ජාතික මහා ක්‍රීඩා උළෙල රත්නපුරෙන් මාතරට

246

රත්නපුරය කේන්ද්‍ර කර ගනිමින් (සබරගමුව පළාත) පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මහා ක්‍රීඩා උළෙල එහි නොපැවැත්වෙන බවත් ඒ වෙනුවට එය මාතර දී පැවැත්වෙන බවත් ක්‍රීඩා අමාත්‍යංශය තහවුරු කරන ලදි.

ඉඳුනිල්ට සහ ගයන්තිකාට රන් පදක්කම්

ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසාන අදියර ඊයේ (30) තායිපේ නගරයේ දී නිමාව පත් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක්…

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග සැප්තැම්බර් මස 15 සිට 18 දක්වා රත්නපුරයේ ඉදි කෙරෙන නව ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබුණත්, එම ධාවන පථය ඉදිකිරීම සඳහා සිදු කළ ටෙන්ඩර් පටිපාටියේ ඇති සංකූලතා නිසා එහි ඉදිකිරීම් කටයුතු තවමත් ආරම්භ කර නැත. එමනිසා මෙම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල පසුගිය වසරේ විවෘත කරනු ලැබූ මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව අඛණ්ඩව දෙවන වසරටත් ජාතික මහා ක්‍රීඩා උළෙල තණකොළ සහිත ධාවන පථයක පැවැත්වීමට සිදු ව ඇත. පසුගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේ දී පැවති අතර පුහුණුවීම් කටයුතු සඳහා නිසි ධාවන පථයක් නොවීම නිසා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහසුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇත.

ටෙන්ඩර් පටිපාටියේ ඇතිවූ සංකූලතා නිසා නැවත වරක් ක්‍රීඩා පිටියේ ධාවන පථය සඳහා ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සිදු වූ අතර එහි කටයුතු නිමාවීමට ජූලි මාසය දක්වා කාලයක් වැය වන නිසා මෙම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලට පෙර රත්නපුර ඉදි කෙරෙන ධාවන පථයේ වැඩකටයුතු අවසන් කිරීමේ හැකියාවක් නොමැත. ඉදිරි මාස කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2 වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය,  අවුරුදු 18න් පහළ IAAF ලෝක ශූරතා තරගාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරග, IAAF ලෝක ශූරතා තරගාවලිය ආදී ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි කිහිපයකටම සහභාගී වීමට නියමිතව ඇති අතර නිසි තත්වයේ ධාවන පථයක් නොමැතිවීම ඔවුන්ට ජයග්‍රහණ ලබා ගැනීමට විශාල බාධාවක්ව පවතී.

පසුගිය දින කිහිපය තුළ පැවති ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 9ක් දිනා ගැනීමට සමත් වූ අතර එම පදක්කම් සියල්ලම දිනා ගනු ලැබුවේ ධාවන ඉසව් වලිනි. එහි දී ඉඳුනිල් හේරත් පිරිමි මීටර 800 ඉසව්වට සහභාගී වෙමින් රන් පදක්කම් 2ක්, කාන්තා මීටර 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ද නිමාලි ලියනාරච්චි ලෝකඩ පදක්කම් 2ක්, පිරිමි මීටර 100 ඉසව්වට සහභාගී වූ හිමාෂ ඒෂාන් රිදී පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය. ඉතා හොඳ පහසුකම් යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරන වෙනත් රටවල ක්‍රීඩකයින් හා තරග කරමින් පුහුණුවීම් කටයුතු සිදු කිරීමට නිසි ධාවන පථයක් වත් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගත් මෙම ජයග්‍රහණය ඉතා සුවිශේෂී වේ.  

පසුගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේ දී මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල ‘සින්තටික්’ ධාවන පථයක පවත්වන බවට ගරු ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවක් ලබා දුන්න ද මෙවර ද ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වන්නට සිදු ව ඇත්තේ පසුගිය වසරේ එය පැවැත්වූ කොටවිල ක්‍රීඩාංගණයේ ම වීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් ජාත්‍යන්තර තලය ජය ගැනීමට මහත් වෙහෙසක් දරන යුගයක අපි වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඕනෑම රටක මලල ක්‍රීඩකයෙකුට සිය පුහුණුවීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් වන ‘සින්තටික්’ ධාවන පථයක අඩුව පිරවීමට හැකි ඉක්මණින් පිළියම් යොදන ලෙසයි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට