ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා, අදියර දෙකකින් යුත් පූර්ව වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමත් ඉන්දියාවේ මෝහන් බගාන් පාපන්දු කණ්ඩායමත් අද (31) තුරඟ තරග පිටියේදී තරග වැදුණු අතර ඉන් ගෝල 2-1ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ආගන්තුකයෝ සමත් වූහ.

මෝහන් බගාන්ට එදිරිව කොළඹ පාපන්දු සමාජය

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරඟාවලියේ පූර්ව සුදුසුකම් ලැබීමේ වටය ජනවාරි 31 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇත. ඒ වටය සඳහා සුදුසුකම් ලැබූ කොළඹ පාපන්දු සමාජය..

ඉන්දියානු පාපන්දු ලීගයේ ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සැලකෙන මෝහන් බගාන් පාපන්දු කණ්ඩායම නොපැතූ අභියෝගයක් කොළඹ පාපන්දු සමාජය වෙතින් එල්ලවූ අතර ප්‍රථම අර්ධයේදී ගෝල 1-1ක් ලෙස සම තත්වයේ පසුවූ තරගය, දෙවන අර්ධයේදී තමා වෙත හරවා ගැනීමට මෝහන් බගාන් ක්‍රීඩකයින්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

තරගයේ තෙවන මිනිත්තුවේදීම කොළඹ කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත විශ්වාසයක් ඇති කිරීමට සමත් වූ අෆීස් ඔලායෙමි, පන්දුව සාර්ථකව ඉදිරියට ගෙනගොස් ගෝලය වෙත එල්ල කළද මෝහන් බගාන් ගෝල රකින්නා වන ෂිල්ටන් පෝල් එය සාර්ථකව නවතා ගන්නා ලදී.

තරගයේ 10 වන මිනිත්තුවේ පටන් පන්දුව තමා යටතේ තබාගෙන ක්‍රීඩා කිරීමට මෝහන් බගාන් ක්‍රීඩකයන් උත්සාහ කළ අතර එය සාර්ථක කරගනිමින් 13 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේ කීන් ලුවිස් ය. පසුව 17 සහ 19 වැනි මිනිත්තුවලදී ද කොළඹ ආරක්ෂකයින් අභියෝගයට ලක්කළ මෝහන් බගාන් කණ්ඩායමේ නායක කට්සුමි යූසා ප්‍රමුඛ ක්‍රීඩකයින් ආක්‍රමණයෙහි නියැලුණේය.

22 වැනි මිනිත්තුවේ සිට නැවතත් සිය විශ්වාසය ගොඩනගා ගනිමින් ඉදිරියට එන්නට කොළඹ කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් වූ අතර ෂිල්ටන් පෝල් කිහිපවරක්ම පන්දුව නවතාගත්තේය. නමුත් 30 වැනි මිනිත්තුවේදී ඉදිරියට යන්නට වූ අෆීස් ඔලායෙමිව වළකාගන්නට පෝල් අසමත් වූ බැවින් කොළඹ කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම හා සම මට්ටමට පැමිණියේය.

ප්‍රබීර් දාස්, 35 වැනි මිනිත්තුවේදී කොළඹ කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් ඉදිරියේ තනිව පන්දුව සහිතව සිටි නමුත්, ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාව මෝහන් බගාන් ක්‍රීඩකයන්ට අහිමි විය. පසුව ප්‍රතිආක්‍රමණයෙහි යෙදුණු කොළඹ ක්‍රීඩකයන් කිසිසේත්ම ඉන්දියානු ක්‍රීඩා සමාජය හමුවේ නොසැලෙන වගක් පෙන්නුම් කළේය. ආරම්භක නාමාවලියට ඇතුළත් නොවූ ජෙජේ ලාල්ෆෙක්ලුවා මෝහන් බගාන් වෙනුවෙන් පිටියට ආදේශ කළද කිසිදු වෙනසක් සිදුනොවී ප්‍රථම අර්ධය අවසන් විය.

ප්‍රථම අර්ධය: මෝහන් බගාන් ක්‍රීඩා සමාජය 1-1 කොළඹ පාපන්දු සමාජය

ශ්‍රී ලාංකික පාපන්දුලෝලීන් හට අළුත් බලාපොරොත්තුවක් එක්කරමින් කොළඹ පාපන්දු කණ්ඩායම දෙවන අර්ධය සඳහා පිටියට පිවිසියේය.

තරගයේ 49 වැනි මිනිත්තුවේදී සර්වාන් ජොහාර් හට මනා පන්දු යොමුවක් හිමිවූ අතර එය ඩිලාන් කෞෂල්‍ය හට සාර්ථකව යොමුකරගැනීමට නොහැකිවීමෙන් ගෝලයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාවක් කොළඹ ක්‍රීඩකයින් අතින් ගිලිහුණි.

ඩැරල් ඩෆී, තරගය පුරාම පන්දුව ලබාගත් අවස්ථාවලදී තර්ජනාත්මකව කොළඹ ක්‍රීඩකයින් අභියෝගයට ලක්කළ නමුත්, අවසන් කිරීම් සාර්ථක නොවීය. කොළඹ කණ්ඩායමේ මොමාස් යාපෝ හට කහ කාඩ්පතක් හිමිවූයේ කට්සුමි යූසා අභියෝගයට ලක්කිරීම වෙනුවෙනි.

62 වැනි මිනිත්තුවේදී කොළඹ ක්‍රීඩක නාගුර් මීරා හට ගෝලයක් වාර්තා කිරීමට අගනා අවස්ථාවක් උදාවූවත්, ඔහු සාර්ථක වූයේ නැත. ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩක ඊ.බී. චන්න, කොළඹ කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසියේ නරඹන්නන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ය. 67 වැනි මිනිත්තුවේදී මෝහන් බගාන් කණ්ඩායමේ බික්‍රම්ජිත් සිං හට කහ කාඩ්පතක් නියම විය.

එතෙක් සම තත්වයේ පැවති තරගය 2-1ක් ලෙස මෝහන් බගාන් කණ්ඩායම වෙත පවරාගත් සනෝජ් සිං එල්ල කළ වේගවත් පහරකින් ගෝලයක් වාර්තා විය. පසුව මොහොමඩ් රිෆ්නාස්, පිටිය වෙත ආදේශ කළ අතර ඔහු 82 වැනි මිනිත්තුවේදී මෝහන් බගාන් ගෝලය වෙත පහරක් එල්ල කළත්, එය ගෝලයේ දකුණු කෙළවරට එපිටින් ඇදී ගියේය.

අනතුරුව 3800කට අධික ප්‍රේක්ෂක ජනකායක් මැද පැවති තරගය ජයගැනීමට කොළඹ පාපන්දු කණ්ඩායම කෙතරම් උත්සාහ දරූවත්, ඒ සියල්ල ව්‍යර්ථ වූයේ ඉන්දියාවේ කල්කටා හිදී පැවැත්වෙන දෙවන අර්ධයේදී ගෝලයක් පසුපසින් තරගය ආරම්භ කිරීමේ අභියෝගය කොළඹ පාපන්දු සමාජයට හිමිකර දෙමිනි.

සම්පූර්ණ කාලය: මෝහන් බගාන් ක්‍රීඩා සමාජය 2-1 කොළඹ පාපන්දු සමාජය

ගෝල රැස්කළ ක්‍රීඩකයින්.

  • කොළඹ පාපන්දු සමාජය – අෆීස් ඔලායෙමි 30′
  • මෝහන් බගාන් – කීන් ලුවිස් 13′, සනෝජ් සිං 70′

කහ කාඩ්පත්.

  • කොළඹ පාපන්දු සමාජය – මොමාස් යාපෝ 57′
  • මෝහන් බගාන් – බික්‍රම්ජිත් සිං 67′