මහනුවර සුක්කානම නව අතකට!

961

පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හා අන්තර් සමාජ සත් සාමාජික තරගාවලියේ ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජයට නව නායකයෙකු පත් කර ඇත. එය තීරණය වූයේ පසුගිය දා පැවතී මහනුවර ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දීයි.

එහි දී ගියවර තරග වාරයේ නායකයා වශයෙන් කටයුතු කළ රිචඩ් ධර්මපාල වෙනුවට නව නායකයා වශයෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ Fly Half ක්‍රීඩක නයිජල් රත්වත්ත පත් කෙරිණි.

හැව්ලොක් තරුවට නව නවාතැනක්!

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත ප්‍රියදර්ශන…..

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු නයිජල් රත්වත්ත ත්‍රිත්ව විද්‍යාලයේ 13න් පහළ රග්බි කණ්ඩායමේ නායකත්වය දැරුවේය. තම දෙමාපියන් සමඟ පසුව මොරිෂස් රාජ්‍යයට සංක්‍රමණය වූ නයිජල් එහි දී සාන්ත නිකොලස් විද්‍යාලය වෙනුවෙන් හා බ්ලැක් රිවර් (Black River) රග්බි ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

පසුව 2007 වර්ෂයේ දී මොරිෂස් රාජ්‍යයේ 18න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ අතර ඔහුගේ 18 වැනි වියේ දී මොරිෂස් රාජ්‍යයේ ජාතික සංචිතයට ද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය. පසුව ඔහු දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වූ අතර එහි දී ද ඔහු පාසල් මට්ටමින් රග්බි ක්‍රීඩාවේ දී ඇත.

විරාමයකට පසු දිමිත්‍රි නව කණ්ඩායමක් සමඟින් රග්බි පිටියට

නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්…..

නැවත ශ්‍රී ලංකාවට 2012 වර්ෂයේ දී පැමිණි නයිජල් CR&FC ක්‍රීඩා සමාජයෙන් ඔහුගේ ශ්‍රී ලාංකික ක්‍රීඩා දිවිය ආරම්භ කළ අතර පසුව “Up Country Lions” ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර තුනක කාලයක් ඔහුගේ සේවය ලබා දුන්නේය. 

ශ්‍රී ලංකාව ජාතික සංචිතය වෙනුවෙන් ඔහු ප්‍රථමයෙන් 2012 වර්ෂයේ දී ක්‍රීඩා කිරීම ආරම්භ කළේය. පසුව ඔහු මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්වූ අතර පසුගිය තරග වාරයේ දී මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශේෂ දක්ෂතා පෙන්වමින් ශූරතාව හෙබවීම වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්නේය.

පසුගිය තරග වාරයේ දී ලීග් ශූරතාව හා සත් සාමාජික ශූරතාවයන් ද්විත්වයම ජය ගැනීමට සමත් වූ මහනුවර ක්‍රීඩා සමාජය එළඹෙන තරගවාරය සඳහා නව නායකයෙකු සමඟ තරග බිමට පා තැබීමට සූදානම්. 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

පසුගිය තරගවාරයේ දී මෙන්ම එළඹෙන තරගවාරයේ දී ද රග්බි පුවත් එසැණින් දැනගන්න රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<