මහනුවරින් ගුවන් හමුදාවට ප්‍රබල ප්‍රහාරයක්

ඩයලොග් රග්බි ලීග් තරගාවලිය - 2019

105

2019/20 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ පළමු සතියේ තවත් තරගයක් අද (01) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ඒ මහනුවර ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතරයි. 

මෙම තරගයේ දී ලකුණු 26-08ක් ලෙස ජයග්‍රහණය ලබා ගනිමින් මෙවර තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. 

මහනුවර ක්‍රීඩා සමාජය පසුගිය වසරේ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් අතර මෙවර ඔවුන් නව ක්‍රීඩකයන් රැසකගෙන් සන්නද්ධ වී සිටී. ගුවන් හමුදා කණ්ඩායම පසුගිය තරග වාරයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔවුන් ද නව මුහුණුවරකින් මෙවර තරගාවලිය සඳහා එක්ව සිටී. 

අංගම්මන තරගයේ වීරයා වෙද්දී CR&FCට ජය පැන්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි තරගය අද (30) සත්කාරක CR&FC සහ පොලිසිය…..

දැඩි වර්ෂාවක් සමඟින් ආරම්භ වූ මෙම තරගය කණ්ඩායම් ද්විත්වයටම යම් අපහසු වටපිටාවක් නිර්මාණය කර තිබුණි. මහනුවර කණ්ඩායම තම පළමු අර්ධය සඳහා නයිජල් රත්වත්තේ, තරින්ද රත්වත්තේ, තිලිණ විජේසිංහ, බුවනෙක උඩංගමුව වැනි ප්‍රබලයින් රැසක් එක් කර තිබූ අතර ගුවන් හමුදා කණ්ඩායම ද ගයන්ත ඉද්දමල්ගොඩ, සාරක වැරැල්ල වැනි ප්‍රබලයන් තරගයට එක කර තිබුණි. 

තරගයේ මුල් මිනිත්තු කීපය තුල කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර පන්දු හැසිරවීමේ දුර්වලතා කීපයක් දක්නට ලැබුණි. තරගයේ 4 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ප්‍රබල අවස්ථාවක් උදා වූ අතර එය මඟහැරී ගියේ අවාසනාවන්ත ලෙස සීමා ඉරේ දී පන්දුව Knock-on වීමෙනි. 

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී Rolling Maul අවස්ථාවක් මගින් ලකුණු රැස්කිරීමට මහනුවර කණ්ඩායමට අවස්ථාව උදාවුව ද එය අසාර්ථක විය. නමුත් තරගයේ 11 වැනි මිනිත්තුවේ දී තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එම උත්සාහක දිනුම බුවනෙක උඩංගමුව විසින් වාර්තා කළේය. 

මීටර් 22 සීමාවේ සිට එල්ල කළ ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් මහනුවර ලකුණු පුවරුව ලකුණු 7ක් දක්වා ඉහළ දැමීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 07 – 00 ගුවන් හමුදා)

තරගයේ මීළඟ මිනිත්තු කීපය කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර මහනුවර කණ්ඩායමට ලැබුණු පහසු උත්සාහක දිනුම් අවස්ථාවක් මඟහැරී ගියේ 20 වැනි මිනිත්තුවේ දී ය. 

23 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් නැවත ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ලවංග පෙරේරා සමත් විය. පහසු ප්‍රවර්තනයක් වූ එම ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 14ක් දක්වා ඉහළ දැමීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 14 – 00 ගුවන් හමුදා)

“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා ගෙන සිටින……

මෙතෙක් වේලාවක් අක්‍රීයව පැවති ගුවන් හමුදා ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදා කණ්ඩායමේ ගයන්ත ඉද්දමල්ගොඩ සමත්වූයේ 29 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. (මහනුවර 14 – 03 ගුවන් හමුදා) 

පළමු අර්ධය නිමා වීමට පෙර ලකුණු රැස්කිරීමට කණ්ඩායම් දෙකම ප්‍රබල උත්සාහයක නිරත වූ අතර මහනුවර කණ්ඩායම තම තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 40 වැනි මිනිත්තුවේ දී ය. එම උත්සාහක දිනුම දිලක්ශ දන්ගේ විසින් වාර්තා කළේය. එම ප්‍රවර්තනය සාර්ථක නොවූ අතර මහනුවර ලකුණු පුවරුව ලකුණු 19ක් බවට පත්ව තිබුණි. (මහනුවර 19 – 03 ගුවන් හමුදා)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 19 – 03 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී ම උත්සාහක දිනුමක් ලබා ගැනීමට ප්‍රබල අවස්ථාවක් මහනුවර කණ්ඩායමට හිමි වූ අතර පන්දු පාලනයේ සිදු වූ දුර්වලතා නිසා එම අවස්ථාව මඟහැරී ගියේය. 

තරගයේ 43 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා උචිත ජයසූරිය කණ්ඩායමට එක් කළේය. මහනුවර කණ්ඩායම දෙවන අර්ධයේ මුල් මිනිත්තු කීපයේ දී පන්දුව ගුවන් හමුදා සීමා ඉර ආසන්නයේ තබා ගැනීමට සමත් වූ අතර උත්සාහයන් කීපයකින් අනතුරුව මහනුවර කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට නායක නයිජල් රත්වත්ත සමත් විය. ඒ 45 වැනි මිනිත්තුවේ දී ය. 

අපහසු ප්‍රවර්තනයක් වූ එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් මහනුවර කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 26ක් දක්වා ඉහල නැංවීමට තිලිණ විජේසිංහ සමත් විය. (මහනුවර 26 – 03 ගුවන් හමුදා) 

තරගයේ 52 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ප්‍රබල අවස්ථාවක් ගුවන් හමුදා කණ්ඩායමට උදා වූ අතර එය සාර්ථක කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක පරාක්‍රම රත්නායක සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ හට නොහැකි විය. (මහනුවර 26 – 08 ගුවන් හමුදා) 

තරගයේ අවසන් මිනිත්තු 10 වන විට ගුවන් හමුදා කණ්ඩායම ප්‍රබල ලෙස මහනුවර සීමා ඉර ආක්‍රමණය කර සිටි අතර මහනුවර ප්‍රබල ඉදිරිපෙළ හමුවේ උත්සාහක දිනුමක් ලබා ගැනීමට ගුවන් හමුදාව ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. මේ අතර තරගයේ 76 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක තරිඳු චතුරංග හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් කටයුතු කළේය. 

මිනිත්තු 20ක් පමණ මහනුවර සීමා ඉර ආසන්නයේ පන්දුව පැවති අතර මහනුවර කණ්ඩායම ප්‍රබල උත්සාහයකින් අනතුරුව පන්දුව ගුවන් හමුදාවෙන් උදුරා ගැනීමට සමත් විය. තරගයේ නියමිත කාලය අවසන් වන තුරු කණ්ඩායම් දෙකම ලකුණු රැස්කිරීමට අසමත් විය. 

පාළුවට ගිය රග්බි ක්‍රීඩාංගණවලට නැවතත් ඔල්වරසන් සහ අත්පොළොසන්

2019/20 තරග වාරය සඳහා වන ඩයලොග් අන්තර් සමාජ……

ඒ අනුව තරගය නිමා වූයේ මහනුවර කණ්ඩායමට ලකුණු 26-08ක් ලෙස ජයග්‍රහණය හිමිකර දෙමිනි. තරගය පුරා දැක්වූ ප්‍රබල ක්‍රීඩා රටාව නිසා මහනුවර ක්‍රීඩා සමාජයේ බුවනෙක උඩංගමුව තරගයේ වීරයා ලෙස නම් කෙරිනි. 

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 26 (4T, 3C) – 08 (1T, 1P) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • මහනුවර ක්‍රීඩා සමාජය: බුවනෙක උඩංගමුව (1T), නයිජල් රත්වත්තේ (1T), දිලක්ශ දන්ගේ (1T), ලවංග පෙරේරා (1T), තිලිණ විජේසිංහ (3C) 
  • ගුවන් හමුදාව: පරාක්‍රම රත්නායක (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<