පැට් කමින්ස්ගේ මැදැඟිල්ල කොටවුණු හැටි

3215

ඕස්ට්‍රේලියානු සංචාරයේ දී දරුණු ක්‍රිකට් ගුටි බැට වලට ලක්වූ ශ්‍රී ලංකාවට ඔහුගේ නම අමතක විය නොහැකිය. එහෙත් මේ කතාන්දරය ඔහුගේ ක්‍රිකට් දස්කමක් ගැන නම් නොවේ.

2019 ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දී වැඩිම කඩුලු ලබාගනිමින් (14) ශ්‍රී ලංකාවේ පිතිකරුවන් අසරණ කළ පැට්‍රික් කමින්ස් මුලින්ම අපගේ නෙත ගැටෙන්නේ 2010 යොවුන් ලෝක කුසලානයේ දී යි. එහි ශූරයන් වූ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වයස අවුරුදු 18ක යොවුන් වේගපන්දු යවන්නෙකු පැයට කි. මී. 140කට වැඩි වේගයකින් පන්දු යවනු දැකිය හැකි විය. ඒ කමින්ස් ය. ඔහු පිතිකරුවන්ගේ ඇඟ පත රිදවිය හැකි, කලකට පසු දක්නට ලැබෙන පන්නයේ වේගපන්දු යවන්නෙකි.

ස්වාභාවික වේගය නිසා වයස අවුරුදු 18 දී ම ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට තේරීපත්වූ කමින්ස් මේ වන විට නිත්‍ය ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෙකි. වරින් වර ඔහුට වධ දෙන ආබාධ නිසා ඔහුගේ පන්දුවක සාමාන්‍ය වේගය තවමත් පැ. කි. මී. 140 – 145 මට්ටමේ පවතියි. එසේ නොවූයේ නම් මේ තරුණයා මේ වන විට බ්‍රෙට් ලීගේ මට්ටමේ වේගයකට ළඟා විය හැකිව තිබූ පන්දු යවන්නෙකු බව සිතිය හැකිය.

මම අංක එකට ආවේ මෙහෙමයි – ජස්ප්‍රීත් බුම්රා

“තාත්තා නැතිවෙනකොට මම හිටියේ 2 ශ්‍රේණියේ. අක්කා හිටියේ 4 ….

කුඩා කාලයේ දී ම ඔහුට වේගය ලැබී තිබුනත්, ඔහුගේ ඇඟිලිවල උසෙහි යම් වෙනසක් දිස්වේ. එනම් ඔහුගේ මැදැඟිල්ලෙහි අන්තිම පුරුක ඔහු සතුව නැත. ඊට හේතුවී ඇත්තේ කුඩා කාලයේ කළ දඟකාරකමකි. ඔහුගේම බසින් කියතොත්,

“මම හැදුණේ වැඩුණේ බටහිර සිඩ්නි වල. මම ලොකු පවුලක සාමාජිකයෙක්.”

ඔහු හැදී වැඩී ඇත්තේ හත්දෙනෙකුගෙන් යුත් පවුලක ය. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක දරුවන් කෙතරම් කෙළිදෙළෙන් කල් ගෙවන්නේ දැයි ඔබට සිතාගත හැක. ශ්‍රී ලංකාවේ තත්වය මඳක් අධ්‍යාපනය වෙත බරව ඇතත්, ඕස්ට්‍රේලියානු දරුවන්ට යම් නිදහසක් ඇතැයි අසන්නට ලැබේ.

“වයස අවුරුදු 4 දී විතර මම පෙර පාසල් යන ක්‍රියාශීලී කොල්ලෙක්. දවසක් පවුලේ මිතුරෙක් මාව ගෙදර ළඟින් බස්සලා මට ලොලිපොප් එකකුයි මගේ සහෝදර සහෝදරියන්ට තව ලොලිපොප් හතරකුයි දුන්නා.”

එයින් අධික සතුටට පත්වූ කමින්ස් නිවස වටේම දිව යමින් තම සොයුරු සොයුරියන් සොයන්නට විය.

“මගේ සොයුරිය හිටියේ නාන කාමරේ. ‘ඔයාට ලොලිපොප් එකක් තියෙනවා’ කියලා මම කෑ ගැහුවා.”

පුංචි කමින්ස් හට සතුට දරාගන්නට නොහැකි විය. සොයුරිය නාමින් සිටි නාන කාමරයේ දොර මඳක් හැර ලොලිපොප් රසකැවිල්ල එතුළට යොමා කමින්ස් එය එහෙට මෙහෙට ලෙලෙව්වේය.

“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ කුමකටද? ….

“ඇය හයියෙන් දොර වැහුවා. මගේ ඇඟිල්ලේ උඩ කෑල්ල ගැලවිලා ගියා. ඉතින් මම පන්දු යවන ඇඟිල්ලෙන් සෙන්ටි මීටරයක් විතර මට අහිමි වුනා.” පැට් කමින්ස් හට අද එය සිනාමුසු අත්දැකීමක් වුවත් එදින ඔහු කෙතරම් ශබ්ද නගා හඬන්නට ඇත්දැයි අපට සිතාගත හැකිය.

අද වනතුරු කමින්ස් පන්දු යවන්නේ ඒ කොටසක් ගැලවී ගිය මැදැඟිල්ලේ ද තල්ලුවෙනි. එහි අසාමාන්‍ය බව නිසා වේගය අඩු වුණි ද / වැඩි වුණි ද යන්න වෙනම කතා කළ හැකි මාතෘකාවක් වුවද, තවත් සෙන්ටි මීටරයක් අහිමි නොවී ඔහුගේ මැදැඟිල්ල ආරක්ෂා වීම ගැන අප සතුටු විය යුතුය. එසේ වූයේ නම් ලෝක ක්‍රිකට් වේදිකාවට වේගපන්දු යවන්නෙකු අහිමිවන්නට තිබුණි.

“සමහරු කියන්නේ මට හොඳට සීම් එක අහුවෙනවා කියලා. ඒත් මට ලෙග් කටර් එක නම් දාන්න බැරි වුනා.” පැට් කමින්ස් සිනාසෙයි.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<