Dialog Rugby League 2016/17

මෙවර තරගාවලියේ ශූරතා සටනේ කරට කර තරගකරුවන් වූ මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය, අවසන් මහා තරගයක් බඳු සටනක් සඳහා එකිනෙකා මුණ ගැසුනේ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දීයි. තියුණු සටනකින් පසු මහනුවර ක්‍රීඩකයන් තරගයේ ජය තහවුරු කර ගත්තේ ලකුණු 26-11ක් ලෙසිනුයි. මේ අනුව මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි කිරුළ තම අත පොවන මානයටම ලඟා කර ගන්නටද මහනුවර ක්‍රීඩකයන්ට හැකි විය.

ගුවන් භටයන් ඉදිරියේ CH පරාජයට; නාවිකයින්ට තෙවැනි තැන

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ ආරම්භක තරග ද්විත්වය අද (03) පැවැත්වූ අතර එහිදි රත්මලානේදී පැවති ගුවන් හමුදා ක්‍රීඩා සමාජය…

හැව්ලොක් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ආරම්භ වූ මේ තරගය මුල සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර සත්කාරක හැව්ලොක් ක්‍රීඩාලෝලීන් අමදානන්දයට පත් කරමින් මීටර් 40ක් පමණ දුර සිට සාර්ථක දඬුවම් පහරක් එල්ල කරන්නට දුලාජ් පෙරේරා සමත් විය. කෙසේ වෙතත් හැව්ලොක් කණ්ඩායමේ හිරන්ත පෙරේරා හිතා මතාම පන්දුව අතින් ඉදිරියට යොමු කිරීම නිසා ඔහුට මිනිත්තු 10කට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. එම අවස්ථාවේ දී ලද දඬුවම් පහර ගෝලය වෙත එල්ල කරන්නට තිලිණ විජේසිංහ ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. (හැව්ලොක් 03 – 00 මහනුවර)

මිනිත්තු 6ක් ඇතුලත තම අසාර්ථක උත්සාහයට කණ්ඩායම වෙත සාධාරණය ඉටු කළ තිලිණ, මීටර් 25ක පමණ දුර සිට දර්ශනීය ඩ්‍රොප් ගෝලයක් ගෝල කණු අතරින් ඇදීයාමට සැලැස්වීය. එම අවස්ථාව මානසික අභිප්‍රේරණයක් බවට පත් කරගත් මහනුවර ක්‍රීඩකයන් තරගයේ පාලනය කෙමෙන් කෙමෙන් තම ග්‍රහණයට නතු කර ගනිද්දී හැව්ලොක් ෆුල් බැක් ක්‍රීඩක කෙවින් කුට්ටි අතින් සිදුවූ සුළු වරදක අවසන් ප්‍රතිඵලය වූයේ රිචඩ් ධර්මපාල මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමයි. මේ සමඟම හැව්ලොක් කණ්ඩායමේ ආධාරකරුවන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බවක් දක්නට ලැබුණු අතර ඔවුන්ගේ  බාධා කිරීම් හේතුවෙන් තරගය මද වෙලාවකට නතර කිරීමට ද සිදුවිය. තරගය නැවත ආරම්භ කිරීමත් සමඟ තිලිණ විජේසිංහ එල්ල කල ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (හැව්ලොක් 03 – 08 මහනුවර)

සත්කාරකයින් නැවතත් තම ආක්‍රමණය ආරම්භ කිරීමත් සමඟ ඔවුන්ට ලැබුණු දඬුවම් පහරක් ගෝල කණු අතරින් එල්ල කලේ රාහුල් ද සිල්වා විසිනුයි. මේ අනුව මහනුවර කණ්ඩායමේ ලකුණු වාසිය 2ක් දක්වා අඩු විය. රොෂාන් වීරරත්නගේ අනතුරුදායක ක්‍රීඩා විලාශය හේතුවෙන් කහ කාඩ්පතක් ලැබූවද පළමු අර්ධය අවසානය වනතෙක් ක්‍රීඩකයකුගේ අඩුව සමඟ වුවත් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා නොදීමට මහනුවර ක්‍රීඩකයන් වග බලා ගන්නා ලදී.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 06 – මහනුවර ක්‍රීඩා සමාජය 08

දෙවන අර්ධයේ දී මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද ගෝලය වෙත එල්ල කිරීමට තිලිණ විජේසිංහ අසමත් වුවත්, දමිත් දිසානායක ඔවුන්ගේ ලකුණු වාසිය වැඩි කලේ පිටියේ කෙලවර ප්‍රදේශයෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමිනුයි. අසීරු ඉලක්කයක් වූ එහි ප්‍රවර්තනයද තිලිණ විජේසිංහට සාර්ථක කර ගන්නට නොහැකි විය. (හැව්ලොක් 06 – 13 මහනුවර)

සත්කාරක කණ්ඩායමේ සන්තාපය තවත් තීව්‍ර කරමින් තම පැරණි කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ධනුෂ්ක රංජන් සමත් විය. එහිද ප්‍රවර්තනය අසාර්ථකයි. (හැව්ලොක් 06 – 18 මහනුවර)

හැව්ලොක් කණ්ඩායමට නැවත තරගයට අවතීර්ණ වීමේ බලාපොරොත්තුවක් ලබා දුන්නේ මහනුවර ආරක්ෂක පෙළ බිඳ දමමින් ඉදිරියට ඇදුනු නිශෝන් පෙරේරා විසිනි. ඔහු උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමඟ යලිත් ක්‍රීඩාලෝලීන් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් තරගයට බාධා එල්ල විය. මෙවර එම බාධා කිරීමෙන් හැව්ලොක් කණ්ඩායම සතුව තිබු ජවය ගිලිහී ඇති බවක් පෙනී ගියේ රාහුල් ද සිල්වා හට පහසු ප්‍රවර්තනයක් ගිලිහී යාම හේතුවෙනුයි. (හැව්ලොක් 11 – 18 මහනුවර)

මහනුවර කණ්ඩායම සතු ආදේශක ක්‍රීඩකයන්ගේ ප්‍රබලත්වය ප්‍රකාශ කරමින් ගයාන් වීරරත්න සහ ශ්‍රීනාත් සුරියබණ්ඩාර වැනි ක්‍රීඩකයන් පිටියට අවතීර්ණ වූ අතර හැව්ලොක් කණ්ඩායමට තරග ජයග්‍රහණය පිළිබඳව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් බිඳ දමා ගන්නට සිදු වුනේ, තරගයේ 76 වන මිනිත්තුවේ දී තිලිණ විජේසිංහ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කිරීමත් සමඟයි. (හැව්ලොක් 11 – 21 මහනුවර)

හැව්ලොක් ශූරතා බලාපොරොත්තුව බහාලූ මිනී පෙට්ටියට අවසන් ඇණයත් ගැසූ ශ්‍රීනාත් සූරියබණ්ඩාර අවසන් මිනිත්තුවේ දී තම තනි උත්සාහයෙන් පන්දුව ගෝල සීමාව පසුකර ගෙන යන්නට සමත් විය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක වුවත් ඒ වන විට තරග ජයග්‍රහණය මහනුවර කණ්ඩායමේ නම ඉදිරියෙන් සටහන්ව තිබූ අතර ඩයලොග් ලීග් රග්බි කිරුළේ සාඩම්බර හිමිකරුවන් ද ඔවුන් බවට පත්වීම වැළැක්වීමට නම් හාස්කමක් බඳු සිදුවීමක් සිදුවිය යුතු බව නම් නොඅනුමානය.

අවසන් ලකුණු තත්ත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 11 – මහනුවර ක්‍රීඩා සමාජය 26

ThePapare.com තරගයේ වීරයා: ෂෙහාන් පතිරණ (මහනුවර)


යුධ හමුදා වීර චාරිකාවට පොලිසියෙන් මාර්ග බාධකයක්

සති දෙකක් තුල ප්‍රබල ජයග්‍රහණ දෙකකින් උදම්ව සිටි යුධ හමුදා කණ්ඩායම නැවතත් පොළවට ඇද දැමූ පොලිස් ක්‍රීඩා සමාජය, මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට අරුමයක් නොවූ තවත් පෙරළිකාර ජයග්‍රහණයක් සනිටුහන් කරන්නට සමත් විය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති මේ තරගය පොලිස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 27 – 21 ක් ලෙසිනුයි.

මෙම තරගයේ මුල සිටම තම ආධිපත්‍ය පැතිරවීමට උත්සාහ ගත් පොලිස් ක්‍රීඩකයන් ලකුණු ලබා ගැනීම ආරම්භ කලේ රාජිත සන්සෝනි සාර්ථක කරගත් දඬුවම් පහරක් මගිනුයි. එම පීඩනය දිගටම රඳවා ගත් ඔවුන් තම වාසිය තවදුරටත් වර්ධනය කර ගත්තේ චාල්ස් ප්‍රවීන් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන් මග හැර යාමට සමත් වීමත් සමගයි. සන්සෝනි එම උත්සාහක දිනුමද සාර්ථකව ප්‍රවර්තනය කල පසු පොලිස් කණ්ඩායමේ වාසිය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය. (යුද හමුදාව 00 – 10 පොලිසිය)

කෙසේ වෙතත් සත්කාරකයින් නැවත තරගය වෙත ගෙන එන්නට සමත් වුනේ පසුගිය තරග දෙකේදීම යුධ හමුදා කණ්ඩායමේ වීරයා වූ අශෝක ජයලාල් වාර්තා කළ උත්සාහක දිනුමයි. තම සාර්ථක පා පහර යලිත් නොවැරදී එල්ල කල ගයාන් සාලින්ද ලකුණු පරතරය 3ක් දක්වා අඩු කරන්නට සමත් විය. (යුද හමුදාව 07 – 10 පොලිසිය)

යුධ හමුදාව තරගය තමන් යටතට ගැනීමට උත්සාහ ගත්තද ආරක්ෂක ක්‍රීඩකයන්ගේ නීති කඩ කිරීමක් සාර්ථක දඬුවම් පහරක් බවට පත් කරගත් රාජිත සන්සෝනි පොලිස් කණ්ඩායමේ වාසිය යලිත් ලකුණු 6ක් දක්වා වැඩි කරන ලදී. (යුධ හමුදාව 07 – 13 පොලිසිය)

මේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් යුධ හමුදා කණ්ඩායමේ ශක්තිය ගිලිහී ගිය අයුරක් දක්නට ලැබුණු අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් දනිල්ෂ දිසානායක දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කල අතර සන්සෝනි එවරද තම ඉලක්කය මනාව පවත්වා ගත්තේ පළමු අර්ධය අවසානය වන විට ලකුණු 13 ප්‍රශස්ත ලකුණු වාසියක් පොලිස් ක්‍රීඩා සමාජය වෙත හිමි කර දෙමිනුයි.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 07 – 20 පොලිසිය ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ කල යුධ හමුදා ක්‍රීඩකයන් පොලිස් ක්‍රීඩකයන්ගේ නිද්‍රාශීලීත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් අතර නායක මනෝජ් ද සිල්වා ගෝල කණු අතරින් රැගෙන ගිය පන්දුව පහසුවෙන් ප්‍රවර්තනය කලේ ගයාන් සාලින්දයි. (යුද හමුදාව 14 – 20 පොලිසිය)

මෙවර අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්වුණේ පොලිස් ක්‍රීඩා සමාජයයි. ඉතා දුර්වල අයුරින් පන්දුවේ අයිතිය අහිමි කරගත් ඔවුන් ආදේශක ක්‍රීඩක අරවින්ද කරුණාරත්න හට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. තෙවන වරටත් ගයාන් සාලින්දගේ ප්‍රවර්තනය සාර්ථක වුනේ තරගයේ පළමු වරට යුධ හමුදා කණ්ඩායමට ලකුණු පුවරුවේ වාසියද හිමි කර දෙමිනුයි. (යුද හමුදාව 21 – 20 පොලිසිය)

පිට පිට ප්‍රහාර දෙකකට ලක්වීමෙන් පසු නිදි ගැට හැරදා නැගී සිටි පොලිස් ක්‍රීඩකයන් වඩාත් අවධානයෙන් සහ කැපවීමෙන් යුතුව තරග වැදුණු අතර ඔවුන්ගේ නොපසුබට උත්සාහයට වටිනාකමක් හිමිවුණේ තරග අවසානයට මිනිත්තු 10ක් පමණ ඉතිරිව තිබියදී පොලිස් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩක පියුම් ජයසිංහ උත්සාහක දිනුමකින් තම දායකත්වය කණ්ඩායමට සැපයීමත් සමඟයි. 5 වන වරටත් රාජිත සන්සොනිගේ පාද ස්පර්ශය ලැබූ පන්දුව ගෝල කණු අතරින් ඇදී යන ලදි. (යුද හමුදාව 20 – 27 පොලිසිය)

අවසන් මිනිත්තු කිහිපය තුල පොලිස් ක්‍රීඩක උදාර සූරියප්පෙරුම හට කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුවත් ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කල පොලිස් භටයින් තම ගෝල සීමාව සහ ජයග්‍රහණය රැක ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 21 – 27 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: රාජිත සන්සෝනි (පොලිස්)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට