ඇෆ්ගනිස්‌තානය ඉල්ලා අස්‌වීමෙන් ශ්‍රී ලංකාවට නිතරග ජයක්‌

293
Asian Netball Championships day report Sri Lanka v Afghanistan

10 වැනි ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලියේ ‘බී’ කාණ්‌ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පළමු තරගය ඊයේ (01 දා) ඇෆ්ගනිස්‌තාන කණ්‌ඩායම සමගින් පැවැත්වීමට යෙදී තිබුණ නමුත් ඇෆ්ගනිස්‌තාන කණ්‌ඩායම තරගාවලියෙන් ඉවත්වීම මත නිතරග ජයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිමි විය.

පසුගිය ලිපි: අභියෝග මැද ශ්‍රී ලංකාව ශූරතාවය සොයා තායිලන්තයට

ඊයේ ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරග වැදීමට නොලැබීම හේතුවෙන් තරගාවලියේ පන්නරයක්‌ ලබාගෙන ජයග්‍රාහී ආරම්භයක්‌ සමගින් ගමන ආරම්භ කිරීමට තිබූ අවස්‌ථාව ගිලිහීයාම අවාසනාවන්ත තත්ත්වයක්‌ වුවත් පැවැත්වෙන ඉදිරි තරග ජයගනිමින් මෙවර කුසලාන දිනාගැනීමට කණ්‌ඩායමේ සියලුදෙනා එකාමෙන් කටයුතු කරනු ලබන බවටත්, ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති යසා රාමචන්ද්‍ර මහත්මිය ‘දිවයින’ කළ විමසීමකදී සඳහන් කර සිටියාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගීවෙන දෙවැනි තරගය ජපාන කණ්‌ඩායම සමගින් පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 6 ට ආරම්භවීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැති ප්‍රථම තරගයේදී මැලේසියා කණ්‌ඩායම හමුවේ ලකුණු 73-16 ක්‌ වශයෙන් ජපාන කණ්‌ඩායම දරුණු පරාජයකට ලක්‌වී තිබීම ශ්‍රී ලංකාව පැත්තෙන් බලන කල්හි එය වාසි සහගත තත්ත්වයකි.

තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ පැවැති පළමු තරගයෙන් ලකුණු 49-28 ක්‌ වශයෙන් තායිලන්තය ඉකුත් ශූරියන් වන සිංගප්පූරු කණ්‌ඩායම හමුවේ පරාජයට පත්විය.

මීට අමතරව අදාළ ආරම්භක දිනයේ පැවැති සෙසු තරගයන්ගෙන් මාලදිවයින කණ්‌ඩායම ලකුණු 19-69 ක්‌ වශයෙන් තායිලන්ත කණ්‌ඩායම හමුවේත්, චීන තායිපේ කණ්‌ඩායම ලකුණු 14-57 ක්‌ වශයෙන් සිංගප්පූරු කණ්‌ඩායම හමුවේත් පරාජයට පත්විය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට