Dhananjaya De Silva

වසර ගණනාවක් පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය සඳහා පිතිකරුවෙකු තෝරා ගැනීම ඉතා සූක්ෂ්ම ක්‍රියාවලියක් හරහා සිදු කෙරුණු අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ අසීරුතම පිතිකරණ ස්ථානය වන මෙය සඳහා අවශ්‍ය ඉහල තාක්ෂණය සහ ඉවසීම ඇති පිතිකරුවෙක් සොයා ගත් විට ඔහු දීර්ඝ කාලීනව එම ස්ථානයේ ක්‍රීඩා කරන අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පුරාවටම දක්නට ලැබුණි.

පළමු ටෙස්ට් තරගයේ පරාජයට හේතුව මැතිව්ස් පැහැදිලි කරයි

මෙරට ටෙස්ට් ඉතිහාසයේ මුල් යුගයේදී එම වගකීම රෝයි ඩයස් විසින් ඉටු කළ අතර, පසුව  දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ අංක 3 ස්ථානයේ හිමිකරුවා වූයේ අසංක ගුරුසිංහයි. 1997 වසරේදී ගුරුසිංහ නොසිතූ ලෙස ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ නිත්‍ය අංක 3 පිතිකරුවෙක් සොයා ගැනීමට වසර 3ක් පමණ ගත වුවද, 21වන සියවස ආරම්භයත් සමඟ කුමාර් සංගක්කාරට ඒ සඳහා හිමිවූ අවස්තාව ඔහු දෝතින්ම පිළිගැනීමත් සමඟ වසර 15ක් පුරා අංක 3 ස්ථානයේ වගකීම ඉටු කරන්නට ඔහුට වඩා සුදුස්සෙක් නොවීය. සංගක්කාර යුගයෙන් පසු එම ස්ථානය සඳහා විවිධ අත්හදා බැලීම් සිදුවුවත් මේ වන විට පෙනී යන්නේ දිගු කාලීනව අංක 3 ස්ථානය සඳහා තෝරා ගනු ලැබූ ක්‍රීඩකයා අන් කවරකුත් නොව ධනංජය ද සිල්වා බවයි.

”මම හිතනවා තේරීම් කමිටුව ඔහු (ධනංජය) පිලිබඳ ඉතාමත් උනන්දුයි කියලා. ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ප්‍රාථමික අවධිය තුලදී පහල පිතිකරණ ස්ථානයක් ලබාදී තිබුනේ ක්‍රම ක්‍රමයෙන් ඔහුව ඉදිරිපෙළ පිතිකරුවෙක් බවට පත් කිරීමේ අරමුණ ඇතිවයි. කෙසේවෙතත් මේ අවස්ථාවේ අපිට ඇතිවී තිබෙන තත්ත්වය සහ අවශ්‍යතා අනුව සැලසුම් කළ කාලයට වඩා කලින් ඔහුට ඉදිරිපෙළ ස්ථානයක ක්‍රීඩා කරන්නට සිදුවෙයි.’‘ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්, කේප් ටවුන් නුවර නිවුලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

පෝට් එලිසබෙත් හීදී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ  අතර, උසස් ගණයේ වේග පන්දු බල ඇණියක් හමුවේ ඔහුගේ ක්‍රීඩා විලාශය එතරම් විශ්වාසය ඇතිකරන්නක් නොවීය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනසක් සඳහා අවශ්‍ය වාතාවරණයක් සකස්වී තිබේ.

”මේ තරග සංචාරයට පෙර අපේ පිතිකරණ ලැයිස්තුව කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව අපි තේරීම් කමිටුව සමඟ බොහෝ සාකච්ඡා සිදුකළා. සමහර විට අපිට හිතුනා මේ පිතිකරණ ස්ථාන වල ම ක්‍රීඩා කරන්න මෙම ක්‍රීඩකයන්ට තරමක කාලයක් ලබා දිය යුතුයි කියලා. එම සාකච්ඡා තවදුරටත් සිදුවෙනවා. කෙසේවෙතත් මෙවැනි තත්ත්වයන් යටතේදී තරමක් වෙනස් දෙයක් කරන්නත් අපේ අවධානය යොමු වෙලා තියනවා” ෆෝඩ් වැඩිදුරටත් පැවසීය.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තම ටෙස්ට් ආගමනය සනිටුහන් කළ ධනංජය ද සිල්වා, එතැන් පටන් දිගින් දිගටම ක්‍රීඩා කලේ අංක 7 ස්ථානයේ වන අතර එම ස්ථානයේදී ඉහල දස්කම් දක්වන්නට ද ඔහු සමත් විය. එබැවින් ධනංජයව පිතිකරණ ලයිස්තුවේ ඉහලට රැගෙන ඒම ඉතා අභියෝගාත්මක තීරණයක් වනු ඇත.

”ඔහු අංක 7 ස්ථානයේ ඉතා විශිෂ්ඨ අයුරින් ක්‍රීඩා කර තිබෙනවා. කණ්ඩායම අසරණ වුනු අවස්ථා කිහිපයකදී ඔහුට හැකි වුනා එම අවස්ථා වලින් කණ්ඩායම ගලවා ගන්නට. ඔහු පිතිකරුවන් අතුරින් අවසාන ස්ථානයේ සිටින නිසා ධනංජය පීඩනය සහිත අවස්ථා දරා ගන්න පුළුවන් ඉවසිලිවන්ත ක්‍රීඩකයෙක්. මේ අවස්ථාවේ අපි වැඩිපුර වේග පන්දු යවන්නෙක් භාවිත කරන නිසා කණ්ඩායමේ සංයුතිය සකස් වෙලා තිබෙන්නේ එක් පිතිකරුවෙක් අඩුවෙනුයි. එම නිසා ධනංජයට සිදුවෙලා තියෙනවා පසුපෙළ පිතිකරුවන් සමඟ ක්‍රීඩා කරන්න. එහි තිබෙන අවාසනාවන්ත තත්ත්වය තමයි ඔහු සමඟ කඩුල්ලේ රැඳී සිටින්නට කෙනෙක් නොමැති වීමේ අවදානමක් පැවතීම. ඔහු පෙන්වලා තිබෙනවා තමන්ට පිතිකරණ ලයිස්තුවේ ඉහල ස්ථානයක ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂනය සහ හැකියාව පවතින බව. ඇත්තෙන්ම පිතිකරණ ලයිස්තුවේ ඉහල තැනක ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබීමත් සතුටට කරුණක්”

ධනංජය ද සිල්වා දේශීය අන්තර් සමාජ තරග වලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන අතර ග්‍රැහැම් ෆෝඩ් පවසන්නේ ධනංජය හට වෙනස් පිතිකරණ ස්ථානයකට හැඩගැසීමේ හැකියාව පවතී යැයි තමන් විශ්වාස කරන බවයි. ” ඔහුගේ මානසික ශක්තිය අතින් බලන කල අපි දැක්කා ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20කට කඩුලු 5ක් දැවී සිටි අවස්ථාවේ පිටියට පැමිණි ධනංජය කෙතරම් හොඳින් ක්‍රීඩා කළාද යන වග. ඔහු දැඩි පීඩනයක් යටතේ ක්‍රීඩා කල අවස්ථා ගණනාවක් අපි දැක තිබෙනවා, ඔහු කෙතරම් හොඳින් එම අවස්ථා කළමනාකරණය කළාද කියලා. ඒ වගේම අපි දැකලා තිබෙනවා ඔහු දෙවන නව පන්දුව ලබා ගන්නා අවස්ථා රැසකදී ඊට හොඳින් මුහුණ දෙන ආකාරය. අපි දන්නවා ඔහුගේ තාක්ෂණයේ තිබෙන නිවැරදි භාවය. අපි දන්නවා ඔහු දේශීය තරග වලදී ක්‍රීඩා කර ඇති ආකාරය. මේ යෞවනයා සතුව හොඳ ගුණාංග (හැකියාවන්) රැසක් පවතිනවා” පුහුණුකරු ෆෝඩ් පවසයි.

”කොහොම වුනත් අපිට අවශ්‍ය නැහැ ඔහුට දරාගන්න බැරි තරමේ පීඩනයක් යොදවන්න. ඔහු තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ ආධුනික අවධියේ සිටින ක්‍රීඩකයෙක්. ඔහු ආධුනිකයෙක් විදිහට ඉතාමත් සාර්ථකයි. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඔහුව පුළුවන් තරම් හොඳින් කළමනාකරණය කිරීමයි.” ග්‍රැහැම් ෆෝඩ් වැඩිදුරටත් පවසයි.

මේ අතර අද (2) ආරම්භ වන තරගයේදී ධනංජය පිතිකරණ ලයිස්තුවේ ඉහලට ගෙන ගියහොත් කුසල් ජනිත් හට අංක 7 ස්ථානය දක්වා පහතට පැමිණීමට සිදුවනු ඇති. එසේ නොවුනහොත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩක උපුල් තරංග අංක 7 පිතිකරු ලෙස කණ්ඩායමට කැඳවීම ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු තවත් විකල්පයකි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට