රත්නම් අවසන් තරගයට

502
Ratnam overcome Singing Fish

දෙවන අදියරේදී ගෝල 1-0ක් ලෙස සිඟින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් රත්නම් කණ්ඩායම, ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගයට අසුන් වෙන්කරගන්නා ලදී.

ගෙලිඔය ක්‍රීඩා සමාජය අවසන් තරගයට

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන කාණ්ඩයේ එක් අර්ධ අවසන් තරගයක දෙවන අදියර ගෙලිඔය ක්‍රීඩා සමාජයත්, Great Star ක්‍රීඩා සමාජයත් අතර අද (15) බෝගම්බරදී නිමාවට පත්වූයේ ගෝල 01:01ක් ලෙසිනි…

සිඟින් ෆිෂ් නිජබිමේදී පැවැත්වුණු පළමු අදියර ගෝල 2-0ක් වශයෙන් ජයගනිමින් තරගයට පිවිසි රත්නම් කණ්ඩායම වඩාත් විශ්වාසයකින් අවසන් පූර්ව තරගයට එක්විය. නමුත් සිඟින් ෆිෂ් කණ්ඩායමේ ආක්‍රමණකාරී පිළිවෙත හමුවේ රත්නම් කණ්ඩායමට නිද්‍රාශීලී විය නොහැකිව තිබිණි.

පන්දු හුවමාරුවේදී ඉදිරියෙන් සිටි රත්නම් කණ්ඩායම මුල් වටයේදීම තරගයට අවතීර්ණ වූවත්, සිඟින් ෆිෂ් කණ්ඩායම විටින් විට තර්ජනාත්මකව ඉදිරියට එන්නට විය. සිඟින් ෆිෂ් කණ්ඩායමේ වේගවත් ක්‍රීඩා පිළිවෙතින් අන්දමන්ද වූ රත්නම් කණ්ඩායම බේරා ගැනීමට සමත් වූයේ ගෝල රකින ක්‍රීඩක ෂෙහාන් සිල්වේරා සහ මධ්‍ය ආරක්ෂක ක්‍රීඩක මොහොමඩ් රිමාස්ගේ මනා සන්නිවේදනය හේතුවෙනුයි.

සියළු තර්ජන වළක්වා ගනිමින් 24 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරන්නට රත්නම් කණ්ඩායම සමත් විය. සසංක ලබා දුන් අගනා පන්දු යොමුව දැල තුළට හරවා යැවුණේ මොහොමඩ් ආකිල් විසිනි.

දක්ෂ ලෙස ක්‍රීඩා කළ ඥානප්‍රතාප් වළක්වාලීමට රත්නම් ක්‍රීඩකයන් සමත් විය. සිඟින් ෆිෂ් කණ්ඩායම වෙනුවෙන් ඥානප්‍රතාප්ට අගනා අවස්ථාවක් ප්‍රථම භාගය අවසානයේදී ලැබුණු නමුත් එය අසාර්ථක විය.

ප්‍රථම අර්ධය: රත්නම් ක්‍රීඩා සමාජය 1-0 සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය

අවසන් තරගයට පිවිසීම සඳහා ගෝල 3ක අවශ්‍යතාවක් සහිතව සිඟින් ෆිෂ් කණ්ඩායම දෙවන අර්ධය සඳහා පිටියට පිවිසියේය.

පන්දුව ඉදිරියට ගෙන ඒමට ඔවුන් සමත් වූවත් ගෝලයක් කරා යාමට අසමත් වීම හේතුවෙන් අවස්ථා කිහිපයක්ම මඟහැරිණි. ඉන් අපහසුතාවට පත්වූ සිඟින් ෆිෂ් ක්‍රීඩකයන් නීති රීති උල්ලංඝනය කිරීම් වලට හසුවිය. තත්වය දරුණු කරමින් ජයරත්නම් හට කහ කාඩ්පතක් හිමිවිය.

ඉන් වාසිය ලබා ගත් රත්නම් ක්‍රීඩකයන් දිගින් දිගටම ආක්‍රමණයෙහි නියැලුණේය. රත්නම් වෙනුවෙන් ඒ. මධුරංග ගෝලයක් ලබා ගැනීමේ ආසන්නයටම පැමිණි නමුත් ප්‍රතිවාදී ගෝල රකින්නා වූ ප්‍රතිභාන් අතිවිශිෂ්ට ආරක්ෂණයක නියැලෙමින් පන්දුව නවතා ගන්නා ලදී.

තරගය අවසන් වූයේ සිඟින් ෆිෂ් හට පරාජය අත්කර දෙමිනි. ඒ සමඟින් රත්නම් ක්‍රීඩා සමාජය ගෙලිඔය ක්‍රීඩා සමාජය සමඟින් අවසන් තරගයේදී ක්‍රීඩා කරනු ඇත.

සම්පූර්ණ කාලය: රත්නම් ක්‍රීඩා සමාජය 1-0 සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය

රත්නම් පුහුණුකරු ෆසුල් රහුමාන් දැක්වූ අදහස්,

“යාපනයේදී පැවති ප්‍රථම අදියර සමඟ සංසන්ධන කිරීමේ දි අද අපි ටිකක් දුර්වලයි. මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. ගෙලිඔය ක්‍රීඩා සමාජය සමඟ අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසන් තරගයේ ප්‍රතිවාදීන් තවත් එක කණ්ඩායමක් විතරයි කියලා හිතාගෙන ඔවුන්ට මුහුණදෙන්න අපි ලෑස්තියි.”

සිඟින් ෆිෂ් පුහුණුකරු උදයනන් මෙසේ පැවසුවේය.

“රත්නම් කණ්ඩායම අද හොඳින් ක්‍රීඩා කළා. අපව හොඳින් නවත්වාගනිමින් ඔවුන් හොඳින් අවස්ථා ලබා ගත්තා. ඔවුන්ගේ ගෝල රකින්නා හොඳින් ක්‍රීඩා කලා. අප හොඳින් තරගය අවසන් කළ යුතුව තිබුණා. ක්‍රීඩාංගනය ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. එය තරගයකට සුදුසු නැහැ.”

ගෝල ලබාගත් ක්‍රීඩකයින් – මොහොමඩ් ආකිල් 24′ (රත්නම්)

කහ කාඩ්පත් – ජයරත්නම් 56′ (සිඟින් ෆිෂ්), ජෙරින්සන් 70′ (සිඟින් ෆිෂ්).

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට