අනිල් කුම්බ්ලේගේ අවස්ථාව සංගක්කාරට

528
Photo Credits - Zimbio.com

2011 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳව ‘කොලින් කවුඩ්රි’ නම් දේශනය කරමින් මුළු මහත් ක්‍රිකට් ලෝකයම සසල කළ ශ්‍රී ලංකා පිළේ හිටපු නායකයෙකු, කඩුලු රකින්නෙකු මෙන්ම සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාරට, ‘ජග්මෝහන් දල්මියා’ අනුස්මරණ දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබේ.

නවසීලන්ත කණ්ඩායම ඉදිරියට, ඕස්ට්‍රේලියාව පසු බසී

පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිදු වූ සිදුවීම් හමුවේ ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් කිහිපයක් සිදුව ඇත.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති සව්රව් ගංගුලි මහතා විසින් මෙම ආරාධනය සංගක්කාර හට ලබා දී ඇත.

මාධ්‍යයට අදහස් දක්වමින් සව්රව් ගංගුලි ප්‍රකාශ කර සිටියේ ඔහු සංගක්කාරට ආරාධනා කළ බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා දිනයක් තහවුරු කර ගන්නා බවත් ය. චතුර ලෙස කතා කිරීමට හැකියාව ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සලකන සංගක්කාර, 2011 දී කළ ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳව ‘කොලින් කවුඩ්රි’ දේශනය ලෝ පුරා ජනප්‍රියත්වයට පත් විය. එම දේශනයේ දී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ මූලාරම්භය, ඔහුට මුහුණ දීමට සිදු වූ ලාහෝර් ප්‍රහාරය, 1996 ලෝක කුසලානය දිනා ගැනීම වැනි මාතෘකා ඔස්සේ සංගක්කාර අති විශිෂ්ට දේශනයක යෙදුණේය.

බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාව සිටි දල්මියා මහතා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් හිටපු සභාපතිවරයෙකි. දල්මියා මහතා 2015 දී මිය යන විට ඒ මහතාට වයස අවුරුදු 75ක් වූ අතර මේ සුවිශේෂී ක්‍රිකට් පරිපාලන නිලධාරියා අනුස්මරණය කරනු වස් දේශනයක් පැවැත්වීමේ කටයුතු සූදානම් කිරීමට බෙංගාල ක්‍රිකට් සංගමය අවස්ථා කිහිපයක දී උත්සහ ගත්ත ද නොවැළැක්විය හැකි හේතූන් මත එම උත්සාහයන් අසාර්ථක විය.

මෙවර ඔහුගේ අනුස්මරණ දේශනය කිරීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් සංචාරය ආරම්භ වීමට දින කිහිපයක් තිබිය දී බව බෙංගාල ක්‍රිකට් සංගමය ප්‍රකාශ කර සිටියේය.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වූ ඉන්දියා-නවසීලන්ත ටෙස්ට් සංචාරයට පෙර මෙම දේශනය පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහ සභා රැස්වීම ද එම කාලය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ හෙයින් එම උත්සාහය ව්‍යර්ථ විය.

ඉන්පසු එම සංගමය මේ වසරේ ජනවාරි මාසයේ එංගලන්ත ඉන්දියා එක්දින සංචාරය අතරවාරයේ දී එම දේශනය පැවැත්වීමට සැලසුම් කළේය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අනුරාග් තාකූර් මහතා එම ධුරයෙන් ඉවත් කරන තීන්දුවක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ දිනවල පැනවීම නිසා දෙවැනි වතාවටත් සිය සැලසුම හකුළා ගැනීමට බෙංගාල ක්‍රිකට් සංගමයට සිදු විය.

ගංගුලි මහතා පසුගිය වසරේ දී නිවේදනය කළේ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ මහතා එම දේශනය පවත්වනු ඇති බවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ‘එම්. ඒ .කේ පතාවූදි‘ අනුස්මරණ දේශනයට සත්කාරය දක්වන අතර මුම්බායි ක්‍රිකට් සංගමය ‘දිලිප් සර්දේසායි‘ අනුස්මරණ දේශනය සංවිධානය කරයි.

ජග්මෝහන් දල්මියා අනුස්මරණ දේශනය කිරීමට ආරාධනා ලැබ සිටින සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගෙන සිටින නමුත්, තවමත් ක්‍රීඩා කරමින් සිටින්නෙකි. ඔහු ටෙස්ට් තරග 134ක් ක්‍රීඩා කරමින් ලකුණු 12,400ක් රැස්කර ගත් අතර, එක්දින තරග 404ක් හා විස්සයි විස්ස තරග 56ක් ක්‍රීඩා කර ඇති සංගක්කාර, ඒවායේ දී පිළිවෙළින් ලකුණු 14,234ක් සහ 1382ක් ලබා ගෙන ඇත.

නිමාවට පත් වූ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම පිතිකරුවන් ලැයිස්තුවේ දෙවන ස්ථානය ද හොබවන කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට