වෙස්ලි විදුහලේ ජනාධිපති කුසලාන සිහිනය බොඳ වේ

581

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ හතරවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 43-29ක් ලෙස වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරන්නට සමත් විය. තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ධර්මරාජය නිතරගයෙන්ම අර්ධ අවසන් තරගයට

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තකා කොළඹ රාජකීය විද්‍යාලය, මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණය කිරීමත් සමඟ මහනුවර ධර්මරාජ…

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ ඊට පෙර වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය සහ ලීග් ශූරතා තරගාවලියේ පැවති තරගය පරාජය වීමෙන් අනතුරුව යි.

මෙම තරගයේ දී පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන අතර තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවෙනු ඇත.

ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලයත්, වෙස්ලි විද්‍යාලයත් අතර පැවති මෙම තරගයේ දී උත්සාහක දිනුම් 11ක් වාර්තා වූ අතර ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

තරගයේ ලකුණු ලබා ගැනීමට තිබූ පළමු අවස්ථාව වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ අවිෂ්ක ලී හට ලැබුණු නමුත් එහි දී එල්ල කළ පහර සාර්ථක කර ගන්නට ඔහු අපොහොසත් විය.

ඉන් අනතුරුව තරගය ඉතා උද්වේගකර ස්වරූපයක් ගත් අතර තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකෙන්ම උත්සාහක දිනුම් 7ක් වාර්තා විය.

තරගයේ ලකුණු ලබා ගැනීම වෙස්ලි විද්‍යාලයේ සශික ප්‍රනාන්දු උත්සාහක දිනුමකින් ආරම්භ කළ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය. ඉන් අනතුරුව සාන්ත ජෝසප් විද්‍යාලයේ චතුර සෙනෙවිරත්න උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔවුන් සාර්ථක කර ගත්තේය. (SJC 07 – 07 WC)

මිනිත්තු කිහිපයකට පසුව වෙස්ලි කණ්ඩායමේ එරන්ද හර්ෂණ උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ලී සමත් විය. ඒත් සමඟ තරගයේ පෙරමුණ ගන්නට වෙස්ලි කණ්ඩායම සමත් විය. (SJC 07 – 14 WC)

ඉන් අනතුරුව වෙස්ලි ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ ජෝසප් ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. එම උත්සාහක දිනුම ෂෙහාන් එරන්ද විසින් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට අවිශ්ක සමත් වූයේ නැත. (SJC 07 – 19 WC)

තරගය සඳහා ක්‍රීඩාංගණයේ තත්වය මෙන්ම කාලගුණ තත්වය ද ඉතා හොඳ මට්ටමක පැවතින. අනතුරුව නැවතත් තරගයට අවතීර්ණ වූ ජෝසප් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේය. ගැමුණු චේතිය විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සචිත් සිල්වා සමත් විය. (SJC 14 – 19 WC)

තරගයේ පළමු අර්ධය නිමා වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට අවිශ්ක සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක වූයේ නැත. ඊට ප්‍රතිචාර දක්වමින් ජෝසප් කණ්ඩායමේ ගැමුණු චේතිය උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනිමිනි. ඒ අනුව පළමු අර්ධය අවසානයේ ලකුණු 03කින් තරගයේ පෙරමුණ ගන්නට වෙස්ලි ක්‍රීඩකයින් සමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 21 (3T 3C) – 24 (4T 2C) වෙස්ලි විද්‍යාලය

ජෝසප් ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවක් මඟින් තරගයේ ලකුණු තත්වය සම කර ගැනීමට අවස්ථාවක් ලැබුණත්, එහි දී එල්ල කළ දඬුවම් පහර සාර්ථක කර ගන්නට චතුර සමත් වූයේ නැත. ඉන් මිනිත්තු කිහිපයකට අනතුරුව වෙස්ලි කණ්ඩායමේ පසුපෙළ බිඳ දැමූ සමීෂ විසින් පන්දුව ගැමුණු චේතිය හට බාර කළ අතර ඔහු තරගයේ තම උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට සචිත් අසමත් වූ නමුත් ඔවුන් ලකුණු 02කින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. (SJC 26 – 24 WC)

ඉන් අනතුරුව නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට ජෝසප් ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය. පසුව ඔවුන්ට දඬුවම් පහර අවස්ථාවක් ද ලැබුණු අතර ඔවුන් එය ද සාර්ථක කර ගත්තේ වෙස්ලි ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. (SJC 36 – 24 WC)

තරගයේ අවසාන මිනිත්තු 10 තුළ තවත් උත්සාහක දිනුම් 2 ක් වාර්තා විය.

වෙස්ලි කණ්ඩායමේ ක්‍රීඩාලෝලීන්ට නැවතත් බලාපොරොත්තු එක් කරමින් මුර්ෂාඩ් සුබායිර් විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ලී අතින් ගිලිහී ගියේය. (SJC 36 – 29 WC)

අනතුරුව ගැමුණු චේතිය හට තරගයේ තම හතරවැනි උත්සාහක දිනුම වාර්තා කර ගන්නට අවස්ථාවක් ලැබුණත්, එය සාර්ථක කර ගන්නට ඔහු අසමත් විය. කෙසේ වුවත් ඉන් අනතුරුව නිමේෂ් කාවින්ද විසින් ජෝසප් කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව චතුර විසින් සාර්ථක කර ගන්නා ලදි.

ඒ අනුව උද්වේගකර තරගයකින් අනතුරුව වෙස්ලි කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 43 (6T 5C 1P) – 29 (5T 2C) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – චතුර සෙනෙවිරත්න (SJC #10)

ලකුණු ලබා ගැනීම

සාන්ත ජෝසප් විද්‍යාලය – චතුර සෙනෙවිරත්න 1T 2C 1P, සචිත් සිල්වා 3C, ගැමුණු චේතිය 3T, විනුල් ප්‍රනාන්දු 1T, නිමේෂ් කාවින්ද 1T

වෙස්ලි විද්‍යාලය – සශික ප්‍රනාන්දු 1T, එරන්ද හර්ෂණ 1T, අවන්ත ලී 1T, අවිශ්ක ලී 1T 2C, මුර්ෂාඩ් සුබායිර් 1T

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට