CH පළිගැනීමේ මෙහෙයුම සාර්ථකයි!

1144

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නව වන සති අන්තය ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC කණ්ඩායම අතර අද (6) පැවති තියුණු සටනින් ලකුණු 25-27ක් ලෙස ජයග්‍රහණය කිරීමට CH & FC ක්‍රීඩකයින් සමත් විය.

මහනුවර ආක්‍රමණයෙන් ගුවන් තටු බිඳී යයි

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (06) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ…

පළමු වටයේ පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් CH & FC කණ්ඩායම රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් තරග වැදුණු අතර තවදුරටත් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් හැව්ලොක් කණ්ඩායම ජේසන් මෙල්ඩර් විසින් මෙහෙයවනු ලැබුණි.

පළමු මිනිත්තුවේ සිටම හැව්ලොක් කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර තරගයේ දෙවන මිනිත්තුවේ දී CH ක්‍රීඩකයින්ගේ පන්දු යොමු කිරීමක් අතරමැදින් ග්‍රහණය කර ගත් හැව්ලොක් ක්‍රීඩක හිරන්ත පෙරේරා තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (හැව්ලොක් 07-00 CH & FC).

දිගින් දිගටම සිය ආක්‍රමණය දියත් කළ හැව්ලොක් කණ්ඩායමේ ලසිඳු ඉශාන් කරුණාතිලක 10 වැනි මිනිත්තුවේ දී CH & FC ඉදිරි පෙළ ආරක්ෂක වළලු බිඳ දමමින් හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත (හැව්ලොක් 12-00 CH & FC).

තරගයේ 14 වන මිනිත්තුවේ දී CH & FC ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සැමුවෙල් මධුවන්ත සමත් විය (හැව්ලොක් 07-03 CH & FC).

ක්‍රමයෙන් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට පිවිසි CH & FC කණ්ඩායම හැව්ලොක් අන්තය තුල  සිය ආධිපත්‍ය රඳවා ගනිමින් තරගයේ 19 වැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ටෙරන්ස් හෙන්රි එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර තරගය පුරා පන්දුවට පා පහර එල්ල කිරීමේ දී සාර්ථක වූ සැමුවෙල් මධුවන්ත මේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් විය (හැව්ලොක් 12-10 CH & FC).   

අවසාන මිනිත්තුව දක්වාම තරගය දෙපසටම දෝලනය වීම තරගයේ උණුසුම වැඩි කිරීමට තවත් හේතුවක් වූ අතර සැමුවෙල් මධුවන්ත හා රීසා මුබාරක්ගේ පාද මෙන්ම විනිසුරුගේ ඇතැම් තීරණ ද තරගයේ අවසාන ප්‍රතිඵලයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් විය.

නැවත නැවතත් CH & FC කණ්ඩායම සිදු කළ අතපසුවීම් නිසා විනිසුරු හැව්ලොක් කණ්ඩායමට 21 වන මිනිත්තුවේ දී හා 27 වන මිනිත්තුවේ දී දඬුවම් පහර දෙකක් ලබා දුන් අතර එම දඬුවම් පහර දෙකම සාර්ථක කර ගත් රීසා මුබාරක් ලකුණු පරතරය  සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට සමත් විය (හැව්ලොක් 18-10 CH & FC).

කණ්ඩායම් දෙකම තරගයේ ලකුණු ලබාගත හැකිව තිබූ අවස්ථාවල දී පන්දු හුවමාරු කිරීමේ දී මෙන්ම පන්දුව දිනා ගැනීමේ දී සිදු කළ අතපසුවීම් කැපී පෙනුණි.

29 වන මිනිත්තුවේ දී CH & FC කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ සැමුවෙල් මධුවන්ත ලකුණු පරතරය අඩු කිරීම සඳහා ගෝල දිනුමක් සඳහා උත්සහ කළ අතර අලංකාර ලෙස එම ගෝල දිනුම සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය (හැව්ලොක් 18-13 CH & FC).

කරට කර ගැටෙමින් කණ්ඩායම් දෙකම තරග කරනු දක්නට ලැබුණු අතර 40 මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ ෂෙහාන් ඩයස් ලකුණු පරතරය තවත් ඉහළ දැමීමට සමත් විය. රීසා මුබාරක් ඉතා පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (හැව්ලොක් 25-13 CH & FC).

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 25 – 13 CH & FC

ඉතා උණුසුම් දෙවන අර්ධයකට මඟ විවර කරමින් CH & FC කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් සමඟ තරගයට පිවිසුණු අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් 42 වන මිනිත්තුවේ දී ලී කීගල් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත්වුවත්, පන්දුව පොළොවේ ස්පර්ශ නොවීම හෙවත් ‘Held-Up’ අවස්ථාවකට ලක්වීම නිසා එම උත්සාහය අසාර්ථක විය.

අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ අවන්ත ලී 45 වන මිනිත්තුවේ දී CH & FC වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්තනය අලංකාර ලෙස සාර්ථක කර ගන්නා ලදි (හැව්ලොක් 25-20 CH & FC).

සන්දේශ්ගේ උත්සාහය අවසන් මොහොතේ වතුරේ යයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ නව වැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (06) පැවැත්විය. ඒ අතරින් CR & FC කණ්ඩායමත්, පොලිස් ක්‍රීඩා සමාජයත්…

තරගයේ 55 වන මිනිත්තුවේ දී CH & FC කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් සඳහා උත්සහ කළ අතර දැවැන්ත හැව්ලොක් ඉදිරි පෙළ හමුවේ එම උත්සාහය ව්‍යර්ථ විය. තරගයේ 56 වන මිනිත්තුවේ දී CH ක්‍රීඩක රයන් වීරකෝන් ආබාධයකට ලක්වූ අතර මද පමාවකින් අනතුරුව තරගය නැවත ආරම්භ වීමේ දී ම ක්ෂණිකව ක්‍රියාත්මක වූ යෝෂිත රාජපක්ෂ ‘Quick Penalty’ අවස්ථාවක් ලබා ගනිමින් හැව්ලොක් ඉදිරි පෙළ මුලා කරමින් විශිෂ්ට ධාවනයක යෙදුණි.

තරගයේ තීරණය වෙනස් කළ උත්සාහක දිනුම ඉමංග ආරියපාල වෙත යොමු කළ අතර 63 වන මිනිත්තුවේ දී පන්දුව ධවල රේඛාව පසුකර ගියේය. ‘Quick Penalty’ අවස්ථාව ලබාගත් ස්ථානය විනිසුරු අනුමත කළත්, එම තීරණය මතභේදයට ලක්වූ තීරණයක් වූයේ තරගය එම දඬුවම් අවස්ථාව මත තීරණය වූ නිසාවෙනි. එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කර ගන්නා ලදි (හැව්ලොක් 25-27 CH & FC).

අනතුරුව දෙපිලම කරට කර තරගයක නිරත වූ අතර 72 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට CH & FC කණ්ඩායමේ සැමුවෙල් මධුවන්ත අසමත් විය. අවසාන මිනිත්තු කිහිපයේ දී හැව්ලොක් කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ප්‍රබල උත්සාහයක නිරත වුවත්, ඔවුන්ගේ සියලු අපේක්ෂා බිඳ හෙළමින් ලකුණු 25-27ක් ලෙස පෙරළිකාර ජයක් වාර්තා කිරීමට CH & FC කණ්ඩායමට හැකි විය.

තරගය පුරා විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වූ හෙන්රි ටෙරන්ස් ThePapare.com තරගයේ වීරයා ලෙස නම් කරන ලදි.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 25 (3T,2C,2P) – 27 (3T,3C,1P,1DG) CH & FC

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය: රීසා මුබාරක් (2C,2P), ෂෙහාන් ඩයස් (1T), හිරන්ත පෙරේරා (1T), ලසිඳු ඉශාන් කරුණාතිලක (1T)
  • CH & FC: සැමුවෙල් මධුවන්ත (3C,1P,1DG), හෙන්රි ටෙරන්ස් (1T), අවන්ත ලී (1T), ඉමංග ආරියපාල (1T)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට