සාන්ත පැට්‍රික් විදුහල අවසන් මහා තරගයට

310
U19 Kotmale Chox 2016

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී අද (4) සවස පැවැත්වුණු කොත්මලේ වයස අවුරුදු 19න් පහල පාසල් පාපන්දු තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේදී වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල 7 – 6ක් ලෙස දඬුවම් පහර මඟින් පරදවා ජය ගත් යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

පසුගිය ලිපි: පන්දුව සියතේ තබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව අසරණ වෙයි

පළමු අර්ධයේදී දෙපිලටම ගෝල ලබා ගැනීමට තිබූ පහසු අවස්ථා කිහිපයක්ම ගිලිහී ගියේ ක්‍රීඩකයන්ගේ උද්යෝගය පමණ ඉක්මවා තිබූ බැවිනි. පළමු මිනිත්තු තිහේදී තම ආධිපත්‍ය පැතිරවූ පැට්‍රික් විද්‍යාලයේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් අතින් අවස්ථා හතරක්වත් ගිලිහෙන්නට ඇත.

ප්‍රතිවාදී ගෝලය ආසන්නයේදීම ලත් අවස්ථා දෙකක් පී. දිලක්ශාන් අතිනුත් ආර්. ශාන්තන් අතිනුත් මඟ හැරුනේය. පළමු මිනිත්තු තිහෙන් පසු තරඟය වෙත අවතීර්ණ වී ප්‍රතිවාදී ආරක්ෂක බැමි විනිවිද ගිය ජෝශප් වාස් ක්‍රීඩකයන් විසින්ද ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවන් ගිලිහිණි.

ගෝලයක් ලබා ගැනීමට ගෝල සීමාව වෙතදී ලද හොඳ අවස්ථාවක් ජෝශප් වාස් ඉදිරි පෙළ ක්‍රීඩක සඳරුවන් ප්‍රනාන්දු අතින් ගිලිහී ගියේ පහරක් එල්ල කිරීම පසෙකලා තම පිටුපස සිටි අනිල් මංජුලට ලබා දුන් පන්දුව මංජුල විසින් ගෝලයේ වම් අග්ගිස්සෙන් පිටතට එල්ල කිරීමත් සමඟය. මිනිත්තු කිහිපයක ඇවෑමෙන් බිධුෂ ප්‍රනාන්දු අතින්ද ගෝලය ආසන්නයේ සිට එල්ල කරන ලද පහරවල් දෙකක්ම අසාර්ථක විය. දෙපිලෙන්ම ගෝල වාර්තා වීමකින් තොරව ප්‍රථම අර්ධය නිමාවට පත්විය.

දෙවන අර්ධය ආරම්භයේදී ද, ආක්‍රමණකාරී ක්‍රීඩා ශෛලියක් පෙන්වන ලද්දේ සාන්ත පැට්‍රික් ක්‍රීඩකයන් ය. එහෙත් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ඉලක්කය අසාර්ථක විය. ඒ ආකාරයෙන්ම ජෝසප් වාස් ක්‍රීඩකයන් අතින්ද පහසු අවස්ථා කිහිපයක්ම ගිලිහෙන්නට විය. කණ්ඩායම් දෙකේම ගෝල රකින්නන් තම කාර්යය හරි හැටි ඉටු කළ අතර එක් ගෝල රකින්නෙක් අවම වශයෙන් ගෝල පහක්වත් නවතාලන්නට ඇත.

ටී. ඇන්තනී සුභාෂ්, අන්රුත් ලෙනින්, ආර්. දිලක්ශාන්, ආර්. ශාන්තන්, ඊ. ඩාවින් සහ ගෝල රකින ඒ. පිරුතාබන් දඬුවම් පහර එල්ල කිරීමේදී නම් තම ඉලක්ක සම්පුර්ණ කරගත්තේය. එහෙත් එස්. අභීෂන්ගේ දඬුවම් පහර ගෝලයෙන් ඈතට විසි විය.

ජෝසප් වාස් විදුහල වෙනුවෙන් අශේන් කනිෂ්ක, බිධුෂ ප්‍රනාන්දු, සඳරුවන් ප්‍රනාන්දු, නිමේෂ් දිල්ශාන් සහ දේවින්ද තම දඬුවම් පහර සාර්ථක කරගත්තේය. එහෙත් තෙවන දඬුවම් පහර එල්ල කළ දිනූෂ ප්‍රනාන්දුගෙන් නම් ගෝල රකින ඒ. පිරුතාබන් තම ගෝලය ආරක්ෂා කර ගත්තේය. හත්වන දඬුවම් පහර ලබා ගත් දේවින්ද මිලින්ද ඉදිරියේ ගෝල රකින ඒ. පිරුතාබන් වෙනුවට ආර්. ශාන්තන් ගෝල රැකීමට යොදා ගැනීම සාර්ථක උපක්‍රමයක් බව සනාථ කරමින් ගෝලය ආරක්ෂා කරන්නට ශාන්තන්ට හැකිවිය.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට