ක්‍රිකට් හදපු ඉංග්‍රීසීන්ට ටිකට් බෙදන්න බැරි වෙයි

224

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තයේ දීයි. කෙසේ නමුත් ක්‍රිකට් ගහනවා තරම් පහසුවෙන් ටිකට් බෙදන්නට නම් බැරි බව මේ වන විට ලෝක කුසලාන තරගාවලි සංවිධායකයන්ට තේරුම් ගොස් තිබේ. ටිකට් අර්බුදය කෙතරම් දුර දිග ගොස් ඇති ද යන්න කියතොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුව තිබෙන්නේ ක්‍රීඩාලෝලීන්ට ප්‍රවේශ පත්‍ර සඳහා ගෙවූ මුදල් ආපසු ලබා දීමටයි.

වට්මෝර්ගේ නමට ලියවුණු අමුතු වාර්තාව

ඩේව් වට්මෝර් 1996 ලෝක කුසලානය දිනා ගැනීම…

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අර්බුදය ආරම්භ වුණේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති මෙවර තරගාවලියේ ආරම්භක තරගයේ සිටයි. ලෝක කුසලානයේ පළමු පන්දුවේ පටන් පියවි ඇසින් දැක ගන්නට පැමිණි ක්‍රීඩාලෝලීන් පිරිසකට එංගලන්තයේ පළමු කඩුල්ල දැවී යන ආකාරය හෝ දැක ගන්නට හැකි වුණේ නැත. ඒ ප්‍රවේශ පත් මුද්‍රණය කර ක්‍රීඩාලෝලීන් වෙත ලබා දීමට කාලය ගත වීම නිසා ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා දිගු පෝලිම් පැවතීමයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලවි කිරීම ප්‍රධාන වශයෙන් සිදු වූයේ අන්තර්ජාලය හරහායි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට ක්‍රීඩාලෝලීන් හට හැකියාව ලබා දී තිබුණි.

සාමාන්‍ය වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක් ස්ටර්ලිං පවුම් 20ක (ශ්‍රී ලංකා රුපියල් 4500ක් පමණ) සිට 220 (ශ්‍රී ලංකා රුපියල් 49,000ක් පමණ) දක්වා මිල ගණන් නියම වී තිබෙන අතර බොහෝ තරග සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍ර විකිණී අවසන්ව තිබේ. මෙම ප්‍රවේශ පත්‍රවලට අමතරව ක්‍රීඩාංගණ වල පිහිටා ඇති විශේෂ පර්යන්ත සඳහා වන ආහාර පාන සහ විශේෂ පහසුකම් සහිත පැකේජ සඳහා වන ප්‍රවේශ පත්‍ර ඊටත් වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි වෙමින් පවතී. උදාහරණයක් ලෙස ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ මේ වන විට ඉතිරි වී ඇති විශේෂ පර්යන්ත ප්‍රවේශ පත්‍ර අතුරින් සමහරක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 230,000ක් පමණ මිල නියම වී තිබේ.

මෙසේ තරගවලට කලකට පෙර මිල දී ගන්නා ප්‍රවේශ පත්‍ර ඒවායේ හිමිකරුවන් වෙත තැපැල් මගින් යැවීම ලෝක කුසලාන සංවිධායකයන් කටයුතු යොදා තිබූ වැඩ පිළිවෙළ විය. එසේ ප්‍රවේශ පත් නොලැබෙන ගනුදෙනුකරුවන්ට ප්‍රවේශ පත් සඳහා අන්තර්ජාලය හරහා මුදල් ගෙවූ බවට ලැබෙන රිසිට් පත් පෙන්වා ක්‍රීඩාංගණ පිවිසුමේ දී සිය ටිකට් පත මුද්‍රණය කරවා ගැනීමට හැකියාව ලබා දී තිබුණි.

කෙසේ වෙතත් තරගාවලියේ ආරම්භක තරගය සඳහා ප්‍රවේශ පත්‍ර මිල දී ගත් ක්‍රීඩාලෝලීන් අතුරින් ක්‍රීඩාංගණයට පැමිණ ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කර ගනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වූ පිරිස මෙන් තුන් ගුණයක් ක්‍රීඩාලෝලීන් එම පහසුකම ලබා ගැනීමට පැමිණීම හේතුවෙන් පළමු තරගයේ දී ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා දිගු පෝලිම් ඇතිවූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් තරගයේ පළමු පන්දුවාර කිහිපය අමතක කර දමන්නට ඇතැම් ක්‍රීඩාලෝලීන්ට සිදු විය.

මේ තත්ත්වය පාලනය කර ගන්නට සංවිධායකයන් ඉක්මන් පියවර ගනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන සිටියත්, තරගාවලියේ දෙවන තරගය වූ පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය නැරඹීමට නොටිංහැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩාලෝලීන්ට සිදු වුණේ වඩාත් බරපතළ අකරතැබ්බයකට මුහුණ දෙන්නටයි. මේ තරගයේ දී ප්‍රවේශ පත්‍ර ගැටලුව විසඳන්නට තරගය ආරම්භ වීමෙන් පසුවත් පැය දෙකකට ආසන්න කාලයක් ගත විය.

එම ප්‍රමාදයට ලක්වූ පිරිස අතර සිටි පකිස්තානු ක්‍රීඩාලෝලීන් නම් ඇතැම් විටෙක තරගයේ එම කොටස නොදකින්නට සැලැස්වීම පිළිබඳ සංවිධායකයන්ට යටි සිතින් ස්තුති කරනවා වන්නට ද බැරි නැත. කෙසේ වෙතත් මේ අකරතැබ්බයට මුහුණ දුන් බොහෝ දෙනෙකුට පන්දුවාර විසි ගණනක දී අවසන් වූ පකිස්තානු ඉනිමේ එකදු පන්දුවක් හෝ දැකගන්නට අවස්ථාව ලැබී තිබුණේ නැත. ප්‍රේක්ෂකාගාරයට පිවිසීමෙන් අනතුරුව ද කොදෙව් පිතිකරුවන්ගේ ගිනිකෙලි පිරුණු පන්දුවාර 13ක් පමණක් නරඹා ආපසු යන්නට සිදු වූ ක්‍රීඩාලෝලීන් තමන් වියදම් කළ මුදලට සාධාරණයක් ඉටු නොවීම පිළිබඳ සංවිධායකයන්ට දෙස් දෙවොල් තබන්නට ඇත.

කෙසේ වෙතත් සංවිධායකයන්ගේ වැරදි වෙනුවෙන් ක්‍රීඩාලෝලීන්ට වන්දි ගෙවන්නට ඉදිරිපත් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන්නේ ට්‍රෙන්ට් බ්‍රිජ් තරගයේ දී ක්‍රීඩාංගණයට ඇතුළු වීම ප්‍රමාද වූ අයගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව නැවත ඔවුන්ට ගෙවීමටයි. බ්‍රිතාන්‍ය වේලාවෙන් තරගය ආරම්භ වූ පෙරවරු 10.30 වන විටත් ක්‍රීඩාංගණයෙන් පිටතට වී සිටින්නට සිදුවීම නිසා සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව නැවත ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති පිරිස 1000කට අධික බවයි වාර්තා වන්නේ.

තරගාවලිය ආරම්භයේ දී ම සිදු වූ මෙම ලැජ්ජා සහගත සිදුවීම් පිළිබඳ සංවිධායකයන් අතිශයින් කම්පාවට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කළමනාකාර අධ්‍යක්ෂ ස්ටීව් එල්වර්ති මහතා පවසන්නේ රටවල් 120ක ක්‍රීඩාලෝලීන් ලක්ෂ 7කට අධික පිරිසක් වෙත තැපැල් මගින් යොමු කළ ටිකට් පත් වලින් කොටසක් අදාළ පුද්ගලයන් වෙත නොලැබීම පිළිබඳ තමන් අතිශයෙන් කනගාටුවට පත් වන අතර ප්‍රවේශ පත්‍ර ගාස්තුව නැවත ලබා දීම හැර එමගින් අපහසුතාවට පත් වූ ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව අයදින්නට තමන්ට වෙනත් ක්‍රමයක් නොමැති බවයි.

එමෙන්ම මේ වන විට සිය ප්‍රවේශ පත්‍ර නිවසේ දී ම මුද්‍රණය කර ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව සලසා දෙන්නට තරගාවලි සංවිධායකයන් පියවර ගෙන තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<