නිල් මහා සටනේ 140 වැනි දිගහැරුම ලබන මාසයේ

371

ලොව පැරණිතම මහා ක්‍රිකට් තරග අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නා කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වනු ලබන නිල් මහා සංග්‍රාමයේ 140 වැනි දිග හැරුම මාර්තු මස 7, 8 හා 9 යන තෙදින පුරාවට කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

56 වැනි සහෝදර ගැටුම තීරණයකින් අවසන් වන ලකුණු?

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් …

ගරු ඩී. එස්. සේනානායක අනුස්මරණ ශූරතා පලිහ වෙනුවෙන් පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරගාවලිය දෙවැනි වන්නේ, ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පවත්වනු ලබන සාන්ත පීතර විද්‍යාලය හා ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගයට පමණි.

140 වැනි නිල් මහා සටනේ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව ඊයේ (20) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා හා සාන්ත තෝමස් විද්‍යාලයේ මාර්ක් බිලිමෝරියා පියතුමන් මෙන්ම Dialog ආසිආටා පී. එල්. සී. සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි අමලි නානායක්කාර මහත්මිය සහ අනෙකුත් අනුග්‍රාහකයින්, පාසල් දෙකේ ක්‍රීඩකයින්, ශිෂ්‍ය නායකයින් හා පාසල් දෙකේම ගුරුවරුන් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.

මේ වන විට පාසල් දෙක අතර පැවැත්වූ තරග අතරින් තරග 35ක් ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත්ව ඇති අතර සාන්ත තෝමස් විද්‍යාලය තරග 34ක් ජයග්‍රහණය කර ඇත. මේ තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් අවම ලකුණු ප්‍රමාණය ලෙස සටහන්ව ඇත්තේ 1885 දී රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 09කට දැවී යාමයි. දෙවැනි දිනයට තරගය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. අවසානයේ එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

පිළිමළුන් පිටුදැකීමේ සටන ඇරඹේ; වේල්ස් කුමරුන්ට වැඩි වාසි!

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා එළිදැක්වීමට අපූරු තෝතැන්නක් වන සිංගර් අවුරුදු ….

මෙවර රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දරන්නේ මුල්පෙළ කඩුලු රකින පිතිකරුවෙක් වන කවිඳු මදාරසිංහ විසින් වන අතර කඩුලු රකින ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන සිතර හපුහින්න සාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වය දරයි.

තරග ඉතිහාසයේ රාජකීය විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2016 වර්ෂයේ දී වන අතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට තරගයක් දිනාගෙන ඇත්තේ 2007 වර්ෂයේ දී ය.

මේ ඉතිහාස ගත ක්‍රිකට් තරගාවලියට මෙවරත් අනුග්‍රාහකත්වය දරන්නේ Dialog ආසිආටා පී. එල්. සී. සමාගම වන අතර 2015 වර්ෂයේ සිට නොකඩවා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ Dialog ආයතනයයි.

Dialog ආයතනය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් මේ සිදු කරනු ලබන අනගි මෙහෙවර තුල, නිල් මහා සංග්‍රාමයේ වාර්තා වන සෑම ලකුණක් වෙනුවෙන්ම රුපියල් 1000ක් හා ලබා ගන්නා සෑම කඩුල්ලක් වෙනුවෙන්ම රුපියල් 10,000ක මුදලක් පිරිනමනු ඇත. පසුගිය වසරේ පැවති මහා තරගයේ දී රුපියල් 1,018,000ක් එම පාසල් ද්විත්වය අතර බෙදා දී තිබෙන අතර ඒ මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පහසුකම් අඩු පාසල් කිහිපයක් වෙත ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් උදව් උපකාර කරනු ලැබේ.

>>140 වැනි නිල් මහා සටන පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේ සේයා රූ <<

තෙවැනි විනිසුරු තාක්ෂණය මෙවරත් නිල් මහා සටනට භාවිතා කරන අතර තරගය පුරාවටම වන සියලු දුවද්දී දැවී යාම් පවා (Stumpings, Run-Outs) තෙවැනි විනිසුරු තාක්ෂණයේ උපකාරීත්වය මත සිදු කරයි.

140 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටන සහ 44 වැනි එක්දින තරගය යන තරග දෙකම ඩයලොග් රූපවාහිනී නාලිකා අංක 77 ඔස්සේ විකාශය කරනු ඇත. ThePapare.com ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර My TV හරහා ද තරග සියල්ලම නැරඹීමට හැකිය.

තරග වාර්තා, පෙර විමසුම්, පන්දුවෙන් පන්දුව යාවත්කාලීන වන ලකුණු පුවරුව, තරග ඡායාරූප ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<