යොවුන් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා තුරුම්පුව සංතුෂ්

459

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා කෙළිබිමේ ලියලා වැඩෙන අතු රිකිලි බොහෝ ය. කළ යුතුව ඇත්තේ ඒ සම්පත් අනාගතය වෙනුවෙන් වඩාත් හරවත්ව සහ ක්‍රමානුකූලව සකසා සින්තටික් ධාවන පථය වෙත මුදා හැරීම ය. එය මේ අවස්ථාව වන විට සිදුවෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් මේ දිනවල පැවැත්වෙන කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග අතර දෝලනය වෙමින් සිටින ThePapare.com කණ්ඩායමට සුවිශේෂී දක්ෂතා දැක්වූ සහ දක්වමින් සිටින ක්‍රීඩකයෙක් හමුවෙනවා, ඔහු ශාලික සංතුෂ් වීරසිංහ.

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනුම ලබන සංතුෂ් 2018 වසරේ ආජන්ටිනාවේ පැවැත්වෙන කනිෂ්ඨ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් සපුරා තිබෙනවා. ඔහුට එකී අවස්ථාව හිමි වෙන්නේ කෙන්යාවේ පැවති කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරමින් මීටර් 200 ඉසව්ව තත්පර 21.72කින් නිමා කිරීමේ දක්ෂතාව නිසයි. එය තමයි ඔහුගේ මෙම ඉසව්වේ හොඳම තරග නිමි කාලය. එකී දක්ෂතාව අනුව සංතුෂ් මෙම වයස් කාණ්ඩයෙන් ලෝක ශ්‍රේණිගත කිරීමේ දී 12 වැනි ස්ථානය ද දිනා ගන්නවා.

“ඒක සුවිශේෂී ජයග්‍රහණයක්. අපිට තිබෙන පහසුකම් හා සමඟ සැසඳීමේ දී සංතුෂ්ට ලැබූ මේ අවස්ථාව කලාතුරකින් කෙනෙක්ට ලැබෙන දෙයක්. කොහොම වුනත් අපිට කනිෂ්ඨ ඔලිම්පික් උළෙල වෙනුවෙන් සූදානම් වෙන්න තවත් කෙටි කාලයක් තිබෙනවා. ඒ වෙනුවෙන් මේ දිනවල විශේෂ පුහුණු ක්‍රම අනුගමනය කරමින් පුහුණුවීම් කටයුතු කරනවා. අපේ බලාපොරොත්තුව මේ කාලය 21.20 දක්වා අඩුකර ගන්න. මම විශ්වාස කරනවා අපිට එතැනට යන්න පුළුවන්. ඒ කියන්නෙ අපිට පදක්කමක් කරා සංතුෂ්ව රැගෙන යන්න පුළුවන්.“ සංතුෂ් කෙරෙහි මෙසේ විශ්වාසයෙන් යුතුව ThePapare.com සමඟ අදහස් එක්කළේ සංතුෂ්ගේ පුහුණුකරු අමිල ප්‍රසන්න මහතායි.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මලල ක්‍රීඩා පුහුණුකරු වන අමිල ප්‍රසන්න මහතා මෙරට මලල කෙළිබිමට බොහෝ අංකුර ක්‍රීඩකයන් හඳුන්වා දුන් තැනැත්තෙක්. දැනටමත් ඔහු සතුව ජාතික මට්ටමේ දක්ෂතා දක්වන කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 25කට අධික පිරිසක් ඉන්නවාලු. සංතුෂ් ද ඒ අතර සිටින්නෙක්.

සංතුෂ්ගේ බඹරය වැල්ලේත් කැරකෙන්නට පටන් ගන්නේත්, මලල කෙළිබිමේ වඩාත් කතා බහට ලක්වෙන්නේත් පසුගිය වසරේ දී රුසියාවේ දී පැවති ආසියා ළමා ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ 200 ඉසව්වලින් රන් පදක්කම් දිනූ පසුවයි.  මේ තත්ත්වය වඩාත් තීව්‍ර වෙන්නේ අර කලින් කී ලෝක කනිෂ්ඨ ශූරතාවලියයි.

ආසියාවේ ළමා ක්‍රීඩා උළෙල සඳහා රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙලා තියෙනවා. ඒ කියන්නේ අනාගතයේ ලොව මලල කෙළිබිමේ පිපෙන මල්. ඉතිං ඒ අතුරින් තමයි සංතුෂ් එම ක්‍රීඩා උළෙලේ දක්ෂතම කෙටි දුර ධාවකයා වෙන්නේ.

මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමෙන් එකම රන් පදක්කම්ලාභියා වෙන්නේ සංතුෂ්. ඔහු ඊට අමතරව මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කමක් ද දිනා ගැනීමට දායක වෙනවා. එම ක්‍රීඩා උළෙලේ සංතුෂ්ගේ මීටර් 100 ඉසව්වේ කාලය තත්පර 11.20ක්. මීටර් 200 ඉසව්ව අවසන් පූර්ව වටයේ දී තත්පර 22.86කින් නිමා කළත්, අවසාන තරගයේ දී ඔහු තරගය නිමා කරන්නේ තත්පර 22.97කින්.

සංතුෂ්ගේ මීටර් 200 හොඳම කාලයන් වයස් කාණ්ඩයෙන් කාණ්ඩය වෙනස් වෙනවා. ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙලට වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයෙන් සහභාගී වන සංතුෂ් තත්පර 22.55කින් නිමා කරනවා. එය  වයස අවුරුදු 16න් පහළ කනිෂ්ඨ වාර්තාවයි. මෙම වාර්තාවේ හිමිකරු වී සිටියේ කීත් ද මෙල්. ඔහු වාර්තාව තබා වසර 10කට පසුවයි සංතුෂ් මේ හොඳම කාලය වාර්තා කරන්නේ.

“මේ කිසිදු ජයග්‍රහණයක තනි අයිතිය මට නැහැ. මේ පිටුපස බොහෝ දෙනා හිටියා. ඒ නිසා මම ලැබූ සෑම ජයග්‍රහණයකම අයිතිය ඔවුන්ට ද සමසේ බෙදී යා යුතුයි. ඒ අතුරින් පුහුණුකරු අමිල ප්‍රසන්න මහතා විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඒ වගේම විද්‍යාලයීය විදුහල්පති හෙන්රි දිසානායක මහතා, ක්‍රීඩා භාර ආචාර්ය ප්‍රවීන් වාස් සහෝදරතුමා, මලල ක්‍රීඩා භාර ආචාර්ය නුවන් අබේවික්‍රම මහතා, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ශ්‍රියාල් ද සිල්වා මහතා සහ සහාය පුහුණුකරු චමින්ද පෙරේරා යන මහත්වරුන් ද ඉදිරිපෙළින් සිටිමින් මට උදව් කරනවා. ඔවුන් සියලුම දෙනා හෙට දිනේ දී ද මම සමඟ සිටිනවා කියා විශ්වාස කරනවා. “ ශාලික සංතුෂ් අප සමඟ පැවැසුවේය.

සංතුෂ් කෙටි දුර ධාවකයෙක් ලෙසිනුයි හැඳින්වීම. ඒ මීටර් 100 සහ 200 ඉසව්වලින් දක්ෂතා දැක්වූ නිසා. ඒත් සංතුෂ්ම පවසන පරිදි ඔහුගේ වැඩි කැමැත්තක් තියෙන්නෙ මීටර් 200 ඉසව්වට. ඔහු ඊට හේතූන් ලෙස දක්වන්නේ “යමක් කළ හැකිය“ යන විශ්වාසයයි. කෙසේ වෙතත් ඔහුගේ කරුණු දැක්වීම සාධාරණීකරණය කරන්නත් ඔහු සමත් වෙලා තිබෙනවා. ඒ සංතුෂ්ට ඔලිම්පික් යෑමේ බලාපොරොත්තුව ලැබෙන්නෙත් මීටර් 200 ඉසව්වෙන් නිසා.

සංතුෂ් මීටර් 200 ඉසව්ව යමක් කළ හැකි ඉසව්වක් සේ හඳුන්වමින් ඒ මත්තේම හැපී සිටීම ගැන නම් පුහුණුකරු අමිල ප්‍රසන්න මහතාගේ නම් එතරම් කැමැත්තක් නැහැ.

“සංතුෂ් වඩාත් දක්ෂතා දක්වන්නේ මීටර් 200 ඉසව්වට. එ්ත් එහෙම එකම ඉසව්වකට ගාල් වෙලා සිටීම බලවත් වරදක්. දැනට මගේ විශ්වාසයත් සංතුෂ් වඩාත් අවධානය දැක්විය යුත්තේ මීටර් 200 ඉසව්වට. අපිත් ඒ වෙනුවෙන් විශාල ලෙස සහාය දක්වනවා. ඒත් සංතුෂ් මෙතැනින් තවත් තැන්වලට ගිහිල්ලා ඒ තැනුත් ස්පර්ශ කළ යුතුයි. යොවුන් ඔලිම්පික් උළෙලින් පස්සේ සංතුෂ් මීටර් 100 ඉසව්වේ දී ද දැක ගැනීමට හැකි වෙනවා.“ අමිල ප්‍රසන්න මහතා නැවත අප සමඟ එක්වෙමින් පැවසුවා.

සංතුෂ් මලල කෙළිබිමේ දී මහා ලොකු වීරයෙක් වුනත් ගෙදර දී නම් ඉතාම නිහඬ චරිතයක් බවයි පැවසෙන්නේ. අඩුම තරමින් ගෙදර සිටින නංගී සමඟවත් ඔහුගේ එතරම්ම පයුරු පාසානමක් නැහැ. නමුත් සහෝදරකම නම් ඉහට ඉහළින්.

“පුතා බොහොම නිවුණ චරිතයක්. එයා හිතන්නෙ පතන්නේ තමන්ගේ දේ සාර්ථකව කරන ආකාරය ගැන පමණයි. කතා බහට ගියත් අවශ්‍යම දේ විතරයි කතා කරන්නේ. මම හිතන්නේ පාසලේ ගත කරන කාලය තුළත් ඔහු එසේම වෙන්න ඇති. අපි නම් කවදාවත් හිතුවේ නැහැ පුතා මේ වගේ තත්ත්වයකට ඒවි කියලා. මොකද ගෙදරට කෙනෙක් ආවත් ඉතිං සෙල්ලමකට වත් ඔලුව දාල බලන කෙනෙක් නෙමේනේ.“  සංතුෂ්ට චරිත සහතික ලියා දුන්නේ  මව වන සඳමාලි ප්‍රදීපිකා මහත්මියයි.

පියා දිනේෂ් රංග වීරසිංහ වන අතර සහෝදරිය සෙත්මි දිනේෂා ය. සිව් දෙනෙකුගෙන් යුත් මේ පවුලේ ක්‍රීඩාවට සම්බන්ධ එකම තැනැත්තා ද වන්නේ සංතුෂ් ය.

“මම ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ ඉතාම කුඩා කාලයේ දී. කිසිම දෙයක් දන්නෙ නැති කාලෙත් මම කියවල තියෙන්නේ දිවීම ගැන කියලයි ගෙදරින් නම් කියන්නේ. සමහර විට මේක පෙර පුරුද්දකට ගෙන එන දෙයක් වෙන්න ඇති. කොහොම වුනත් මම අද ඉන්න තත්ත්වය ගැන සතුටු වෙනවා.“

සංතුෂ් අද කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සිට දක්ෂතා දැක් වූවත් ඔහුගේ මුල්ම පාසල වෙන්නේ ගනේමුල්ලේ ඕල් නේෂන් ජාත්‍යන්තර පාසල. ඊට පස්සේ කඳාන ඕකේඅයි ජාත්‍යන්තර පාසල. මේ පාසල් දෙකේම සිටිද්දි සංතුෂ් මලල ක්‍රීඩාවේ නිරත වෙලා තිබෙනවා. ඒ නිසාම තමයි සංතුෂ්ට සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පිවිසෙන්නට ඇරයුම් ලබන්නේ.

මේ සියලු මතකයන් සමඟින් සංතුෂ්ගේ ප්‍රමුඛ ඉලක්කය වී තිබෙන්නේ එළඹෙන යොවුන් ඔලිම්පික් තරගාවලියයි. ඒ සඳහා  දැන් සිටම ඔහු වෙහෙස මහන්සිය නොබලා කටයුතු කරනු පෙනේ. ඔහුගේ වෙහෙසට සුළං පොඳක්ව ගත දැවටී වෙහෙස නිවා ලීමට හැකියාවක් ඇත්නම් ඒ කෙතරම් අගනේ ද?

සංතුෂ් ඔබට සුබ පැතුම්…l

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<