දෙවැදෑරුම් කඳුළු අතරින් ගෙනා දැල්පන්දු කිරුළ

491

ගෙවී ගිය වසර කිහිපයේ දී ම මෙරට ක්‍රීඩාව යනු, ලැබූ පරාජයන් සාමාන්‍යකරණය වූ කාලයකි. ජාත්‍යන්තරයේ දී ලද පරාජයන් හමුවේ කිසිවකුත් කිසිවකුට අවලාද නොකිරීම මෙන්ම කිසිවක් සිදු නොවූ ගාණට සිටීම නිසා එසේ සඳහන් කිරීම ලිපිය ආරම්භයේ දී ම සඳහන් කිරීම අසාධාරණ නොවනු ඇතැයි හැඟේ.

එහෙත් ගෙවී යන 2018 වසර නම් ක්‍රීඩාවට උදාව තිබූ රාහු අපලය කෙමෙන් කෙමෙන් තුරන්ව යමින් තිබෙන ගාණය. මලල ක්‍රීඩාව හැරෙන්නට සෙසු ක්‍රීඩාවන්ගෙන් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබීම එයට හේතුවය.

ආසියාව කැළඹූ දැල්පන්දු ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා

සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවති 11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙවර තරගාවලිය පැවැත්වුණේ කණ්ඩායම් 12…


ගෙවී ගිය කාල සීමාවේ දී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයන් අතර තවත් එක් සංධිස්ථානයක් ලෙස “2018 ආසියානු දැල්පන්දු ශූරතාව” දිනා ගැනීම සඳහන් කළ හැක. පුහුණුකාරිණි තිලකා ජිනදාස ඇතුළු දැල්පන්දු කණ්ඩායම සිය ළැමට තුරුලු කරගෙන මෙරටට රැගෙන ආ ජයග්‍රහණය සැබැවින්ම කඳුළු පිරුණු ගමනක සතුටු සිහිවටනයකි. එය ඒ තරමටම කරන ලද බොහෝ කැපකිරීම් සහ වෙහෙසකර සටනක සාර්ථක ප්‍රතිඵලයකි.

ආසියානු ශූරතාව ලබා ගැනීමෙන් පසු

මෙරට බහුතරයකගේ ක්‍රීඩාව ක්‍රිකට් ය. කාන්තා අංශයට ද විවෘත වුවද ක්‍රිකට් යනු පිරිමින්ට අයිති ක්‍රීඩාවකි. කාන්තාවන්ට නම් දැල්පන්දුය. එය මෙරටට අදාළ ක්‍රීඩා හඳුන්වා දුන් සමයේ සිටම පැවත එන දෙයකි. ක්‍රිකට්වලින් අපි ජයග්‍රහණ ලබා ඇත්තෙමු. ක්‍රිකට් ක්‍රීඩාවට වෘත්තීමය රාමුවක් ලැබී ඇත්තේ එකී ජයග්‍රහණ හේතුවෙනි. ලෝක කුසලානයකට තරග වැදීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් එම අවස්ථාව උදාකරගත් මෙරට කණ්ඩායම් ක්‍රීඩාවක් වෙත් නම් ඒ ක්‍රිකට්ය. ඒ මීට වසර 43කට පෙර හෙවත් 1975 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමය. එහෙත් ඒ බව මෙරට අස්සක් මුල්ලක් නෑරම දැනගත්තේ 1996 වසරේ පැවති ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව බව නොරහසකි.

ක්‍රිකට්වලට පරිබාහිරව යමින් කණ්ඩායම් ලෝක ශූරතා තරගාවලියකට සුදුසුකම් ලබා ඇති මෙරට අනෙක් ක්‍රීඩාව වන්නේ නම් ඒ දැල්පන්දු ක්‍රීඩාව බව දන්නේ කීයෙන් කී දෙනා ද…? එහෙත් සත්‍ය එයයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු කණ්ඩායම් ලෝක ශූරතාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට සමත් මෙරට අනෙක් එකම ක්‍රීඩාව වන්නේ දැල්පන්දු නොඑසේ නම් නෙට්බෝල් ක්‍රීඩාවයි. සිව් වාර්ෂිකව පැවැත්වෙන දැල්පන්දු ලෝක ශූරතාවට ඉකුත් 2015 වසරේ දී සුදුසුකම් ලද ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එසේ සුදුසුකම් ලද පළමු කණ්ඩායමයි. ඕස්ට්‍රේලියාවේ පැවති එම තරගාවලියේ ශ්‍රී ලංකාව 16 වැනි ස්ථානයට පත්විය. වත්මන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එම ලෝක ශූරතාවකට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලද දෙවැනි කණ්ඩායම බවට මේ වන විටත් ඉතිහාස ගතවී හමාරය.

එවන් රන් අවස්ථාවකට සුදුසුකම් ලබා සිටින වත්මන් දැල්පන්දු කණ්ඩායම ඉකුත් දා දිනූ කුසලානේ කඳුළු දෙවැදෑරුම්ය. සතුටේ කඳුළ නම් කුසලාන ජයග්‍රහණය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි අපරාජිත ගමන් මාර්ගය ය. ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීමට අනුව 20 වැනි ස්ථානයේ පසුවූ, ඉකුත් වසරේ ආසියානු ශූරියන් වූ සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ම අවසන් මහ තරගයේ දී පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනීමට සමත් වීම එම සතුට දෙගුණ තෙගුණ කරවන්නකි. ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු දැල්පන්දු ජයග්‍රහණයක පහස විඳ තිබුණේ 2009 වසරේ දී වන අතර එතැන් පටන් කුසලාන ජයග්‍රහණයක පහස සංසිඳවා ගැනීමට වසර 9ක්ම බලා සිටීමට සිදුවිය. මෙහි වටිනාකම දෙගුණ වන්නේ සිංගප්පූරු කණ්ඩායම අප පරාජය කරන විට එම ශ්‍රේණිගත කිරීමෙහි සිංගප්පූරුවට වඩා ස්ථාන 5ක් පහළින් හෙවත් 25 වැනි ස්ථානයේ සිට ශ්‍රී ලංකාව තරග වැදීමය. ඒ සතුට දෝරේ ගලා යෑමට හේතු වූ කරුණුය.

සතුටේ දී වේදනාවට ඉඩක් නොමැත. එහෙත් සතුටු කඳුළු වැගිරීමට පෙර තිබුණේ වේදනාවේ කඳුළුම පමණි. එබැවින් ඒ පිළිබඳව ද සටහන් තැබීම කාලෝචිත යැයි හැඟේ. ඒ හා බැඳුණු කරුණු ඉදිරිපත් කරනවා හැරෙන්නට කිසිවකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ අදහසක් නොමැති බව නම් මෙහි දී සඳහන් කළ යුතුම ය.

ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිණී තිලකා ජිනදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකාරිණී තිලකා ජිනදාසව එම තනතුරට බඳවා ගැනීමේ සිට තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා සිංගප්පූරුවට ගොඩ බසින ලද්දේ ප්‍රශ්න ගොන්නක් කරපින්නාගෙනය. අමාරුවෙන් හෝ තිලකා ජිනදාසව පුහුණුකරු තනතුරට තේරී පත්වුණ ද ආසියානු තරගාවලිය ඉලක්ක කර ගනිමින් පුහුණු කටයුතු සිදු කිරීමට අප දැල්පන්දු කණ්ඩායමට හරි හමන් ක්‍රීඩාංගණයක් නොමැති වීම වේදනාවේ ප්‍රධානම සාධකය බවට පත්විය.

අස්සක් මුල්ලක් නෑර වූ මෙරට පාසල්වල දැල්පන්දුව ප්‍රචලිතව තිබුණ ද ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වූ දැල්පන්දු පිටියක් නොමැති බව පැවැසුවහොත් පිලිගත හැකි වන්නේද…? එහෙත් තිත්ත ඇත්ත එයයි. ක්‍රීඩා අමාත්‍යාංශය සතුව දැල්පන්දු පිටියක් ස්ථාපනය කොට තිබුණ ද එහි ජාත්‍යන්තරයට සරිලන පරිදි වූ අපේක්ෂිත ප්‍රමිතියෙන් බැහැරය. එය ජාත්‍යන්තර තරග පිටියක තිබිය යුතු දිග සහ පළලින් අඩුව සකසන ලද්දකි. නඩත්තු කර ගැනීමට නොහැකි තරම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ මෙරට ඉදිකර තිබුණ ද දැල්පන්දු ක්‍රීඩාව අතින් නම් එය ඇත්තේ ඉතා කණගාටුදායක තත්ත්වයක ය.

මෙම තත්ත්වය හරහා කණ්ඩායමේ පුහුණු කටයුතු සඳහා කොළඹින් බැහැර, බණ්ඩාරගමට යෑමට අප දැල්පන්දු කණ්ඩායමට සිදු විය. මේ සඳහා දෛනිකව එහි යෑම් එම් සිදු කළ යුතු වුවද ඒ සඳහා ලබා දී තිබූ වාහන ද ක්‍රීඩිකාවන්ගේ බඩු භාණ්ඩ රැගෙන යෑමට තරම්වත් ප්‍රමාණවත් නොමැති වූ බව කියැවේ. එහෙත් ජයග්‍රහණයම පමණක් විනා වෙන කිසිවකට ප්‍රමුඛතාව ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙසින් ලද දෙයින් අපේ ක්‍රීඩිකාවෝ අවශ්‍යතා සපුරා ගත්හ.

දැල්පන්දුව වෙනස් කළ මාස 8 විප්ලවයේ දැවැන්ත චරිතය

11 වැනි ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන තරගාවලිය වසර 9කට පසු නැවත වතාවක් ශ්‍රී ලංකාව වෙත දිනා දීමට තිලකා ජිනදාසගේ දායකත්වය කෙතෙක් ඉවහල් වී ද යත් අමුතුවෙන් පැවසිය යුතු…

ක්‍රීඩා පිටියේ අවශ්‍යතාව එසේ සපුරා ගනිමින් පුහුණුවීම් සිදු කරද්දී ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාම් කිරීම සඳහා වූ පහසුකම් එහි නොතිබීම ඔවුන් මුහුණ දුන් අනෙක් ගැටලුව බවට පත්විය. දිනකට එවැනි ආකාරයේ ව්‍යායාම් සඳහා අවම වශයෙන් පැය එකහමාරකට වඩා කාලයක් අවශ්‍ය වූ නමුත් ප්‍රවාහනය සඳහා පැය ගණනක් ගතවීම හරහා එම අවස්ථාව කේවල වශයෙන් සපුරා ගැනීමට ඔවුහු වගබලා ගත් බව සඳහන්. එමෙන්ම පුහුණුවීම් සඳහා ගෘහස්ථ ක්‍රීඩාංගණයක් වෙන් කර ගැනීම එසේ මුහුණ දුන් ගැටලු අතර ප්‍රධාන විය.

අවසන් මහ තරගයේ අවස්ථාවක්.

භයානකම තත්ත්වය වූයේ පුහුණුවීම්වල දී ආහාර ලබා ගැනීම ය. බොහෝ අවස්ථාවන්හිදී ක්‍රීඩිකාවන්ට ලැබී ඇත්තේ නූඩ්ල්ස් වර්ගයේ ආහාර වන අතර එය බහාළීමට උපයෝගී කරගන්නා ලද බේසම් ද පරණ ගණයේ ඒවා වීම ආහාර ගැනීම පිළිබඳ රුචියට වඩා අරුචිය වඩවන තරමේ විය. එමෙන්ම ආහාර ලබා ගැනීම සඳහා වූ ස්ථානයක් නොතිබීම නිසා ඒ සියල්ල බිම තබා අනුභව කිරීමට ක්‍රීඩිකාවන්ට සිදු වීම ද කණගාටුදායකය. තවද ආහාර ගන්නා අවස්ථාව වන විට එය මැස්සන්ගේ විමානයක් බවට පත්වීම ද ඛේදජනක සිදුවීම් ගණයට අයත් වේ.

මේ සියල්ල වේදනාවට හිමි ගිණුමට බැර වේ. සෙසු ක්‍රීඩාවන්ගේ සංචිතවලට ලබා දෙනු ලබන පෝෂණ දීමනාව හෝ තඹ දොයිතුවක් දැල්පන්දු කණ්ඩායමට ලබා නොදීම ඔවුන්ට මුහුණ දීමට සිදු වූ තවත් වේදනා බර සිදුවීමකි. එහෙත් මෙවැනි වේදනා බර අභියෝග රැසකට මුහුණ දුන් අප දැල්පන්දු කණ්ඩායම දැන් 2019 ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා තිබීම අගය කළ යුතුය. මොවුන්ට මුහුණ දීමට සිදු වූ කම්කටොළු ගැන ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ලේකම්වරයා නොදැනුවත්ව සිටින්නට ඇතැයි අනුමාන කළ හැක. එහෙත් දැන් නම් ඔවුන්ට සිතීමට, කිරීමට දෙයක් තිබෙන බව අමුතුවෙන් මතක් කළ දිය යුතු නැත. 2019 ලෝක ශූරතා තරගාවලියට අප කණ්ඩායම ලක ලැහැස්ති කළ යුත්තේ කෙසේ දැයි දැන් සිටම දැඩි විමසුමට ලක් කළ යුතුය.

අභියෝග රැසක් පරාජය කරමින් දැල්පන්දු පුහුණුකාරිණී තනතුර තිලකා ලබාගත්තේ මීට මාස 8කට පමණ ඉහත දී ය. එම කාලය තුළ දී පරාජයේ පතුළේ සිටි ශ්‍රී ලාංකේය දැල්පන්දුවට ආසියානු තිලකය තැබීමට ඇය සමත්වූවාය. ඇය හෙලූ දහඩියට සාධාරණයක් අප ක්‍රීඩිකාවන් ඉටු කළහ. තිලකා නොවන්නට ඇතැම් විට අපට මේ අවස්ථාව අහිමි වීමට ද ඉඩ තිබුණ බවට අනුමාන කළ හැක්කේ ඇය පුහුණුකාරිණී තනතුරට පැමිණීමට පෙර කණ්ඩායමේ තිබූ තත්ත්වය පිළිබඳව සංසන්දනය කිරීමේ දී ය.

ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු පිල මෙරටට පැමිණෙමින්.

තමන් සතු සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට තිලකා දක්ෂය. ඒ බැව් තරගාවලිය නැරඹීමේ දී අපට හොඳින්ම පෙනී ගියේය. හිටපු පුහුණුකාරිනියන් වැඩක් නැතැයි කියූ තර්ජනී ශිවලිංගම්ලාගෙන් තිලකා වැඩ ගත් ආකාරය සැබැවින්ම අගය කළ යුතුය. එමෙන්ම කණ්ඩායම සතු විවිධ දක්ෂතා සහිත ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව තිලකා සතුව තිබූ දැනුම ද මෙම ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වූවා නොඅනුමානය.

කෙසේ වෙතත් තිලකා ජිනදාසගේ සේවා කාලය ද මෙම වසර අවසානයේ නිමා වන බව සැලවේ. එබැවින් පුහුණුකාරිණියක් තේරීමට ද දැන් කාලය එළැඹ ඇත. ඒ සඳහා ද තිලකා ඉදිරි පත්වීමේ ප්‍රවණතාවක් තිබෙන අතර ලෝක කුසලානය දක්වා වූ ගමනට වැඩි අවස්ථාවක් ඇයට ද හිමි වනු ඇතැයි අපේක්ෂා කළ හැක. එහෙත් සියල්ල සිදුවන්නේ පාලකයින්ට උවමනා පරිදි වන බව අකමැත්තෙන් වුවද මෙහි දී සටහන් කළ යුතුය. අද හොඳ වූ තිලකා හෙට නරක් වුවද පුදුම විය යුතු නැත. ඒ ලංකාවේ හැටිය.

ශ්‍රී ලංකාවට ජය පතා තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්.

ආසියාව දිනූ අපට ලෝක කුසලාන දිනීම කජ්ජක් නොවනු ඇත. ක්‍රිකට්වල අප හිතුවේ එලෙසිනි. අවශ්‍ය වූයේ ඒ සඳහා අරමුණ සහ නියමාකාරයේ සැලසුම් පමණි. එබැවින් ‘මුහුද හත් ගව්වක් තියා අමුඩ ගසනවා’ වෙනුවට ලෝක ශූරතාවලියට හෙට සිටම පුහුණු වීම් ඇරඹිය යුතුය. ලෝක ශූරතාව පැවැත්වෙන්නේ ලබන 2019 වසරේ ජූලි මාසයේ දී වන බැවින් ඒ සඳහා අපට ප්‍රමාණවත් කාලයක් ඇත.

පරාජය වුවද කම් නැත. වැදගත් වන්නේ ලද පරාජය නැවත ගොඩ ගැනීමට ශක්තිමත් අඩිතාලමක් කර ගැනීමය. අවාසනාවකට ලංකාවේ සිදුනොවන්නේම එයමය. ඉහතින් සඳහන් කළ දෙයක් නැවත මෙනෙහි කරමි. “ඒ ලංකාවේ හැටිය”.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<