර සයිමන් ටෝෆල් පවසන්නේ පාකිස්තානයට නැවත ක්‍රිකට් ගෙන යාම අත්‍යවශ්‍ය දෙයක් බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මනා පිටිවහලක් වන බව ද ඔහු පවසා සිටියා. 

“දේවල් වෙනස් වෙනවා. ලෝකේ කිසිම රටක නරක දේවල් විතරක් වෙන්නේ නෑ. මම හිතනවා ක්‍රිකට් ලෝකයේ තවත් තැන් වල ව්‍යාප්ත වේවි කියලා. පාකිස්තානයේ දී මම ලබපු අත්දැකීම එතරම් හොඳ එකක් නොවුනත් මම බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් නැවතත් පාකිස්තානයට යාවි කියලා.”

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදු වූ යම් යම් සිදුවීම් නිසාවෙන් මෙවර තරගාවලිය සඳහා විශේෂ නිපන්දු විනිසුරුවරයෙකු යොදාගැනීමට ඉන්දියාව තීරණය කර ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම අත්හදා බැලීම ලෙස එය හැඳින්වේ.

දිමුත් සහ රොස්කෝ පිතිකරණයෙන් ලකුණු අතරට

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් සයිමන් පවසා ඇත්තේ මෙම අත්හදා බැලීම් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අත්‍යවශ්‍ය වන බවයි. නමුත් මෙම තාක්ෂණික ක්‍රම මඟින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රබල බලපෑම් එල්ල කිරීම එතරම් සුදුසු නොවන බව ද ඔහු පවසා සිටියා.

“මිනිසුන් හැටියට අපි මේ සිදුවීම් එකක් හෝ දෙකක් නිසා හැඟීම්බර වෙන්න හොඳ නෑ. මේ වගේ අත් හදා බැලීම් ඇත්තෙන්ම හොඳ දෙයක්. ඒකෙන් ක්‍රීඩාවේ ගුණාත්මකභාවයට ගොඩක් වැදගත්. ඒත් පරිපූර්ණ ක්‍රිකට් ක්‍රීඩාවක් මෙමඟින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම පරිපූර්ණත්වයක් නෑ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<