ඉන්දීය අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව නිරුත්තර වෙයි

2140

SAFF Suzuki කුසලානයේ (දකුණු ආසියානු කුසලානය) ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් 2-0ක් ලෙසින් ඉන්දියාව හමුවේ පරාජය විය. B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය පැවැත්වුණේ බංගලාදේශයේ ඩකා අගනුවර බංගබන්ධු ක්‍රීඩාංගණයේ දී ය.

මෙම තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ සහ දකුණු කොරියාවේ පුහුණු සැසියකට ද සහභාගී වූ අතර ඒ අත්දැකීම් ද සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වන ලදි.

ශ්‍රී ලංකාව SAFF කුසලානයේ පළමු තරගයට සූදානම්

බංගලාදේශයේ පැවැත්වෙන 2018 SAFF සුසුකි කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඉන්දියාව…

අනෙක් පසින් ඉන්දියාව මෙම තරගාවලිය සඳහා සුනිල් චෙත්රි, ජේජේ, බල්වන්ත් සිං ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉදිරිපත් නොකළේ ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා යොවුන් ක්‍රීඩකයන් සොයා ගැනීමේ අටියෙනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් අවුරුදු 24 අඩු ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 ආරම්භ වූ තරගයේ මුල සිටම පන්දුව තම කණ්ඩායමේ රඳවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයන්ට හැකි විය. මුල් විනාඩි කිහිපයේ දී ඉන්දියාව විසින් ප්‍රහාර කිහිපයක් එල්ල කළ ද ශ්‍රී ලංකාවේ දැල් රකින්නා, සුජාන් පෙරේරා විසින් එම ප්‍රහාර මෙල්ල කරන ලදි.

17 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවේ මැදපෙළ ක්‍රීඩක මොහොමඩ් රිෆ්නාස් විසින් මීටර් 35ක දුරින් සිට එල්ල කරන ලද නිදහස් පහර පළමු භාගයේ දී ශ්‍රී ලංකාව විසින් දැක්වූ ඉහළම දක්ෂතාවය විය.

ගෝලයක් ලබා ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ ඉන්දියානුවන් 35 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ උත්සාහය සාර්ථක කර ගන්නා ලදි. ඒ ඉන්දියාවේ අනාගත බලාපොරොත්තුවක් වන සුමීත් පස්සි විසින් ලබා දුන් සහය දැක්වීම (Assist), ආශික් කුරුනියන් විසින් සාර්ථක කර ගැනීමත් සමඟිනි.

ආබාධයක් හේතුවෙන් 40 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා නායක සුභාෂ් මධුෂාන් හට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර ඔහු වෙනුවට හර්ෂ ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට පැමිණෙන ලදි.

පළමු භාගය 1-0 ලෙසින් අවසන් වූ අතර පළමු භාගය පුරාවටම ඉන්දියාවට අභියෝගයක් කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 00 – 01 ඉන්දියාව

දෙවැනි භාගය ආරම්භ වීමට පෙර ඇෆීල් මොහොමඩ් වෙනුවට රිනවුන් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක අසේල මධුෂාන් ක්‍රීඩා පිටියට එක්විය.

දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු දෙකක් ගතවන්නටත් මත්තෙන් ඉතා විශිෂ්ට ගෝලයක් ලබා ගැනීමට ලලියාන්සුවාලා චන්තේට හැකි විය. මුල් භාගයේ දී අවස්ථා ත්‍රිත්වයක දී ගෝල ලබා ගැනීමට චන්තේ උත්සාහ කළ ද ඒ සියලුම උත්සාහයන් ව්‍යර්ථ විය. නමුත් මෙම අවස්ථාවේ දී ඔහු සාර්ථක විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණු තරගයේ දී බංගලාදේශය පරාජය කරයි

SAFF සුසුකි කුසලානයට (SAFF Suzuki Cup 2018) පෙර සූදානමක් වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා බංගලාදේශ…

ඉතා දුර සිට පටු කෝණයකින් චන්තේ විසින් පහර එල්ල කළ අතර එය දිස්වුනේ ඔහු විසින් cross කිරීමට ලබාගත් උත්සාහයක් වශයෙනි. නමුත් කෙසේ හෝ පන්දුව නතර වූයේ ශ්‍රී ලංකා දැල තුලයි.

ශ්‍රී ලංකාව විසින් තරගය පුරාවටම ගෝල සීමාව (On target) දෙසට එල්ල කළ එකම පහර 53 වැනි මිනිත්තුවේ දී අශිකුර් රහ්මාන් විසින් එල්ල කරන ලදි.

තරගයේ 71 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථාවක් ඉන්දියාවෙන් ගිලිහුණේ ෆාරූක් චෞද්රි විසින් එල්ල කළ පහරක් ශ්‍රී ලංකා ගෝල කණුවේ වැදුණ නිසාය.

සුජාන් පෙරේරා

ඉන්පසු දිගින් දිගටම ගෝල ලබා ගැනීමට ඉන්දියාව උත්සාහ කළ අතර 81 සහ 88 මිනිත්තුවල දී නැවත නැවතත් ෆාරූක් චෞද්රි ගෝල ලබා ගැනීමට උත්සාහ කළ ද, ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් සහ විශේෂයෙන්ම ගෝල රකින්නා සුජාන් පෙරේරාගේ දක්ෂතාවය නිසා ෆාරූක් චෞද්රි ඇතුළු ඉන්දීය කණ්ඩායමට සිය තෙවැනි ගෝලය ලබා ගැනීමට නොහැකි විය.

තරගයේ අතිරේක කාලයේ දී ඉතා අලංකාර ලෙසින් පන්දුව ඉදිරියට යොමු කිරීමට (Through ball) කවිඳු ඉෂාන්ට හැකි වූවත්, අසේල මධුෂාන් offside ස්ථානයක සිටියා යැයි පැති විනිසුරු විසින් සංඥා කිරීමත් සමඟින් ගෝලයක් ලබා ගැනීමට තිබූ සියලුම බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ඒ අනුව තරගයේ සම්පූර්ණ කාලය නිමා වන විට ගෝල 2-0ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් තරගය ජයගෙන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඉන්දියාවට හැකි විය.

තරගයේ පන්දුව 62%ක් ඉන්දියාව සතුව පැවති අතර 38%ක් ශ්‍රී ලංකාව පන්දුව පාලනය කරන ලදි. ගෝල සීමාව දෙසට (Shots on target) ඉන්දියාව විසින් පහරවල් 9ක් එල්ල කරන විට ශ්‍රී ලංකාවට එකම එක පහරකින් සෑහීමකට පත්වන්නට සිදු විය. තරගයේ බොහෝ අවස්ථාවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් ඉන්දියාවට පන්දුව ලබා දීම ද දැක ගත හැකි විය.

ඉන්දියාව කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක්. මේ තරගයේ දී අපි අතින් ගොඩක් වැරදීම් වුනා. අපිට තවත් තරගයක් තියෙනවා. වැරදි අඩුපාඩු හදාගෙන ඒ තරගය ජයග්‍රහණය කරලා අවසන් පූර්ව වටයට ඇතුලත් වීම තමයි දැන් අපේ බලාපොරොත්තුව”

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු පකීර් අලි මහතා විසින් පවසන ලදි.

SAFF SUZUKI කුසලානයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 7 වැනිදා මාලදිවයින සමඟින් පැවැත්වීමට නියමිතයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා ඇතුලත් වීමට විශාල අවස්ථාවක් ලැබෙනු ඇත.

අවසාන ලකුණු තත්වය: ඉන්දියාව 02 – 00 ශ්‍රී ලංකාව 

ගෝල ලබාගත් ක්‍රීඩකයන්:

  • ඉන්දියාව: ආශික් කුරුනියන් (35’), ලලියාන්සුවාලා චන්තේ (47’)

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<

Cover – Sportskeeda