19 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවෙන් 9 උතුරු අයර්ලන්තයට සටනක්

5200
SWPix

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන “2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන දිනය අදයි (13). තරගාවලියේ දෙවන වටයේ තරග 8ක් ලිවර්පූල් නගරයේ M&S Bank Arena ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වී අවසන්. 

ඉන් දෙවන තරගයේ දී ශ්‍රී ලංකාව උතුරු අයර්ලන්තය සමඟ තරග වැදුණු අතර එම තරගය 67-50ක් ලෙස පරාජය වෙමින් අඛණ්ඩව මෙම ලෝක කුසලාන තරගාවලියේ ලැබූ දෙවන පරාජයත් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගයේ දී හොඳ සටනක් දෙයි

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන….

ශ්‍රී ලංකාව සහ උතුරු අයර්ලන්තය 

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 67-50ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට උතුරු අයර්ලන්ත දැල්පන්දු කණ්ඩායම සමත් විය.ශ්‍රේණිගත කිරීම් 19 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 17 පරතරයක් සහිතව ජයග්‍රහණය කළ උතුරු අයර්ලන්ත කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් හි 9 වැනි ස්ථානයේ පසු විය.

තරගයේ පළමු කාර්තුවේ 12 වැනි තත්පරයේ දී පළමු ලකුණ රැස් කරමින් ලකුණු ලබාගැනීම ඇරඹීමට දකුණු අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ සමගම ශ්‍රී ලංකාවත් තම පළමු ලකුණ 37 වැනි තත්පරයේ දී ලබා ගනිමින් තරගයට අවතීර්ණ විය. ඉන්පසු ලකුණු 3-1ක්, 6-2ක්, 7-3ක්, සහ ලකුණු 9-4ක්, 12-7ක් සහ 15-10ක් ලෙස කෙමෙන් කෙමෙන් තරගයේ ඉදිරිය ලබාගැනීමට උතුරු අයර්ලන්තයට හැකි වූ අතර එම කාර්තුව අවසන් වූයේ ලකුණු 18-13ක් ලෙස උතුරු අයර්ලන්ත කණ්ඩායමට පෙරමුණ හිමිකර දෙමිනි. මෙහි දී ශ්‍රී ලංකාවෙන් තර්ජනී ශිවලිංගම් හා උතුරු අයර්ලන්තයෙන් එමා මැගී වැඩි දස්කම් දැක්වීමට සමත් විය 

දෙවන කාර්තුව ආරම්භ වූයේ එමා මැගී පිටපිටම ලබා ගත් ලකුණු 3ත්, ආම්ස්ටෝංග් ලබා ගත් ලකුණත් සමඟ තවත් ලකුණු 4ක් උතුරු අයර්ලන්තයට එක් කරමිනි. අනතුරුව ශ්‍රී ලංකාව ද ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ යළිත් ක්‍රියාත්මක වූ තර්ජනී පිට පිට ලබා ගත් ලකුණු 2ත් සමඟිනි. එවිට ලකුණු පුවරුව 22-15ක් ලෙස දැක්විය.

Video – අපි ඉලක්කය අතහැරියේ නැහැ – මෙලනි විජේසිංහ

“මෙතෙක් කලක් මම ඉටු කරපු ජයග්‍රාහීම සේවාව මට ඉටු කරන්නට ලැබීම ගැන සතුටුයි” යැයි 11 වැනි ආසියානු යොවුන්….

ඉන්පසු ලකුණු 26-18ක්, 30-22ක් සහ 32-24ක්, ලෙස ක්‍රම ක්‍රමයෙන් තරගයේ පෙරමුණ ලබා ගැනීමට උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ වැඩි වාසි ලබා ගනිමිනි. එම කාර්තුව අවසන් වන විට මුළු ලකුණු පුවරුව 34-25ක් ලෙස සටහන් වූ අතර එම කාර්තුව තුල දී පමණක් 16-12ක් ලෙස දෙපිලේ ලකුණු වාර්තා විය. ඒ අනුව දෙවන කාර්තුව අවසන් වූයේ ද උතුරු අයර්ලන්ත කණ්ඩායමට පෙරමුණ හිමිකර දෙමිනි.

තරගයේ තෙවැනි කාර්තුව ආරම්භ කරමින් යළිත් අඛණ්ඩව ගෝල දෙකක් වාර්තා කිරීමට උතුරු අයර්ලන්තයේ එමා මැගී සමත් වූයේ කාර්තුව ඇරඹී මිනිත්තු දෙකක් යාමටත් මත්තෙනි. අනතුරුව ශ්‍රී ලංකාව ද ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර තරගයේ ලකුණු පුවරුව 36-26ක්, 39-27ක් සහ 43-32ක් ලෙස ඒ අතරවාරයේ සටහන් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී තරගයේ සම්පූර්ණ ආධිපත්‍යය තමන් සතුකර ගැනීමට උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වූයේ තෙවැනි කාර්තුව නිමා වීමට තත්පර 21කට පෙරාතුව එමා මැගී විසින් කණ්ඩායමේ 50 වැනි ලකුණ වාර්තා කරමිනි. ඒ සමඟම කාර්තුව නිමා වීමට තත්පර 10ක් තිබිය දී නෝලින් ආම්ස්ටෝංග් විසින් 51 වැනි ලකුණ රැස්කිරීමට සමත් වූයේ සමස්ත ලකුණු පුවරුව 51-37ක් ලෙස තෙවැනි කාර්තුව අවසානයේ සටහන් කරමිනි. එම කාර්තුව තුල දී පමණක් 17-12ක් ලෙස දෙපිලේ ලකුණු වාර්තා විය.

සිව්වැනි කාර්තුවේදීත් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට උතුරු අයර්ලන්තය සමත් වූ අතර ඒ අතරවාරයේ ලකුණු පුවරුව 52-36ක්, 54-40ක්, 57-48ක් සහ 64-49ක්, ලෙස ඉදිරියට රැගෙන යාමට උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් විය.

ඒ අතරවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 50 වැනි ලකුණ දුලංගි වන්නිතිලක වාර්තා කිරීමට සමත් වූයේ තරගය නිමා වීමට මිනිත්තු 1.33ක් පමණක් ඉතිරිව තිබිය දීය. ඒ වන විට ලකුණු පුවරුව සටහන් වූයේ 65-50ක් ලෙසිනි. 

Video – අපි කොහොමහරි පියවරක් ඉදිරියට ආවා – යොවුන් දැල්පන්දු නායිකාව

පසුගිය දා නිමාවට පත් වූ 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු…

තරගය නිමා වීමට මිනිත්තුවක් තිබිය දී 66 වැනි ලකුණක් සහ අවසාන තත්පරයේ දී තවත් ලකුණක් ලබා ගනිමින් යළිත් අඛණ්ඩව ගෝල දෙකක් වාර්තා කිරීමට එමා මැගී සමත් වූයේ මෙම තරගයේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වෙමිනි. ඇය මෙම තරගය තුල දී ගෝල 29ක්ම රැස් කිරීමට සමත් විය.

ඒ සමඟම සමස්ත තරගය 67-50ක් ලෙස ජයග්‍රහණය කිරීමට උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් විය. එම අවසන් කාර්තුව තුල දී පමණක් 16-13ක් ලෙස දෙපිලේ ලකුණු වාර්තා විය.

මේ සමඟින් ශ්‍රී ලංකාව දැල් පන්දු ලෝක කුසලානයේ මේ දක්වා සහභාගී වූ තරග දෙකෙන්ම පරාජය උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඔවුන් ඊයේ දිනයේ දී සිම්බාබ්වේ සමඟ ක්‍රීඩා කළ තරගයෙන් 79-49ක් වශයෙන් පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින මීළඟ තරගය ඕස්ට්‍රේලියාව සමඟ හෙට (14) දින පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30ට ආරම්භ වේ.

ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ

දෙවන වටය ආරම්භ කරමින් අද පැවති පළමු තරගය ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්විය. A කාණ්ඩයෙන්ම පැවති මෙම තරගයෙන් 73-37ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

  • පළමු කාර්තුව: ඕස්ට්‍රේලියාව 18 – 09 සිම්බාබ්වේ 
  • දෙවන කාර්තුව: ඕස්ට්‍රේලියාව 21 – 09 සිම්බාබ්වේ
  • තෙවැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 15 – 13 සිම්බාබ්වේ
  • සිව්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 19 – 06 සිම්බාබ්වේ

නවසීලන්තය සහ බාබඩෝස්

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 78-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. 

  • පළමු කාර්තුව: නවසීලන්තය 16 – 09 බාබඩෝස් 
  • දෙවන කාර්තුව: නවසීලන්තය 26 – 05 බාබඩෝස් 
  • තෙවැනි කාර්තුව: නවසීලන්තය 19 – 06 බාබඩෝස්
  • සිව්වැනි කාර්තුව: නවසීලන්තය 17 – 05 බාබඩෝස්

මලාවි රාජ්‍යය සහ සිංගප්පූරුව

මෙම තරගයෙන් ලකුණු 87-38ක් ලෙස ජයග්‍රහණය කිරීමට මලාවි රාජ්‍යය සමත් විය. B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

  • පළමු කාර්තුව: මලාවි රාජ්‍යය 28 – 11 සිංගප්පූරුව 
  • දෙවන කාර්තුව: මලාවි රාජ්‍යය 18 – 09 සිංගප්පූරුව
  • තෙවැනි කාර්තුව: මලාවි රාජ්‍යය 18 – 10 සිංගප්පූරුව
  • සිව්වැනි කාර්තුව: මලාවි රාජ්‍යය 24 – 08 සිංගප්පූරුව

Video – අපි කොහොමහරි පියවරක් ඉදිරියට ආවා – යොවුන් දැල්පන්දු නායිකාව

පසුගිය දා නිමාවට පත් වූ 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ආසියාවේ…

එංගලන්තය සහ ස්කොට්ලන්තය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 70-34ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය. 

  • පළමු කාර්තුව: එංගලන්තය 18 – 09 ස්කොට්ලන්තය 
  • දෙවන කාර්තුව: එංගලන්තය 17 – 11 ස්කොට්ලන්තය 
  • තෙවැනි කාර්තුව: එංගලන්තය 20 – 06 ස්කොට්ලන්තය
  • සිව්වැනි කාර්තුව: එංගලන්තය 15 – 08 ස්කොට්ලන්තය

උගන්ඩාව සහ සැමෝවා රාජ්‍යය

ලකුණු 69-48ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කිරීමට උගන්ඩාව සමත් විය. මෙය D කාණ්ඩයේ තරගයකි.

  • පළමු කාර්තුව: උගන්ඩාව 22 – 11 සැමෝවා රාජ්‍යය 
  • දෙවන කාර්තුව: උගන්ඩාව 18 – 12 සැමෝවා රාජ්‍යය 
  • තෙවැනි කාර්තුව: උගන්ඩාව 17 – 10 සැමෝවා රාජ්‍යය
  • සිව්වැනි කාර්තුව: උගන්ඩාව 12 – 15 සැමෝවා රාජ්‍යය

ජැමෙයිකාව සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 68-43ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාව සමත් විය. 

  • පළමු කාර්තුව: ජැමෙයිකාව 17 – 15 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ 
  • දෙවන කාර්තුව: ජැමෙයිකාව 25 – 08 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ 
  • තෙවැනි කාර්තුව: ජැමෙයිකාව 15 – 11 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ
  • සිව්වැනි කාර්තුව: ජැමෙයිකාව 11 – 09 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ

දකුණු අප්‍රිකාව සහ ෆීජි

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 90-35ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. 

  • පළමු කාර්තුව: දකුණු අප්‍රිකාව 24 – 09 ෆීජි 
  • දෙවන කාර්තුව: දකුණු අප්‍රිකාව 23 – 10 ෆීජි
  • තෙවැනි කාර්තුව: දකුණු අප්‍රිකාව 20 – 06 ෆීජි
  • සිව්වැනි කාර්තුව: දකුණු අප්‍රිකාව 23 – 10 ෆීජි

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<