යාපනයේ නොසන්සුන්තාවයෙන් 19න් පහල පාපන්දු තරඟ කොට උඩ

442
Kotmale U19 Championship

යාපනය නගරයේ උද්ගතව ඇති උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ “2016 කොත්මලේ වසය අවුරුදු 19න් පහල පාපන්දු ශූරතාවලිය” පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදකාරී වතාවරණයක් මේ වන විට පැන නැගී ඇත.

පසුගිය ලිපි: ආබාධ රැසකින් පෙලෙන ශ්‍රී ලංකා සංචිතයට ආදේශකයන් පහක්

තරඟාවලියේ අවසන් පූර්ව තරඟ, තෙවන ස්ථානය තේරීමේ තරඟය සහ අවසන් මහා තරඟය පිළිවෙලින් නොවැම්බර් මස 3 සහ 5 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතව තිබුණි. පෙර වසරේ අවසන් මහා තරඟයට පිවිසි වත්මන් ශූරයන් වන සාන්ත හෙන්රි විදුහල හා සහීරා විදුහල අතර අවසන් පූර්ව සටනද, සාන්ත පැට්‍රික් විදුහල හා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල අතර අනෙක් අවසන් පූර්ව තරඟයද පැවැත්වීමට නියමිතව තිබුනි.

සාන්ත හෙන්රි විදුහලත්, සාන්ත පැට්‍රික් විදුහලත් යන පාසල් දෙකම යාපනය නගරය නියෝජනය කරන බැවින්, 2009 වසරේදී දශක තුනක යුද්ධය අවසන් වූ පසු ප්‍රථම වතාවට පාසල් තරඟාවලියේ අවසන් තරඟ කිහිපය උතුරේදී කරලියට ගෙන ඒමට සංවිධායකයන් විසින් තීරණය කරන ලදී.

කෙසේ වෙතත් අවසන් සතියේදී යාපනය විශ්ව විද්‍යාලීය සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමෙන් පසු උද්ගත වූයේ උණුසුම් වාතාවරණයකි. පොලීසිය සඳහන් කරන පරිදී ඔක්තෝම්බර් 21 වන දා අලුයම කුලප්පිඩි මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අදාළ සිසුන් දෙදෙනා පොලිස් අණ නොතකා ධාවනය කිරීම නිසාවෙන් පොලීසියට ඔවුන් වෙත වෙඩි තැබීමට සිදුව ඇත.

සිදුවූ සිද්ධිය පිළිබඳව යුක්තිය ඉල්ලා ඔක්තෝබර් 25 වන දින යාපනයේ සියලු වෙළඳසැල් හා කඩසාප්පු වසා දැමූ අතර විශ්ව විද්‍යාලීය සිසුන් ද දේශන වලට සහභාගී වීමෙන් වැළකී සිටියේය.

අදාළ සිද්ධිය සිදුවීමෙන් පසුව තවත් සැලකිය යුතු සිදුවීම් කිහිපයක් ගොඩනැගෙන්නට වු අතර වෙඩි තැබීමෙන් දින දෙකකට පසු හඳුනා නොගත් පිරිසක් යතුරු පැදියකින් පැමිණ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට කඩුපහර දී තුවාල සිදුකිරීමක් පිළිබඳ ප්‍රවෘත්තියක් ද වාර්තා විය. එය වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පලිගැනීමක් බව අසන්නට ලැබේ.

පවතින තත්ත්වය හේතුවෙන් ජෝශප් වාස් විදුහලේත් සහීරා විදුහලේත් පුහුණුකරුවන් සහ දෙමාපියන් තැති ගැන්මකට ලක්වී ඇත.

“දෙමාපියන් මට කතා කරලා අහනවා සිදුවන්නේ මොනවාද කියලා. එමෙන්ම ඔවුන් ඔවුන්ගේ දරුවන් යාපනයට යවන්නට අකමැතියි.” යැයි සහීරා විද්‍යාලීය ප්‍රධාන පුහුණුකරු ThePapare.com හා අදහස් දැක්වීය.

“මෙවැනි සිද්ධියක් ඇතිවීමෙන් පසු එය දවසකින් දෙකකින් සමථයකට පත්වෙන්නෙ නෑ, විශේෂයෙන් යාපනේදී. එයට මාසයක් පමණ යාවි. අපි අපේ පුහුණුවීම් කටයුතු සැලසුමට අනුවම කරගෙන ගියත් අපේ මානසික ඒකාග්‍රතාවය හරි ස්ථානයක නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩාංගනයේ ආරක්ෂක තත්ත්වය ගැනත් එහි යන ක්‍රීඩකයන්ගේ සහ ඔවුන්ගේ නවාතැන් වල ආරක්ෂාව ගැනත් බරපතල සැලකිල්ලට භාජනය වී ඇත.

“ආරක්ෂාව සහතික බව සංවිධායකයන් කියූවත් යම් සිද්ධියක් ඇතිවුවහොත් වගකීම දරන්නේ කවුද? මරණයට පත්කෙනෙකුට පණ දෙන්න ඔවුන්ට පුළුවන්ද? මා පැහැදිලිවම හිතන්නේ අවසන් තරඟ කොළඹට ගෙන ආ යුතු බවයි.” වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ පුහුණුකරු ෆ්රෑන්ක් කොස්තා තම දැඩි අදහස් ThePapare.com හා පැවසීය.

“කරදරකාරයින්ට මේක හොඳ අවස්ථාවක් තරඟයකදී හෝ පිටින් යන ක්‍රීඩකයන්ට අනතුරක් කොට ඔවුන්ගේ අණසක පතුරුවා ගැනීමට.” පුහුණුකරු කොස්තා එසේද පැවසීය.

“ක්‍රීඩාංගනවල ලොකු සෙනඟක් රැස්වෙන නිසා ඊට ලොකු ආරක්ෂාවක් ඕනෙ වේවි. ඉකුත් වසරේ මා 17න් පහල තරඟයකට යාපනේ සංචාරය කළා. එහි ප්‍රේක්ෂකයන් 3000ක් පමණ සිටියා. ඔවුන් හැසිරුණු විදිය ගැන මට කියන්නටවත් බැරි තරම් පිළිකුල් සහගතයි. විනිසුරුට තුන් හතර වතාවක් තරඟය නතර කරන්න සිදුවුණා.” යාපනේ කළ සිය අවසන් සංචාරය ගැන කොස්තා මහතා අදහස් දැක්වුයේ එසේය.

යාපනේ තත්ත්වය ඉක්මණින් යහපත් අතට හැරී ඉන් තරඟාවලියේ උත්කර්ෂවත් අවසන් තරඟය බාධාවකින් තොරව කරගෙන යෑමට හැකි වෙනු ඇතැයි ThePapare.com අපගේද බලාපොරොත්තුවයි.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට