B කාණ්ඩයේ ශූරයෝ සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

437

වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “B” කාණ්ඩයේ තරග දෙකක් සිටි ලීග් පාපන්දු සංකීර්ණයේදී අද (27) පැවැත්විය. එහි දී “B” කාණ්ඩයේ ශූරයින් බවට පත් වීමට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කණ්ඩායම සමත් වූ අතර පැවති අනෙක් තරගයෙන් ලේක් හවුස් කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

පොලිස් කණ්ඩායම පරදා සිඟින් ෆිෂ් අවසන් 16ට

FA කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී දඬුවම් පහර 4-1ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට…

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් හා HNB බැංකුව

HNB කණ්ඩායමේ කේ. අබේසේකරගේ (17) පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තු 3 තුළ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට එම්. ආර්. එම්. ආර්. රම්ස් (02) ප්‍රබල උත්සහයක් ගත්ත ද එය සාර්ථකව ප්‍රතිවාදී ක්‍රීඩක ඒ. ඒ. කුමාර් (14) විසින් වැළැක්විය.

ඊට ටික වේලාවකට පසු HNB කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමේ බලාපොරොත්තුව ඇතිව ටී. ප්‍රනාන්දු (12) පන්දු හුදකලාව රැගෙන ගොස් එල්ල කළ වේගවත් පහර ප්‍රතිවාදී ගෝල රකින්නා විසින් දක්ෂ ලෙස වැළැක්විය.

නැවතත් HNB ක්‍රීඩක එම්. සමාන් (10) පිටිය මැද සිට එස්. පී. වික්‍රමතිලක (03) වෙත යොමු කළ පන්දුවට ඔහු වේගවත් පහරක් එල්ල කළත් එය ගෝල රාමුවෙන් ඉවතට ගියේය.

කේ. ඊ. සී. පෙරේරා (07) සෙලින්කෝ කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමට පිටිය මැද දී පන්දුව තම පාදයේ ග්‍රහණයට නතු කර ගත්ත ද, එය සාර්ථක නොවීය. පළමු අර්ධයේ දී දෙපිලටම කෝණ අවස්ථා එක බැගින් හිමි වුවද එ්වායින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් නොලැබුණි.

කෙසේ වෙතත් පළමු අර්ධය තුළ දී ප්‍රබල සටනක් ක්‍රියාත්මක වුවත් ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

පළමු අර්ධය : සෙලින්කෝ ඉන්ෂුවරන්ස් 00 – 00 HNB බැංකුව

දෙවන අර්ධය ආරම්භයත් සමඟම HNB කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් උදා වූ අතර එම කණ්ඩායමේ කේ. අ‍බේසේකර (17) හට එය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

තරගයේ 33 වන මිනිත්තුවේ දී කවුරුත් නොසිතූ ලෙස HNB ක්‍රීඩක ඒ. ඒ. කුමාර් (14) අඟනා ගෝලයක් වාර්තා කරමින් මෙතෙක් ක්‍රියාත්මක නොවී තිබූ ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

එම ගෝලයත් සමඟින් තරගය HNB කණ්ඩායම දෙසට යොමු වූ අතර ඉතාමත්ම ඉක්මනින් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කර ගැනීමට සෙලින්කෝ කණ්ඩායමට අවශ්‍ය විය.

එ් අනුව තරගයේ 49 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සෙලින්කෝ ක්‍රීඩක මදුෂංක සම්පත් (03) ගෝලයක් වාර්තා කළ අතර එ්ත් සමඟම ලකුණු සම විය.

මෙසේ ලකුණු සම තත්වයේ තිබිය දී HNB කණ්ඩායමට නිදහස් පහරක් හා පැති පහර අවස්ථාවක් හිමි වුවත් එය අසාර්ථක විය. ජය පැරදුමෙන් තොරව මෙම තරගය අවසන් වුවත් “B” කාණ්ඩයේ ශූරයින් බවට පත් වූයේ සෙලින්කෝ කණ්ඩායමයි.

ඒ එම කාණ්ඩයේ වැඩිම ගෝල වාර්තා කළ කණ්ඩායම වීම නිසාය.

සම්පූර්ණ ලකුණු : සෙලින්කෝ ඉන්ෂූවරන්ස් 01 – 01 HNB බැංකුව

ගෝල ලාභීන්

  • HNB බැංකුව – ඒ. එ් කුමාර් 33‘
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් – මදුෂංක සම්පත් 49’

ලේක් හවුස් හා ජෝන් කීල්ස්

ප්‍රබල තරගයකින් පසු ගෝල 1 – 0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට ලේක් හවුස් කණ්ඩායම සමත් විය.

ආරම්භයේ දී ම ජෝන් කීල්ස් කණ්ඩායමේ පී. ජෝසප් (33) දකුණු අන්තයෙන් පැමිණ එල්ල කළ පහර ප්‍රතිවාදී ක්‍රීඩක එම්. එන්. එම්. ඉෂාක් විසින් සාර්ථකව වැළැක්විය.

ඊට සුළු වේලාවකට පසු නැවතත් ජෝන් කීල්ස් ක්‍රීඩක එච්. ඒ. ඩී. ඩබ්ලිව්. හෙට්ටිආරච්චි (07) විසින් සරත් අල්විස් (05) වෙත පන්දුව යොමු කළත් ඔහුට එය ගෝලයක් බවට පත් කිරීමට නොහැකි විය.

ඒ අනුව පන්දුව වැඩි වේලාවක් ලේක් හවුස් ගෝල සීම‍ාවේ රඳවා ගනිමින් ලකුණු ලබා ගැනීමට උත්සහ කළත් ඒ සියල්ල ව්‍යර්ථ විය. එක් අවස්ථාවක දී ලේක් හවුස් කණ්ඩායමට පැති පහර අවස්ථාවක් හිමි වූ අතර එය ද  අසාර්ථකයි.

ලේක් හවුස් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමේ බලාපොරොත්තුව ඇතිව එම්. බී. සුරේන්ද්‍ර (10) එකඑල්ලේ පිටිය මැද සිට ගෝල රාමුව වෙත එල්ල කළ පන්දුව එහි ඉහළ දාරයේ වැදී නැවතත් පිටිය තුළටම යොමු විය.

තරගයේ 27 වන මිනිත්තුවේ දී ලේක් හවුස් ක්‍රීඩක ඒ. අයි. ජේ. ප්‍රනාන්දු (02) විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඒත් සමඟම මෙතෙක් ක්‍රියාත්මක නොවු ලකුණු පුවරුව 1 – 0 ලෙස ක්‍රියාත්මක විය.

පළමු අර්ධය : ලේක් හවුස් 01 – 00 ජෝන් කීල්ස්

දෙවන අර්ධය ආරම්භයේ දී ජෝන් කීල්ස් ක්‍රීඩක දමෙල් අල්වාරිස් (05) විසින් එෆ්. ෆායිස් (43) වෙත පන්දුව යොමු කළේ ගෝලයක් අපේක්ෂාවෙන් වූවත් එය ඔහුගේ පාදයෙන් සාර්ථක නොවීය.

ලේක් හවුස් ක්‍රීඩක කේ. කේ. කේ. රොෂාන් වම් අන්තයෙන් යොමු කළ පන්දුව එම කණ්ඩායමේ ක්‍රීඩක එච්. ඒ. ඩී. ඩබ්ලිව්. හෙට්ටිආරච්චි (07) විසින් ලබා ගෙන සූක්ෂම පන්දුව රැගෙන ගියත් ගෝල රාමුව අසල දී ප්‍රතිවාදියෙකුගේ බාධා කිරීම හමුවේ එය මඟ හැරුණි.

ඉන් අනතුරුව ලේක් හවුස් කණ්ඩායම වෙත පිට පිටම පැති පහර අවස්ථා 4ක් හිමි වූ අතර 4 වන පැති පහර අවස්ථාවේ දී සරත් අල්විස් (05) වේගයෙන් එල්ල කළ පන්දුව ක්‍රීඩක එච්. ඒ. ඩී. ඩබ්ලිව්. හෙට්ටිආරච්චිගේ (07) හිසින් ගෝල රාමුව වෙත යොමු කළත් එය ගෝල රාමුවේ එක් කෙළවරක වැදී පිටතට යොමු විය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ දී ජෝන් කීල්ස් ක්‍රීඩක එම්. සදාත් (31) හා  එෆ්. ෆායිස් (43) හුවමාරු කරමින් රැගෙන ආ පන්දුව ගෝල රාමුවට මීටර් 15ක් පමණ දුරින් දමෙල් අල්වාරිස් (05) වෙත භාර කළත් ඔහු විසින් එය ගෝල රාමුවට යොමු කිරීමට නොහැකි වූ අතර හිමි වූ අවස්ථාව ද ව්‍යර්ථ විය.

සම්පූර්ණ ලකුණු : ලේක් හවුස් 01 – 00 ජෝන් කීල්ස්

ගෝල ලාභීන්

  • ලේක් හවුස් කණ්ඩායමඒ. අයි. ජේ. ප්‍රනාන්දු 27’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට