SAG – ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කාලසටහන නිකුත් වේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - පාපන්දු

146

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (SAG) පිරිමි හා කාන්තා පාපන්දු තරග ඉසව්වල තරග කාලසටහන ඊයේ (30) නිකුත් කරන ලදි. ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා පාපන්දු කණ්ඩායම් දෙකම අදාළ තරග ඉසව්වල දී සහභාගී වන කණ්ඩායම් සියල්ල සමඟින් තරග වදිනු ඇති අතර අවසානයේ එහි පෙරමුණේම රැඳෙන කණ්ඩායම් දෙක රන් පදක්කම සඳහා වන තරගයට සුදුසුකම් ලබනු ඇත.

SAG යන පාපන්දු කණ්ඩායම නම් කෙරේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපන්දු තරගාවලිය සඳහා සහභාගි වන…

පිරිමි තරග

ඉන්දීය පාපන්දු කණ්ඩායම ඊයේ දිනයේ දී තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ දැන් තරගාවලිය නවමු මුහුණුවරක් ගෙන ඇති අතර ඒ අනුව සංවිධායකයින් විසින් එහි මුළු තරග සැලැස්මම වෙනස් කිරීමට කටයුතු කර ඇත.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සහ මාලදිවයින සමඟින් ‘B’ කාණ්ඩයේ තරග කිරීමට නියමිතව තිබුණේ අවසානයේ එහි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගය ක්‍රීඩා කරනු ලබන සංයුතිය යටතේ ය.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමේ ඉවත් වීමත් සමඟ තරගාවලියේ ඉතිරි කණ්ඩායම් සියල්ල ලීග් ක්‍රමය යටතේ තරග කොට අවසානයේ එහි ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් දෙක රන් පදක්කම සඳහා වන තරගය ක්‍රීඩා කරන ආකාරයට තරග සංයුතිය වෙනස් කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත. ඒ අනුව නව සංයුතිය යටතේ මෙහි දී ලෝකඩ පදක්කමක් පිරිනැමෙන්නේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි දී සහභාගී වන පළමු තරගය මාලදිවයිනට එරෙහිව හෙට (02) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන් දින දෙකකට පසුව ඔවුන් ‘Pokhara Stadium’ ක්‍රීඩාංගණයේ දී සත්කාරක නේපාලය සමඟ තරග වදිනු ඇත.

අනතුරුව පැය 24කටත් අඩු විවේකයකින් පසුව ඔවුන් බංග්ලාදේශයට එරෙහිව තරග වදිනු ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලීග් වටයේ සහභාගී වන අවසන් තරගය භූතානයට එරෙහිව එළඹෙන 07 වැනිදා පැවත්වීමට නියමිත ය.

පාපන්දු කණ්ඩායමේ SAG ගමන අවිනිශ්චිත තත්වයක?

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පාපන්දු…

නේපාලයට එරෙහි තරගය හැරුණු කොට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අනෙකුත් සියලුම තරග පැවැත්වෙන්නේ කත්මණ්ඩු අගනුවර ‘Dasarath Stadium’ ක්‍රීඩාංගණයේ දී වන අතර ඒ අනුව නේපාල තරගයෙන් පසුව ලැබෙන සුළු විවේකය තුළ නැවතත් එම ක්‍රීඩාංගණයට පැමිණීමට සිදුවීම හරහා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය ඔවුන්ට විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමාන ය.

අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු ලීග් වටයේ තරග 4න් තරග 2ක ජයග්‍රහණය හා එක් තරගයක් ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුන් දක්වන හැකියාව මත රඳා පවතිනු ඇත.

තරග කාලසටහන

  • මාලදිවයින සහ ශ්‍රී ලංකාව – දෙසැ. 02, Dasarath Stadium (05.00 පස්වරු)
  • නේපාල සහ ශ්‍රී ලංකාව – දෙසැ. 04, Pokhara Stadium (05.00 පස්වරු)
  • බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව – දෙසැ. 05, Dasarath Stadium (05.00 පස්වරු)
  • භූතානය සහ ශ්‍රී ලංකාව – දෙසැ. 07, Dasarath Stadium (05.00 පස්වරු)

කාන්තා තරග

තරගාවලියේ කාන්තා අංශයේ තරග සැලසුම් කර තිබූ පරිදි කණ්ඩායම් 4ක සහභාගීත්වය යටතේ පැවැත්වෙනු ඇත. ඒ අනුව සත්කාරක නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව ලීග් ක්‍රමය යටතේ තරගාවලිය ආරම්භයේ තරග වදිනු ඇත.

කෙසේ නමුත් කාන්තා පාපන්දු පිටියේ තරමක් ප්‍රබල කණ්ඩායම් ද්විත්වයක් ලෙස සැලකෙන භූතාන හා බංග්ලාදේශ කණ්ඩායම් මෙවර තරගාවලිය සඳහා එක්නොවීම කාටත් පුදුමය ගෙන දෙන කරුණක් විය.

වසීම්ගේ තුරුම්පුවත් අසාර්ථක වෙයි

2022 FIFA ලෝක කුසලාන තරගාවලිය හා ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ…

පිරිමි තරග අංශයේ දී මෙන් මෙහි දී ද ලීග් තරග වටය අවසානයේ ඉහළින්ම පසුවන කණ්ඩායම් දෙක රන් පදක්කම සඳහා වන තරගයට සුදුසුකම් ලබන අතර ඒ අනුව මෙහි දී ද පිරිනමනු ලබන්නේ රන් හා රිදී පදක්කම් පමණි.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු ඔවුන් මාලදිවයින හා නේපාලයට එරෙහි තරගවල දී ලබා ගන්නා ප්‍රතිඵලය මත රඳා පවතිනු ඇත.

මෙහි කාන්තා තරග අංශයේ යටතේ පවත්වනු ලබන සියලුම තරග පැවැත්වෙන්නේ ‘Pokhara Stadium’ ක්‍රීඩාංගණයේ දී ය.

තරග කාලසටහන

  • නේපාලය සහ ශ්‍රී ලංකාව – දෙසැ. 03, Pokhara Stadium (01.00 පස්වරු)
  • ඉන්දියාව සහ ශ්‍රී ලංකාව – දෙසැ. 05, Pokhara Stadium (01.00 පස්වරු)
  • මාලදිවයින සහ ශ්‍රී ලංකාව – දෙසැ. 07, Pokhara Stadium (01.00 පස්වරු)

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<