මැන්චෙස්ටර් යුනයිටඩ් ඉතිහාසයේ අඳුරුතම හෝරාව – මියුනික් ඛේදවාචකය

1568

ඒ 1958 වසරයි. යුගොස්ලෝවියාවේ පැවැත්වුණු යුරෝපා කුසලාන තරගයක දී, රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් තරගාවලියෙන් ඉවත් කර දැමූ එංගලන්තයේ සුප්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම එම තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට යෑමට වරම් හිමිකර ගැනීමට සමත් විය.

ආසියාවේ ජාමයත්, ඉරානයේ ගෝලයත් රකින්නා

පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයන්ගෙන් බහුතරයක් යුරෝපා සහ ලතින් ….

”බස්බි බේබ්ස්” (Busby Babes) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම, තරගය නැරඹීමට ගිය ප්‍රේක්ෂකයින් පිරිසක් හා ඔවුන් සමඟ ගිය මාධ්‍යවේදීන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ අංක 609 දරන ගුවන් යානයෙන් මව්රටට ඒමට යළි පිටත් වුනේ ඉතා සතුටෙනි. නමුත් 1958 වසරේ පෙබරවාරි මස 6 වැනිදා මුළු මහත් පාපන්දු ලෝකයට අඳුරු මතකයක් මෙන්ම පාපන්දු ලෝකයම කම්පා කරවන දිනයක් වේවි යැයි ඔවුන් කිසි ලෙසකවත් නොසිතන්නනට ඇත.

යුගොස්ලෝවියාවෙන් පිටත් වුණු එයාර් ස්පීඩ් ඇම්බැසිඩර් වර්ගයේ ගුවන් යානයක් ජර්මනියේ මියුනික් නුවර ගිමන් හැරියේ නැවත ඉන්ධන පුරවා ගැනීමේ අරමුණෙනි. ඒ එවකට යුගොස්ලෝවියාව සහ එංගලන්තය අතර සෘජු ගුවන් ගමනක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් රඳවා ගැනීමට එහි ඉන්ධන ටැංකි ප්‍රමාණවත් නොවුන නිසාවෙනි.

 

(සිද්ධියට මුහුණදුන් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම)

මේ ඉරණම් ගමනේ ගුවන් නියමුවන් වූයේ ජේම්ස් තේන් හා කෙනෙත් රේමෙන්ට් ය. ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව ගුවන් නියමුවන් යානය නැවත ගුවන්ගත කිරීමට උත්සාහ කළ නමුත් වම් එන්ජිමේ දෝෂයක් හේතුවෙන් දෙවරක්ම එම උත්සාහය සාර්ථක වූයේ නැත.

නියමිත කාල සටහනෙන් ඉවතට යෑමට හා මියුනික් හි රැය ගත කිරීමට තිබූ අකමැත්ත නිසා ජේම්ස් තේන් (ගුවන් නියමුවා) තීරණය කළේ තෙවැනි වරටත් ගුවන් යානය ගුවන් ගත කරන්නට උත්සහ කිරීමටයි. ඒ වන විට ගුවන් තොටුපොළ වෙත හිම පතිත වීම ආරම්භ වී තිබූ අතර ධාවන පථය ද ලිස්සන සුළු වූ බව පසුව කරන ලද පරීක්ෂණවල දී අනාවරණය විය.

නියමුවා විසින් අදාළ සැලැස්ම දැනුම් දීමෙන් අනතුරුව ක්‍රීඩකයින් සහ මගීන් ද යම් කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කළත් ගුවන් නියමුවන් දෙදෙනාම ඉතා අත්දැකීම් බහුල වීම ඔවුන් යළි ගුවන් යානයට ගොඩ වීමට හේතුවක් විය.

මැන්චෙස්ටර් ක්‍රීඩක ලියම් විලන් සිය සගයින්ට විහිළුවට මෙන් පවසා තිබුණේ “මේක මරණය වෙන්න පුළුවන්, නමුත් මම සූදානම් යැයි” කියා වීම දෛවයේ සරදමක් වැනිය. කෙසේ වෙතත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගුවන් යානයේ පසුපසට ගොස් තිබුණේ වැඩි ආරක්ෂාව සඳහායි.

(PA Photo)

මාරකයක් අත ළඟ බැව් දෙවරක් සංඥා කළත් තෙවැනි අවස්ථාවක් සඳහා කිසිදු සහනයක් නොවීය. හිම හේතුවෙන් ලිස්සා ගිය ගුවන් යානය ගුවන් තොටුපොළේ ආරක්ෂක වැට ද කඩාගෙන ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගියේ සියලු දෙනාම බිරන්තට්ටු කරමිනි.

ගුවන් යානය ගුවන් තොටුපොළ වටා තිබුණු මාර්ගයේ ද ලිස්සා ගොස් අසල පිහිටි නිවසක ගැටුණු අතර ක්ෂණිකව එම නිවස ගිනි ගත්තේ ගුවන් යානය පුපුරා යාමේ අවදානමක හෙළමිනි. නිවසේ වැදීමෙන් ගුවන් යානයේ වම් තටුව විනාශ වූ අතර ගුවන් නියමු කුටියේ වම්පස ගසක ගැටෙද්දී යානයේ පසුපස වල්ගය ද විනාශ වී තිබුණි.

ගුවන් යානයේ දකුණු පස කොටස නිවසේ පිටත තිබූ ලී ගබඩාවක ගැටුණු අතර එහි වූ ටයර් හා ඉන්ධන නිසාවෙන් එම කුටිය පුපුරා ගියේ මගීන් විස්සකට එතැනම මරු කැඳවමිනි. එමෙන්ම තවත් තිදෙනෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේ පාපන්දු ලෝකයටම භයානක අඳුරු මතකයක් ඉතිරි කරමිනි.

මේ අතරින් දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක හැරී ග්‍රෙග් ක්ෂණිකව සිහි එළවා ගනිමින් ගුවන් යානයේ ජනේල් වීදුරුවක් බිඳ තවත් ජීවිත කිහිපයක් ද ගලවා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් මෙම අනතුරින් සුපිරි පාපන්දු තරු රැසක් අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවීම මහා ඛේදවාචකයකි. Geoff Bent, Roger Byrne, Eddie Colman, Duncan Edwards, Mark Jones, David Pegg, Tommy Taylor, Liam Whelan වැනි සුපිරි ක්‍රීඩකයින්ට ද මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ ලේකම් වූ වෝල්ටර් ක්‍රික්මර්, ප්‍රධාන පුහුණුකරු වූ බර්ට් වේලි හා සහය පුහුණුකරු වූ ටොම් කරී හට ද මෙම අනතුරින් දිවි අහිමි විය.

මේ සමඟම මාධ්‍යවේදීන් රැසකට ද දිවි අහිමි වූ අතර ජීවිතය බේරා ගත් පාපන්දු ක්‍රීඩකයින් යළි කිසිදා පාපන්දු පිටියට පා තැබුවේ නැත.

(මෙවර පත්වුණේ මේ ඛේදවාචකයේ 61 වන සංවස්තරයයි)

සෑම වසරකම පෙබරවාරි 6 වැනිදා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ හා එහි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී මිය ගිය සියලු දෙනා සිහි කිරීම වෙනුවෙන් උළෙලක් පැවැත්වෙන අතර මියුනික් සහ යුගෝස්ලෝවියාවේ දී ද එලෙසින්ම වාර්ෂිකව සැමරුම් උත්සව පවත්වනු ලබයි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<