ගාල්ල යනු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් දායාද කළ නගරයකි. මාවන් අතපත්තු, චම්පක රාමනායක, උපුල් චන්දන, ලසිත් මාලිංග ඊට පැහැදිලි නිදසුන් වේ. එහි ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන පාසල් අතර ප්‍රමුඛතම පාසල් දෙක වන ගාල්ල මහින්ද විදුහලත්, ගාල්ල රිච්මන්ඩ් විදුහලත් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය, එසේත් නැතිනම් “ආදරවන්තයින්ගේ සටන”, ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් තරග අතුරින් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන්නකි.

එම ඉතිහාස ගත තරගයේ වසර 6ක්ම ක්‍රීඩා කරන්නට වාසනාවන්තයෙකු වූ රුමේෂ් බුද්ධික, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තුළ ක්‍රීඩා කරන කාලයේදීම ජාතික කණ්ඩායමට පිය මනිනු ඇතැයි බොහෝ ක්‍රිකට්ලෝලීන් විශ්වාස කල ක්‍රීඩකයෙකි. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් බිහි වූ ඔහු, ගාල්ල ක්‍රිකට් සමාජයත්, වසර 4ක් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයත් නියෝජනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා පසුව ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ ද ක්‍රීඩා කල අතර ඔහු දැනට බී.ආර්.සී. ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.

“රුමේෂ් බුද්ධික තමයි මගෙ නම. ඒත් රොමේෂ් කියලත් සමහරු කියනවා. රුමේෂ් මුතුකුමාරණ කියනවා නම් මං වැඩිපුර කැමතියි.”

ඔහු කතාබහට ගත් ආරම්භය එවැන්නකි. කෙසේ වෙතත් ඔහු යෞවනයෙකුව සිටියදීම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ සිත් හි තැන්පත් වූ “රුමේෂ් බුද්ධික” යන නම අපට වඩාත් සමීප ය. එහෙත් ඔහු මේ සූදානම් වන්නේ අලුත් ගමනකටයි.

“පසුගිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ශතක දෙකකුත්, අර්ධ ශතක තුනකුත් සමඟින් ලකුණු 600කට වඩා වාර්තා කළා. අන්තිම අවුරුදු තුනේදීම මං ලකුණු 800 සීමාව පසුකළා. ඒ වගේම වෙළඳසේවා තරගාවලියේ දී සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරනවා.”

මෑතක දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වූ ධනංජය ද සිල්වා ඔහුගේ සමකාලීන ප්‍රතිවාදියෙකි (රිච්මන්ඩ්). එවන් බොහෝ ක්‍රීඩකයන් දකුණෙන් බිහි වී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිය ස්ථානයන් තහවුරු කර ගත් අතර රුමේෂ් එය දකින්නේ මෙසේයි.

“දකුණේ මිනිස්සු ගොඩක් ක්‍රිකට් වලට ආදරෙයි වගේම, ක්‍රිකට් ඇඟේම තියෙන පිරිසක් තමයි දකුණේ ඉන්නේ. දකුණේ යොවුන් ක්‍රීඩකයන් ළඟ දක්ෂතාවය නිරායාසයෙන්ම තියෙනවා. ක්‍රීඩකයෙකුගේ අනාගතය වෙනුවෙන් ‘උපන් හැකියාව’ හරිම වැදගත්. ඉතින් ඒ ශක්තිය දකුණේ මිනිස්සුන්ගේ ලේ වල ගැබ් වෙලා තියෙනවා. ඒක රටට ලොකු අභිමානයක්.”

එවන් අභිමානයකින් පසු වන ඔහුට මහා ක්‍රිකට් තරගය ගැන ඇත්තේ මෙවන් මතකයක්.

“මං මුලින්ම මහා ක්‍රිකට් තරගය නියෝජනය කරන්නේ 2005 වර්ෂයේ දී. මං අවුරුදු 15 දී තමයි පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළේ. එතන ඉඳන් අවුරුදු 6ක්ම මහා ක්‍රිකට් තරගය නියෝජනය කළා. මං හිතන්නේ ඒක හරි විරල අවස්ථාවක්.”

එය සැබවින්ම විරල අවස්ථාවකි. විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයෙකුට හැරෙන්නට වයස අවුරුදු 15ක පමණ ලාබාල ක්‍රීඩකයෙකුට පාසල වෙනුවෙන් පළමු පෙළ කණ්ඩායම සමඟ මහා ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබේ. එම අවස්ථාව ලද කිහිප දෙනෙකු සිහිපත් කළහොත් සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, තිලිණ කණ්ඩම්බි, චාමර කපුගෙදර සහ මහේල උඩවත්ත වැනි විශේෂ දක්ෂයන් කිහිප දෙනෙකු මතකයට නැගේ.

තරග 6ක මහා ක්‍රිකට් තරග දිවිය තුළ දී රුමේෂ් ජයග්‍රහණයක සතුට සැමරීමේ වාසනාවට ද හිමිකම් කියා ඇත.

“2005 වසරේ ඉඳන් අත්දැකීම් අරන් 2008 දී ආදරවන්තයන්ගේ සටනේ ජයග්‍රහණය ලද කණ්ඩායමේ සාමාජිකයෙකු වෙන්නත් මට හැකියාව ලැබුණා. ඒක මගේ ජීවිතේ සුන්දරම අත්දැකීමක්.”

ඒ සුන්දර අත්දැකීමට අමතරව ලද තවත් රසවත් අත්දැකීමක මතකය ද ඔහු විසින් ආවර්ජනය කලේය.

“රසවත්ම සිද්ධියක් තමයි එක් තරගයක දී සුරංග ලක්මාල් සහ මං අතර ඇති වුන ගැටුම්කාරී තත්වය. ඔහු මං පිතිකරණයේ යෙදෙන හැමවිටම මට අභියෝගයක් වුනු පන්දු යවන්නෙක්. මං ගොඩක් ඒ අත්දැකීම වින්දා. ඒ ආරවුලෙන් පස්සේ මං ඔහුට එරෙහිව හොඳින් ක්‍රීඩා කරලා ඔවුන් ජයග්‍රහණය කරන එක වැළැක්වුවා.”

Rumesh Buddhikaදිවයිනේ පැරණිතම මහා ක්‍රිකට් තරගවලින් දෙකක් දකුණු පළාතට අයත් වන අතර රිච්මන්ඩ් – මහින්ද මහා ක්‍රිකට් තරගය ඉන් එකකි. ඊටම ආවේණික වූ අංග ගැන ද සිහිපත් කිරීමට රුමේෂ් අමතක නොකළේය.

“අනිත් පාසල්වල වගේම සයිකල් සවාරි වගේ දේවලුත් මේ මහා සටනට ඇතුළත්. ඒ වගේම ගාල්ලේ උසම කොඩිය දාන්නේ මොන පාසල ද කියලත් පුංචි තරගයක් තියෙනවා. අවධානය දිනා ගන්න පාසල් දෙකේම ලොකු සටනක් තියෙනවා. නැරඹුම් කුටි (tents) වලින් ලස්සනම එක තෝරන එකත් තරගයක්.”

ඉතාමත් තරගකාරී මහා ක්‍රිකට් ගැටුමක් වන රිච්මන්ඩ් – මහින්ද ගැටුම ගැන තවදුරටත් අදහස් විමසීමට ඔහු සුදුස්සෙකු වන්නේ ඔහුගේ සය අවුරුදු මහා තරග අත්දැකීම් හේතුවෙන්මයි. “ආදරවන්තයන්ගේ සටනට” ඔහු ලබා දුන් නිර්වචනය ඉතා ගැඹුරු එකකි.

“ඒක සටනක් වෙන්නේ පිටියෙ දී ක්‍රීඩා කරන කාල පරාසය තුළ දී පමණයි. නමුත් ක්‍රීඩාව තුළින්ම තමයි සහෝදරත්වය බිහි වෙන්නේ. ක්‍රීඩාව තුළින් ජය පරාජය විඳ දරා ගන්න පුරුදු වෙලා, හොඳ ක්‍රීඩා විනයක් ඇතුව, සමාජයට හරි පණිවිඩයක් දුන්නොත් ඒකයි වැදගත් වෙන්නේ. ක්‍රීඩාවේ දී අපි එකිනෙකා අභියෝග කර ගත්තට ඉන් පිටත දී ඇතිවෙන සදාකාලික බැඳීම තමයි මේකෙන් නියෝජනය වෙන්නේ. ඒකයි මගේ අදහස.”

පාසල් පිටියේ දී පන්දුවට පහර දෙන්නෙකු වශයෙන් පමණක් නොව දඟ පන්දු යවන්නෙකු වශයෙන් ද දස්කම් පෑ ඔහු, 2008 පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 980ක් ලබා ගනිමින් කඩුලු 65ක් ද දවා ගැනීමට සමත් විය. ලකුණු 1000 සීමාව ඔහුට මඟ හැරී ගියේ ලකුණු 20කිනි. ඔහුගේ අවසන් පාසල් තරග වසරේ දී 19න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත්වීම හේතුවෙන් මුළු තරග වාරය තුළදීම පාසල නියෝජනය කිරීමේ වරම ඔහුට අහිමි වුව ද, ඒ වන විටත් තරග 4කදී ඔහු ලකුණු 500 සීමාව පසු කොට තිබුණි‍.

ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, ඇන්ඩ්‍රි බෙරෙන්ජර්, අක්ෂු ප්‍රනාන්දු, චතුර පීරිස්, චරිත් ජයම්පති වැනි මෙරට දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ අප දුටු ශක්තිමත්ම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වන 2010 කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කල රුමේෂ්, 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අත්දැකීම් ගැන ද මෙසේ සිහිපත් කළේය.

“ඇත්තටම පාසල් ක්‍රීඩකයෙකුගේ තියෙන ලොකුම සිහිනය තමයි 19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක. මං සමඟ ක්‍රීඩා කරපු කණ්ඩායම බොහොම පළපුරුදු, ඒ වගේම ජාත්‍යන්තරයට ගිහින් ජයග්‍රහණ ගොඩක් ලබා ගත්ත කණ්ඩායමක්. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. ලෝක කුසලානයේදීත් අපි ගොඩක් හොඳින් ක්‍රීඩා කළා. අවාසනාවකට අපි ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගය පරාජය වුනා.”

එම තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ්ගේ සැලසුම් සහගත පන්දු යැවීම හමුවේ, ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක විය. එසේ තිබිය දී පවා සටන්කාමීව ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික යෞවනයන් පරාජය වූයේ කඩුලු දෙකකිනි. එසේ සිදු නොවූයේ නම්, ‘ශ්‍රී ලංකාව 2010 – 19න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම’, විචාරකයන්ට අනුව සක්සුදක් සේ පැහැදිලිව තිබුණි.

“ලෝකය හොල්ලපු 19න් පහළ කණ්ඩායමක් තමයි අපේ කණ්ඩායම. අපේ පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් ලොකු වෙනසක් කළා ඒ කණ්ඩායම වෙනුවෙන්. “ ඔහු එසේ කියන විට අරවින්ද ද සිල්වාගේ විශේෂඥ පුහුණුකාරීත්වය සහ නවීඩ් නවාස්ගේ පුහුණුකාරීත්වය එක් වූ තැනින් හට ගත් යෝධ ඵල දුටු අපට ඒ ගැන සතුටු සිත් ඇති වේ. අරවින්ද, තවමත් පාසල් ක්‍රිකට් කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් පසුවන්නෙකි.

Rumesh Buddhikaපාසල් තුලින් බිහි වන එවන් දක්ෂ ක්‍රීඩකයින් දේශීය ක්‍රිකට් මට්ටමට පැමිණීමේ දී කෙසේ සූදානම්ව සිටිය යුතු දැයි අපි රුමේෂ්ගෙන් ප්‍රශ්න කළෙමු.

“ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩකයෙක් එද්දී ඔහු ඊට ආරම්භයක් ලබා ගන්නේ මේ මහා ක්‍රිකට් ගැටුම්වලින්. එතැන දී අපි ක්‍රීඩා කරන්නේ පාසල වෙනුවෙන්. ඉතින් අපි අපේ දක්ෂතා පාවිච්චි කරලා පාසල් කණ්ඩායමට තේරිලා, අපේ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ, ශිෂ්‍යයන්ගේ ශක්තියත් එකතු කරගෙන තමයි අන්තර් සමාජ මට්ටමට එන්නේ. ඉතින් මහා ක්‍රිකට් ගැටුම කියන දේ ලොකු හයියක්. මොකද, දේශීය, ශ්‍රී ලංකා ‘ඒ’ සහ ජාතික කණ්ඩායමට පිළිවෙළින් එන්න තියෙනවා. ඉතින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දී නිවැරදි ක්‍රම අනුගමනය කරලා මේ තැන්වලට එනවා නම් ඔවුන්ගේ ගමන පහසුවෙයි.”

ජාතික ක්‍රිකට් නගා සිටුවීමෙහි ලා මහා ක්‍රිකට් තරගවල අවශ්‍යතාවය පිළිබඳව ඔහුට ඇත්තේ දැඩි විශ්වාසයකි.

“මහා ක්‍රිකට් තරග, මෙතෙක් කල් ක්‍රීඩා කරගෙන ආවා වගේම ඉදිරියටත් ක්‍රීඩා කෙරෙන්න ඕනේ. මොකද, ඒවගෙන් තමයි ක්‍රීඩකයන් ඉදිරියට ඇවිත් ලෝක කුසලාන පවා ජයග්‍රහණය කළේ. මං හිතන්නේ ඒක වෙනස් නොවිය යුතුයි. අලුත් දේවල් එක්වුණාට කමක් නැහැ. ඉන් බාහිර සිදු වන ගැටුම් නම් මං ක්‍රීඩකයෙකු හැටියට කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. පාසල් දෙකම එකතු වෙලා ගැටුම්වලින් තොරව සහෝදරත්වයෙන් ක්‍රියා කළොත් හොඳයි කියලයි මං හිතන්නේ.”

තරගයට වසර 100ක් සපිරුනත්, ආදරවන්තයන්ගේ සටන මේ දක්වාම ක්‍රියාත්මක වන්නේ දින දෙකේ තරගයක් වශයෙනි. ඊට හේතුව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මඳක් සංවේදීය.

“2004 දී තමයි ශතවර්ෂ පූර්ණය තිබුණේ. නමුත් සුනාමිය නිසා ඒක අවලංගු වුනා. මහා ක්‍රිකට් තරගයේ මගේ පළමු අවුරුද්ද වුනේ 2005. ඒත් තරගය පැවැත්වුණේ ගාල්ලේ ක්‍රීඩාංගණයේ නොවෙයි.”

සුනාමිය නිසා විනාශ වුනු ගාල්ල ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමට වසර කිහිපයක් ගතවිය. ඊට මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝන් වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයන් දැක්වූ සහය ද මෙහි දී සිහි කළ යුතුය. එතැන් සිට යළිත් ආදරවන්තයින්ගේ සටන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්ත වූ අතර 100 වැනි තරගයේ දී සිදු වූ එම සිදුවීම නිසාවෙන් අදටත් තරගය දින දෙකකට සීමා වී තිබේ.

සියලු පාසල් ක්‍රීඩකයන් වෙත පණිවුඩයක් දෙමින් රුමේෂ්, මෙසේ ද පැවසීය.

“අපි ගොඩක් අඩුපාඩුකම් මැද තමයි ක්‍රීඩා කළේ. හැබැයි පොඩි පහසුකම් වලින් අපි ලොකු ප්‍රයෝජන ලබා ගත්තා. ඉතින් මං පොඩි ක්‍රීඩකයින්ට කියන්නේ, පහසුකම් ගැන හොයන්න එපා. තියෙන දෙයින් ප්‍රයෝජන ගන්න.”

ඉන් නොනැවතුණු ඔහු පාසල් ක්‍රීඩකයන්ට මේ පණිවුඩය ද ලබා දුන්නේය.

“ක්‍රීඩාව නිසා අධ්‍යාපනයට තියෙන තැන නැති කර ගන්න එපා. ක්‍රීඩාව අවිනිශ්චිත වෙන්න පුළුවන්. ඒත් අධ්‍යාපනය ඕනම වෘත්තියකට වැදගත්.”

අවවාදය ආදර්ශයෙන්ම එය ඔප්පු කර පෙන්වා ඇති රුමේෂ් මුතුකුමාරණ උසස් පෙළ “A” සාමාර්ථ 3ක් ලබා ගෙන ඇති අතර, ඔහු මේ වන විට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු වශයෙන් සේවය කරයි.

Rumesh Buddhikaතරුණයෙකු වුව ද සාරගර්භ අදහස් වලින් සමන්විත මේ ක්‍රීඩකයාගේ ජාතික මට්ටමේ බලාපොරොත්තු ගැන අපි අවසන් වශයෙන් විමසුවෙමු.

“මං හොඳින් දස්කම් දක්වලා තියෙනවා. ඉතින් ජාතික කණ්ඩායමට කැඳවීමක් නොලැබීම ගැන යම් දුකකුත් තියෙනවා. ඒත් අවස්ථාවක් ලැබුනොත් මං කණ්ඩායම වෙනුවෙන් 100%ක් කැප වීමෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

නවකයින් හඳුනා ගැනීමට වැඩිකල් නොගන්නා වත්මන් ක්‍රිකට් පරිපාලනය, ඔහුවන් නැගී එන පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට පුළුල් ඉඩකඩක් නිර්මාණය කර ඇති බව අප දන්නා නමුත්, 2010 වර්ෂයේ 19න් පහළ ක්‍රීඩා කරන සමයේදීම ඔහු සහ භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින්ගේ ‘විශේෂ දක්ෂතා’ හඳුනා ගත් ලාංකික ක්‍රිකට්ලෝලීන්, මොහුට ශ්‍රී ලංකා මැදපෙළින් ඉඩක් ලැබෙන්නේ කවදා දැයි මේ වන තෙක් ඇඟිලි ගණිනා බව ද පිටියෙන් පිටත කතාබහ වල දී නොයෙක් විට අසන්නට ලැබේ.

දකුණෙන් බිහි වී, ජාතික කණ්ඩායමට පියමනින්නට මාන බලන මේ දක්ෂ තරුණයාගේ දස්කම්, තවතවත් වර්ධනය වේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔහු වැනි ක්‍රීඩකයන්ට වේදිකාව නිර්මාණය කර දුන් “ආදරවන්තයන්ගේ සටනේ” 112 වන දිග හැරුම, එළඹෙන මාර්තු 17 සහ 18 යන දිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගයේ සජීවී විකාශනය ThePapare.com තුළින් බලාපොරොත්තු වන්න.