දුවිඳුගේ දඟපන්දුව නිසා MAS යුනිචෙලාට සුපිරි ජයක්!

1500

සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ සාඩම්බර අනුග්‍රහය යටතේ පැවැත්වෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය අද (10) ක්‍රීඩාංගණ 3ක් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක විය.

එහි දී කොමර්ෂල් ක්‍රෙඩිට්, ජෝන් කීල්ස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් ජයග්‍රහණ හිමි කර ගත් අතර ඩිල්ශාන් මුණවීර, දිමුත් කරුණාරත්න, දුවිඳු තිලකරත්න සහ රමිත් රඹුක්වැල්ල වැනි ක්‍රීඩකයින් රැසක් එම ජයග්‍රහණවල කොටස්කරුවන් බවට පත්වූහ.

සම්පත් සහ HNB ජය ලබද්දී, වර්ෂාව ටීජේ ලංකා ජය සොරා ගනියි!

දිවයින පුරා ව්‍යාප්ත වූ කුසලතා පූර්ණ ක්‍රීඩා තරු ජාත්‍යන්තරය කරා රැගෙන යාමට දිරිදෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග…

කොමර්ෂල් ක්‍රෙඩිට් A කණ්ඩායම සහ සම්පත් බැංකුව අතර තරගය

ඊයේ දිනයේ ඩිමෝ කණ්ඩායමට එරෙහිව ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කර ගත් සම්පත් බැංකු කණ්ඩායමට අද දිනය නම් ඒ තරම් වාසනාවන්ත දිනයක් නොවීය. ඒ ප්‍රතිවාදී කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින් හමුවේ ලකුණු 61ක පරාජයක් අත්විඳින්නට ඔවුන්ට සිදු වූ බැවිනි.

asdasd

වර්ෂාව නිසාවෙන් පන්දුවාර 36ක් දක්වා කපා හැරුණු මෙම තරගය ක්‍රියාත්මක වුනේ MCA පිටියේදීයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකු කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන්ම පන්දු යැවීමටයි.

ඒ අනුව ඉනිම ඇරඹූ කොමර්ෂල් ක්‍රෙඩිට් පිතිකරුවන් පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 182ක් රැස්කර ගැනීමට සමත් විය. එහි දී නිමාවුණු ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගයේ දීත් කැපී පෙනෙන අර්ධ ශතකයක් වාර්තා කළ ප්‍රවේගකාරී පිතිකරු ඩිල්ශාන් මුණවීර අද දිනයේදීත් ලකුණු 85ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් විය. වනිඳු හසරංග ලකුණු 27යි. පන්දු යැවීමේ දී ඊයේ දිනයේදීත් විශිෂ්ට දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය අදත් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් සම්පත් බැංකුව වෙනුවෙන් විශිෂ්ට කාර්‍යභාරයක් ඉටු කළේය.

පිළිතුරු ඉනිම ඇරඹූ සම්පත් බැංකු ක්‍රීඩකයින් තම පිතිකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක කර ගැනීමත් සමඟ කොමර්ෂල් ක්‍රෙඩිට් ජයග්‍රහණය ස්ථිර විය. ඒ පන්දුවාර 30 සම්පූර්ණ වන්නටත් පෙරම ඔවුන් ලකුණු 121කට සීමා වූ බැවිනි. එහි දී ඉතාමත් විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු යොවුන් දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් මෙම ජයග්‍රහණයේ කොටස්කරුවකු බවට පත්විය. මීට අමතරව ලහිරු ගමගේ, සචිත් පතිරණ සහ ඉමේශ් උමයංග කඩුලු 2 බැගින් බිඳ දැමීම නිසා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට තරගාවලියේ පළමු ජයග්‍රහණය අත්කර ගැනීම තවදුරටත් පහසු කළේය.

කොමර්ෂල් ක්‍රෙඩිට් (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 33.2): ඩිල්ශාන් මුණවීර 85, වනිඳු හසරංග 27, තරිඳු කෞෂාල් 3/23, ප්‍රභාත් ජයසූරිය 3/26, කසුන් රාජිත 2/66.

සම්පත් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 29.3): සමීන් කඳනාරච්චි 25, ලහිරු ගමගේ 2/16. අසිත ප්‍රනාන්දු 3/22, ඉමේශ් උමයංග 2/01, සචිත් පතිරණ 2/19.


ජෝන් කීල්ස් A කණ්ඩායම සහ LB ෆිනෑන්ස් A කණ්ඩායම අතර තරගය

කටුනායක FTZ පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ අද පැහැබර කාලගුණ තත්ත්වයක් යටතේ පන්දුවාර 50ම ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් පිතිකරුවන් අසාර්ථක වීම නිසා මෙම තරගය ද අඩු ලකුණු වාර්තා වූ තරගයක් බවට පරිවර්තනය විය.

එහි දී කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් නායකයා මුලින්ම පන්දුවට පහර දීමට LB ෆිනෑන්ස් කණ්ඩායමට ආරාධනා කළේ තණතිල්ල නිවැරදිවම කියවමිනි. තම නායකයාගේ තීරණයට ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ජෝන් කීල්ස් පන්දු යවන්නන් ලකුණු 159ක් තුල දී සියලුම LB ෆිනෑන්ස් පිතිකරුවන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

dasdsdsd

එහි දී පසුගිය කාලයේ දැක්වූ දක්ෂතා නිසා ජාතික කණ්ඩායමට ද සුදුසුකම් ලැබූ විකුම් බණ්ඩාර ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළේය. පිතිකරුවෙකු ලෙස නමක් දිනාගෙන ඇති භානුක රාජපක්ෂ ද කඩුලු 3ක් දවා ගනිමින් දැක්වූ කුසලතා අද LB ෆිනෑන්ස් කණ්ඩායම අසරණ කිරීම සඳහා වැඩි වශයෙන් ආධාර විය. පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී LB ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ වමත් වේගපන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන ඉසුරු උදානයි. ඔහු ලකුණු 43ක් රැස්කර ගත්තේය.

මෙම පහසු ලකුණු සංඛ්‍යාව හඹාගිය ජෝන් කීල්ස් පිතිකරුවන් පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ ලකුණු 162ක් රැස්කර ගනිමින් තම ජයග්‍රහණය ස්ථිර කර ගත්හ. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ කඩුලු 6ක් පමණි. ජෝන් කීල්ස් ඉනිමේ නැංගුරම බවට පත්වූ වමත් පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 77ක් වාර්තා කර ගැනීමට සමත් විය. ඒ අනුව ජෝන් කීල්ස් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 4කිනි.

LB ෆිනෑන්ස් (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 37.1): ඉසුරු උදාන 43, චරිත් උදාරක 32, විකුම් බණ්ඩාර 4/25, භානුක රාජපක්ෂ 3/31.

ජෝන් කීල්ස් (A කණ්ඩායම) – කඩුලු 6ක් දැවී ලකුණු 162 (පන්දුවාර 33.2): දිමුත් කරුණාරත්න 77*, ඉසුරු උදාන 1/13.


MAS යුනිචෙලා කණ්ඩායම සහ කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම අතර තරගය

අද දිනයේ ක්‍රියාත්මක වූ වෙළඳසේවා තරග ත්‍රිත්වයම අඩු ලකුණු තරග බවට පත් කරමින් මෙම තරගයේ පාලනය ද ලබා ගත්තේ පන්දු යවන්නන් විසිනි. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය පන්දුවාර 47කට සීමා කෙරුණු අතර කාසියේ වාසිය හිමි වූයේ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමටයි. ඒ අනුව ඔවුන්ගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන්ම පිතිකරණයේ යෙදීමයි.

එකී තීරණය එතරම් නිවැරදි නොවන බව සනාථ කරමින් කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ කඩුලු එකින් එක බිඳ වැටුණේ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 126ක් බවට පත් කරමිනි. ඒ සඳහා පන්දුවාර 38යි පන්දු 2ක් ප්‍රමාණවත් විය.

ert

කැන්රිච් ඉනිම විනාශ කළ වමත් දඟපන්දු යවන ක්‍රීඩක දුවිඳු තිලකරත්න ලකුණු 30කට කඩුලු 6ක් දවා ගනිමින් තරගාවලියේ මෙතෙක් හොඳම පන්දු යැවීම තම නම ඉදිරියෙන් සටහන් කර ගත්තේය. ඔහුගේ පියා වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්නයි. තවමත් 21 හැවිරිදි වියේ පසුවන දුවිඳු තිලකරත්න ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් ද විශිෂ්ට දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයෙකි. බිඳ වැටුණු කැන්රිච් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලෙස පැතුම් නිස්සංක ලකුණු 27ක් රැස්කර ගත්තේය.

මෙම සුළු ලකුණු ප්‍රමාණය පසුපස ඉතාමත් වේගයෙන් හඹාගිය MAS යුනිචෙලා පිතිකරුවන් පන්දුවාර 17ක් වෙද්දී සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්කම් දැක්වූහ. ඒ කඩුලු 8කින් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පරදවමිනි. එහි දී ප්‍රවේගකාරී පිතිකරණය යෙදුණු තුන් ඉරියව් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල නොදැවී ලකුණු 68ක් රැස් කර ගනිමින් මෙම ජයග්‍රහණය තවදුරටත් පහසු කළේය. ඔහුට අනගි සහයක් ලබා දුන් ටී. එම්. සම්පත් ලකුණු 45යි. මෙම පරාජය කැන්රිච් ෆිනෑන්ස් සමාගමට තරගාවලිය තුල පිට පිටම උරුම වූ දෙවැනි පරාජය බවට ද පත්විය.

කැන්රිච් ෆිනෑන්ස් (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 126 (පන්දුවාර 38.2): පැතුම් නිස්සංක 27, දුවිඳු තිලකරත්න 6/30, දිල්රුවන් පෙරේරා 2/11.

MAS යුනිචෙලා – කඩුලු 2ක් දැවී ලකුණු 129 (පන්දුවාර 17): රමිත් රඹුක්වැල්ල 68*, ටී. එම්. සම්පත් 45.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට