ප්‍රවේගකාරී ශතකයක් සමඟින් සචිත් පතිරණ චෝදනා වලට පිළිතුරු දෙයි!

1174

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට උදාවූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ක්‍රීඩකයින් සහ බලධාරීන් රැසක් ප්‍රේක්ෂක විවේචනයන්ට බඳුන් විය. ඒ අතර රැව්දුන් එක් මාතෘකාවක් වූයේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණගේ දස්කම් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තරම් ප්‍රමාණවත් ද යන්නයි.

කෙසේ වෙතත් අද (12) බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් තේරීම් කමිටුවේ මෙම තීරණය සාධාරණීකරණය කිරීමට සචිත්ට අවස්ථාව උදා විය. මීට අමතරව ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තවත් උණුසුම් තරග 5ක් අද ආරම්භ විය.

මතීෂ, කුසල් සහ ගයාන් Tier B පිටිය ග්‍රහණයට ගනී

26 හැවිරිදි මතීෂ පෙරේරා සහ 20 හැවිරිදි කුසල් එදිසූරිය Tier B පිටිය පිතිකරණයෙන් අලංකාරවත් කරද්දී, 36 හැවිරිදි ගයාන් ….

කොළඹ ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් කඳවුර කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ද දිනා ගැනීමට සත්කාරක කණ්ඩායමට හැකි විය. කෙසේ නමුත් ඔවුන් ප්‍රතිවාදී කොළඹ ක්‍රිකට් සමාජයට මුලින් පිතිකරණයේ යෙදීමට ඉඩ සලසමින් ලබා ගත්තේ එතරම් නැණවත් ආරම්භයක් නොවේ. එම අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵල නෙලාගත් කොළඹ ක්‍රිකට් සමාජය අද දිනය නිමා වන විට කඩුලු 6කට ලකුණු 380ක් ලබා ගැනීමට සමත් වූහ.

ලකුණු 168ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වමත් පිතිකරු සචිත් පතිරණ CCC ඉනිම ගොඩ නැගීමේ දී අත්තිවාරම ලෙසින් ක්‍රියා කළේය. පන්දු 118ක් තුල දී ගොඩ නැගුණු මෙම ප්‍රවේගකාරී ඉනිමට දැකුම්කළු හතරේ පහර 18ක් සහ දැවැන්ත හයේ පහර 8ක් ඇතුළත් විය. මීට අමතරව මාධව වර්ණපුර නොදැවී ලකුණු 83ක් ලබාගෙන හෙට දිනයේ ශතකය කරා ළඟා වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 380 (පන්දුවාර 75):සචිත් පතිරණ 168, මාධව වර්ණපුර 83*, ලසිත් අබේරත්න 25, කවීන් බණ්ඩාර 24, රොන් චන්ද්‍රගුප්ත 20, රමේෂ් මෙන්ඩිස් 2/84, මලිත් ද සිල්වා 2/87.


යුධ හමුදා ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය

බදුරලිය ක්‍රිකට් සමාජය විසින් යුධ හමුදාවේ බලය හීන කළ මෙම තරගය ක්‍රියාත්මක වූයේ සරේ විලේජ් හිදීයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් යුධ හමුදාවේ සියලු පිතිකරුවන් ලකුණු 152ක් තුල දී ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට එහි දී බදුරලිය පන්දු යවන්නන්ට හැකි විය.

ඒ වෙනුවෙන් මූලිකත්වය ගත් නද්‍රාස් ප්‍රසාද් ලකුණු 41කට කඩුලු 5ක් දවා ගනිමින් සුවිශේෂී දස්කම් දැක්විය. ඔහුට සහය දුන් ඩිලේශ් ගුණරත්න කඩුලු 4යි. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බදුරලිය ක්‍රිකට් සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 35ක් රැස් කරගෙන සිටියි.

යුධ හමුදා ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 51): අශාන් රන්දික 30, ජනිත් සිල්වා 27*, ඩිල්ශාන් ද සොයිසා 24, නද්‍රාස් ප්‍රසාද් 5/41, ඩිලේශ් ගුණරත්න 4/36.

බදුරලිය ක්‍රිකට් සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 35 (පන්දුවාර 13): පැතුම් නිස්සංක 19*.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ඉතාමත් හොඳින් පිත්ත හසුරුවමින් අගනා ලකුණු 92ක් රැස්කළ ප්‍රියමාල් පෙරේරාට ශතකයක මිහිර අහිමි වුන මෙම තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ කෝල්ට්ස් පිටියේ දීයි. කාසියේ වාසිය ද දිනාගත් සත්කාරක කණ්ඩායම පිතිකරණය තෝරාගත් අතර ඔවුන්ට අද සන්ධ්‍යාව වන විට ලකුණු 246ක් කරා යාමට හැකි විය.

එහි දී ප්‍රියමාල් පෙරේරාට අමතරව යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද ලකුණු 72ක් රැස් කරමින් දක්ෂතා දැක්වීය. පන්දුවෙන් දස්කම් දැක්වූ රොෂාන් ජයතිස්ස කඩුලු 5ක් බිඳ හෙලද්දී චතුර රන්දුනුට කඩුලු 3ක් බිඳ හෙළීමට හැකි විය. දිනය නිමා වීමට පෙර පන්දුවාර 2කට මුහුණ දුන් සැරසන්ස් පිතිකරුවෝ එහි දී තමන් සතු කිසිදු කඩුල්ලක් බිඳ නොවැටීමට වග බලා ගත්හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 79.3): ප්‍රියමාල් පෙරේරා 92, අවිශ්ක ප්‍රනාන්දු  72, සදීර සමරවික්‍රම 31, රොෂාන් ජයතිස්ස 5/51, චතුර රන්දුනු  3/78, සචිත්‍ර පෙරේරා 2/48.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 1 (පන්දුවාර 2)


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කලක් ජාත්‍යන්තර ටෙස්ට් තරග සඳහා ද තෝතැන්නක් වූ කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ටැමිල් යූනියන් කණ්ඩායමයි. ඒ අනුව අද දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබාගෙන සාර්ථක ක්‍රීඩා රටාවක නිරත වීමට ඔවුන්ට හැකි විය. එහි දී දකුණත් පිතිකරු ධනංජය සිල්වා ලකුණු 72ක් ලබා ගනිද්දී, අසිත ප්‍රනාන්දු සහ සචිත්‍ර සේරසිංහ කඩුලු 3 බැගින් දවාලමින් මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් යුතුකම් කොටස ඉටු කළහ.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 296 (පන්දුවාර 79): ධනංජය ද සිල්වා 72, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් 45, ජීවන් මෙන්ඩිස් 42, රමිත් රඹුක්වැල්ල 22, අසිත ප්‍රනාන්දු 3/45, සචිත්‍ර සේරසිංහ 3/68, ෂෙහාන් ජයසූරිය 2/76.

ද්‍රාවිඩ්ගෙන් පණිවිඩයක්

ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාබහ කිරීමට, ක්‍රිකට් විශ්ලේෂණය කිරීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි……


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ NCC කණ්ඩායම අතර තරගය

කටුනායක FTZ පිටියේ දී අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ මේ වන විට කැපී පෙනෙන ලෙස වාසි අත් කරගෙන සිටින්නේ NCC කණ්ඩායමයි. එහි දී කාසියේ වාසිය දිනාගෙන පිත්ත අතට ගත් NCC පිතිකරුවන් ලකුණු 220ක් ලබාගත් අතර ඒ වෙනුවෙන් මහේල උඩවත්ත, ලහිරු කුමාර සහ ඇන්ජෙලෝ පෙරේරා යන ක්‍රීඩකයෝ වැඩි කාර්‍යභාරයක් ඉටු කළහ. මධූක ලියනපතිරණගේ කඩුලු 5යි. කෙසේ වෙතත් ප්‍රථම දිනය නිමාවන්නටත් පෙරාතුව තරගයේ වාසිය මුළුමනින්ම තමන් කෙරෙන් ගිලිහී යන්නට ඉඩ ලබා දුන් වරාය අධිකාරි කණ්ඩායම දිනය නිමා වෙද්දී කඩුලු 7ක්ම අහිමි කර ගත්හ.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 55.1): මහේල උඩවත්ත 54, ලහිරු කුමාර 47, ඇන්ජෙලෝ පෙරේරා 42, මාලිංග අමරසිංහ 29, ලසිත් ඇඹුල්දෙණිය 24*, මධුක ලියනපතිරණගේ 5/52, චානක කොමසාරු 3/78.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – කඩුලු 7ක් දැවී ලකුණු 85 (පන්දුවාර 31)


රාගම ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

වර්ෂාවෙන් බාධා ගෙන දුන් මෙම තරගය ක්‍රියාත්මක වූයේ මුවර්ස් ක්‍රීඩා පිටියේ දීයි. එහි දී කාසියේ වාසිය දිනාගෙන මුලින් පිත්ත හැසිරවීමේ අභියෝගය බාරගත් ප්‍රබල රාගම කණ්ඩායම වේගවත් ප්‍රහාරයක යෙදෙමින් පන්දුවාර 74ක් ගතවීමටත් පෙර ලකුණු 358ක් රැස්කර ගැනීමට සමත් විය.

පසුගිය දේශීය තරගාවලිවල දී ද කැපී පෙනෙන ලෙස දස්කම් දැක්වූ ලහිරු මිලන්ත අදත් රාගම පිළ වෙනුවෙන් සාර්ථක වෙමින් විශිෂ්ට ලකුණු 112ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟිනි. ජනිත් ලියනගේ නොදැවී ලකුණු 90යි. ඒ අනුව මේ වන විට කඩුලු 7ක් දැවී ගොස් ඇති රාගම ක්‍රිකට් සමාජයේ පසුපෙළ පිතිකරුවන් සමඟ එක්වී ශතකය කරා පිය නැගීමට හෙට ජනිත්ට අවස්ථාව ඇත.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 358 (පන්දුවාර 73.3): ලහිරු මිලන්ත 112, ජනිත් ලියනගේ 90*, ඉශාන් ජයරත්න 63, රොෂේන් සිල්වා 37, තරිඳු  රත්නායක 2/83.

මෙම සියලුම තරග හෙට (13) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<