City සහ United අසාර්ථක වෙද්දී Barcelona හට රතු කාඩ්පත්

93

එංගලන්ත Premier League සහ ස්පාඤ්ඤ La Liga තරගාවලිවල අටවන සතියේ හා ඉතාලි Serie A තරගාවලියේ 7 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (06) සාර්ථකව නිමාවට පත්විය.

Llorisට දරුණු ආබාධයක්; Liverpool අපරාජිත වාර්තාව තවදුරටත්

එංගලන්ත Premier League තරගාවලියේ ……..

Premier League ශූරයින්ගෙන් තවත් දුර්වල තරගයක්

Premier League තරගාවලිය යටතේ එහි වත්මන් ශූරයින් වන ප්‍රබල Manchester City සහ Wolverhampton Wanderers (Wolves) කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 0-2ක පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Wolves සමත් විය.

පළමු අර්ධයේ දී ගෝල කිසිවක් වාර්තා නොවූවත් දෙවන අර්ධයේ දී විශේෂයෙන් Manchester City ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් අවස්ථා කිහිපයක දී ම ගෝලයක් වාර්තා කරගැනීමට ආසන්නයට පැමිණි නමුත් ඔවුන් එහි දී පන්දුව ගෝල රාමුව තුළට යොමුකිරීමට අවශ්‍ය අවසන් පහර නිසි පරිදි එල්ල කිරීමට දැක්වූ දුර්වලතාවයන් නිසා එම අවස්ථාවන් ඔවුන්ගෙන් ගිලිහී ගියේය. 

ඒ අනුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ඉක්මන් අවස්ථාවන් හරහා උපරිම ප්‍රයෝජන ලබා ගත් Wolves ක්‍රීඩකයින් මෙම තරගයෙන් කවුරුත් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. 

එම අවසථාවන් දෙකේ දී ම Raul Jimenez ලබා දුන් පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝල වාර්තා කර ගනු ලැබුවේ Adama Traore විසිනි. 

සම්පූර්ණ කාලය: Manchester City 0 – 2 Wolverhampton Wanderers

ගෝල ලාභීන් 

  • Wolverhampton Wanderers – Adama Traore 80’, 90+4’

Chelsea විසින් Southampton වෙත ප්‍රබල ආක්‍රමණයක්

Premier League තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයක දී Chelsea ක්‍රීඩකයින් විසින් Southampton හමුවේ ගෝල 4-1ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. 

තරගය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ Chelsea පළමු අර්ධයේ මැද භාගය වන විට ගෝල 2ක් වාර්තා කරගැනීමට සමත් විය. 

එහි දී පළමු ගෝලය Callum Hudson-Odoi ඉදිරියට යොමුකළ පන්දුවක් ග්‍රහණයට ගැනීමට ඉදිරියට පැමිණි Southampton ගෝල රකින ක්‍රීඩක Angus Gunnගේ ඉහළින් ගෝල රාමුව තුළට යොමු කළ Tammy Abraham විසිනුත් දෙවන ගෝලය Jan Bednarek අතින් සිදු වූ අත්වැරදීමකින් ප්‍රයෝජන ගනිමින් Mason Mount විසිනුත් වාර්තා කර ගනු ලැබීය.

කෙසේ නමුත් පසුව Southampton ක්‍රීඩක Danny Ings විසින් Yan Valery ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරන්නට සමත් විය. 

පළමු අර්ධය අවසන් වන්නට පෙර Ngolo Kante විසින් Chelsea වෙනුවෙන් ඔවුන්ගේ තුන්වන ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහි දී ඔහු එල්ල කළ පහරේ දී පන්දුව Bednarekගේ ශරීරයේ වැදී ගෝල රාමුව තුළට යොමුවීමෙන් එම ගෝලය වාර්තා විය.  

අනතුරුව තරගය අවසන් වන්නට පෙර Christian Pulisic ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කළ Michy Batshuayi විසින් Chelsea සිව්වැනි ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ට මෙම තරගයෙන් ගෝල 4-1ක පහසු ජයග්‍රහණයක් හිමිකර දෙන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Chelsea 4 – 1 Southampton

ගෝල ලාභීන් 

  • Chelsea – Tammy Abraham 17’, Mason Mount 24’,  Ngolo Kante 40’, Michy Batshuayi 89’ 
  • Southampton – Danny Ings 30’

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට අමිහිරි අත්දැකීම් සමුදායක්

මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු සුහද ……

David Luiz ගෝලයෙන් Arsenalට තියුණු ජයක්

Premier League තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Arsenal සහ Bournemouth කණ්ඩායම් අතර පැවති තරගයෙන් ගෝල 1-0ක තීරණාත්මක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Arsenal සමත් විය.

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් Arsenal ක්‍රීඩකයින් විසින් පළමු මිනිත්තු 10ක කාලයක් ගතවන්නටත් පෙර ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහිදී Nicolas Pepe ලබාගත් කෝනර් අවස්ථාවක දී ඔහු ගෝල රාමු කලාපය තුළට යොමුකළ පන්දුවට David Luiz විසින් හිසින් පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය. 

එතැන් පටන් තරගයේ අවසානය දක්වා ම කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවූ නමුත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට අසමත් වීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 1-0ක ජයක් Arsenal හට හිමිවිය.

සම්පූර්ණ කාලය: Arsenal 1 – 0 Bournemouth

ගෝල ලාභීන් 

  • Arsenal – David Luiz 9’   

Manchester United නැවතත් අසාර්ථකයි

මෙවර තරග වාරයේ තවමත් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටින, පසුගිය තරග දෙකේ දී ම ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට අසමත් වූ ප්‍රබල Manchester United ඊයේ Premier League තරගාවලිය යටතේ තවත් පරාජයකට මුහුණ දුන්නේ Newcastle United හමුවේ ගෝල 0-1ක පරාජයක් අත්විඳීමත් සමඟයි.  

තරගය ආරම්භයේ පටන් Newcastle ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක් ම නිර්මාණය කර ගනු ලැබුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත.

 

අනෙක් පසින් Manchester United ක්‍රීඩකයින් ද ඔවුන් නිර්මාණය කර ගනු ලැබූ සුළු අවස්ථාවන් ප්‍රමාණය ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. ඒ අතරට Marcus Rashford හට දෙවන අර්ධයේ දී ගෝල රාමුවේ සිට යාර 5ක් තරම් ඉතා ආසන්න දුරක සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට හිමි වූ අවස්ථාව ද ඇතුළත් විය. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී Newcastle ක්‍රීඩක Jetro Willems ලබා දුන් පන්දුවක් ලබා ගත් Matthew Longstaff යාර 20ක දුරක සිට ඉතා වේගවත් පහරක් එල්ල කරමින් විශිෂ්ට ගෝලයක් වාර්තා කරගන්නට සමත් වූ අතර ඒත් සමඟ ම මෙම තරගයෙන් ගෝල 0-1ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ඔවුන් සමත් විය. 

සම්පූර්ණ කාලය: Manchester United 0 – 1 Newcastle United

ගෝල ලාභීන් 

  • Newcastle United – Matthew Longstaff 72’ 

Suarez වැඩ පෙන්වද්දී Salzburg, සත්කාරක Liverpool අන්දමන්ද කරයි

2019/20 ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන ……..

Barcelonaවේ Dembele සහ Araujoට රතු කාඩ්පත්

ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල FC Barcelona සහ FC Sevilla අතර පැවති තරගයෙන් ගෝල 4-0ක තීරණාත්මක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Barcelona සමත් විය. 

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ Sevilla ක්‍රීඩකයින් දියත් කළ ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශය හරහා ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩක Luuk de Jong හට ගෝලයක් වාර්තා කරගන්නට පහසු අවස්ථාවන් 3ක් හිමි වුවත් ඔහු ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත.

අනතුරුව සෙමින් තරගයට අවතීර්ණ වූ Barcelona ක්‍රීඩකයින් පිට පිට ගෝල ත්‍රිත්වයක් වාර්තා කරගනිමින් තරගයේ පාලනය සම්පූර්ණයෙන් ඔවුන් දෙසට යොමුකරගන්නට සමත් විය. එහිදී පළමු ගෝලය මනරම් ‘scissor-kick’ පහරක් හරහා Luiz Suarez විසිනුත්, දෙවන ගෝලය Arthur Melo විසින් ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවක් සාර්ථකව ඒ තුළට යොමු කළ Arturo Vidal විසිනුත්, තෙවන ගෝලය Sevilla ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබාගැනීමෙන් අනතුරුව එය ඉදිරියට රැගෙන යමින් ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයින් මඟහරිමින් ඉතා දක්‍ෂ ලෙස පන්දුව ගෝල රාමුව තුළට යොමුකළ Ousmane Dembele විසිනුත් වාර්තා කරගනු ලැබූහ. 

අනතුරුව දෙවන අර්ධයේ දී ගෝල රාමු කලාපය අසල Barcelona වෙත ලැබුණු නිදහස් පහර අවස්ථාවක් ඉතා විශිෂ්ට අන්දමින් සාර්ථක කර ගත් නායක Lionel Messi සිය කණ්ඩායමේ සිව්වැනි ගෝලයට හිමිකම් කියනු ලැබීය. 

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී තරගයට ආදේශ කළ Barcelona වෙනුවෙන් සිය මංගල තරගයට සහභාගී වූ Ronald Araujo විසින් Javier Hernandez හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් ඔහුට සෘජු රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා ක්‍රියා කළ අතර එහි දී එම තීරණයට Dembele දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් ඔහුට ද සිය දෙවැනි කහ කාඩ්පත නිකුත් වීමත් සමඟ එය රතු කාඩ්පතක් බවට පත්විය. 

ඒ අනුව ඔවුන් දෙදෙනාටම එහි දී පිටියෙන් ඉවත්ව යන්නට සිදුවුවත් Barcelona ක්‍රීඩකයින් මෙම තරගයෙන් ගෝල 4-0ක විශිෂ්ට ජයග්‍රහණයක් තහවුරු කරගන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: FC Barcelona 4 – 0 FC Sevilla

ගෝල ලාභීන් 

  • FC Barcelona – Luiz Suarez 27’, Arturo Vidal 32’, Ousmane Dembele 35’, Lionel Messi 78’

අසාර්ථක වූ දඬුවම් පහරෙන් Valladolid ජයග්‍රහණය ගිලිහෙයි

ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Atletico Madrid සහ Valladolid අතර පැවති තරගයේ දී දෙපිළම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අසමත් වීමත් සමඟ තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

පළමු අර්ධයේ දී Valladolid ක්‍රීඩක Sandro Ramirez හමුවේ ප්‍රතිවාදී ගෝල රාමු කලාපය තුළ සිදු වූ ‘foul’ කිරීමක් හමුවේ ඔවුන්ට දඬුවම් පහරක් හිමිවුවත් එහි දී එය ලබා ගත් Ramirez එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී යාමත් සමඟ එම අවස්ථාව ඔවුන්ට ගිලිහී යන්නට විය. 

එම අවස්ථාව හැර තරගය පුරාවට දෙපිළේම ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථා හිමි නොවූ අතර ඒ අනුව තරගය අවසන් වූයේ ජය-පරාජයකින් තොරව ය.  

සම්පූර්ණ කාලය: Atletico Madrid 0 – 0 Valladolid

Juventus සහ Inter Milan තියුණු තරගයක

ඉතාලියේ Serie A තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් ද්විත්වයක් වන Juventus සහ Inter Milan අතර ඊයේ පැවති තරගයෙන් ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට Juventus සමත් විය. 

Juventus හට ප්‍රබල ආරම්භයක් හිමි කර දුන් Paulo Dybala තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දී ම Miralem Pjanic ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් ගෝලයක් වාර්තා කරගන්නට සමත් විය. 

පසුව Inter Milan ක්‍රීඩක Nicolo Barella ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් Juventus ක්‍රීඩක Matthijs de Ligtගේ අතේ වැදීම නිසා ‘VAR’ වෙත යොමුවීමෙන් අනතුරුව Inter Milan වෙත දඬුවම් පහරක් පිරිනැමුණු අතර එය ලබාගත් Lautaro Martinez එය සාර්ථක කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

අනතුරුව කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත. එහි දී Juventus ගෝල රකින ක්‍රීඩක Wojciech Szczesnyගේ මෙන්ම Inter Milan ගෝල රකින ක්‍රීඩක Samir Handanovicගේ දක්‍ෂතා ද කැපී පෙනෙන්නට විය. 

කෙසේ නමුත් තරගය අවසන් වන්නට පෙර Rodrigo Bentancur ඉතා දක්‍ෂ ලෙස ලබාදුන් පන්දුවක් Gonzalo Higuain විසින් සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකිරීමත් සමඟ ජුවෙන්ටුස් හට මෙම තරගයෙන් ගෝල 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමි විය. 

ගෝල ලාභීන් සම්පූර්ණ කාලය: Juventus 2 – 1 Inter Milan

  • Juventus – Paulo Dybala 4’, Gonzalo Higuain 80’
  • Inter Milan – Lautaro Martinez 18’ (P)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<