ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A තරග කාලසටහනේ වෙනසක්

60

මේ දිනවල දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්වය නිසා ශ්‍රී ලංකා ‘A කණ්ඩායම සහ බංග්ලාදේශ ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරග කාලසටහනේ වෙනසක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

බංග්ලාදේශ තරගාවලිය සඳහා A කණ්ඩායම නම් කෙරේ

එළඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ A කණ්ඩායමේ ශ්‍රී ලංකා…..

නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පසුගිය 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් පළමු දින දෙක දී ම තරගය ආරම්භ කිරීමට නොහැකි වූ නිසා තරගය අත්හැර දැමීමට තරග සංවිධායකයෝ කටයුතු කළහ.

ශ්‍රී ලංකා ‘A කණ්ඩායම සහ බංග්ලාදේශ ‘A’ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග කාල සටහනේ වෙනසක් සිදු කරමින් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ලබන 28 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර යොදා ඇත.

ඒ අනුව මෙම තරගය ලබන 28 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා හම්බන්තොට දී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන ඔක්තෝබර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ A සටනේ පළමු දිනයට වැස්ස හරස් වෙයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර…..

කෙසේ වෙතත් මෙම තරගාවලියෙන් අනතුරුව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත  නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දින ද වෙනසක් සිදු කරමින් පළමු සහ දෙවැනි තරග 09 සහ 10 යන දෙදින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය ලබන 12 වැනිදා කොළඹ දී පැවැත්වෙන අතර එම තරගයෙන් පසුව ඔක්තෝබර් 13 වැනිදා චම්පක රාමනායක ඇතුළු බංග්ලාදේශ ‘A’ කණ්ඩායම සිය රට බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

බංග්ලාදේශ A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නව කාල සටහන

  • පළමු නිල නොවන ටෙස්ට් තරගය: සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 1 – හම්බන්තොට
  • දෙවන නිල නොවන ටෙස්ට් තරගය: ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 7 – හම්බන්තොට
  • පළමු නිල නොවන එක්දින තරගය: ඔක්තෝබර් 9 – හම්බන්තොට
  • දෙවන නිල නොවන එක්දින තරගය: ඔක්තෝබර් 10 – හම්බන්තොට
  • තෙවැනි නිල නොවන එක්දින තරගය: ඔක්තෝබර් 12 – කොළඹ

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟ.