බැඩ්මින්ටන් ක්‍රීඩාවේ රෆායෙල් නඩාල් මාධ්‍යයට කතා කරයි

1316
Carolina Marín, campeona de Europa y del mundo en la modalidad individual femenino de badminton, posa para una entrevista Lleva vestido de Hoss Intropia

බැඩ්මින්ටන් ක්‍රීඩාව බොහෝ දෙනෙකු විසින් යොදාගන්නේ විනෝදයට වුවත්, එය ඉතාම තරගකාරී ක්‍රීඩාවක්. වත්මන් බැඩ්මින්ටන් ලෝක ශූරිය මෙන්ම ඔලිම්පික් ශූරිය ද වන ස්පාඤ්ඤයේ කැරොලිනා මරීන් ද ක්‍රීඩාව ආරම්භ කොට ඇත්තේ විනෝදයටයි. එහෙත් ලොව ශ්‍රේෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩිකාව වන්නට සිහින දකින ඇයට තවදුරටත් එය විනෝදාංශයක් නොවේ.

පසුගිය අගෝස්තු මාසයේ දී ඇය ලෝක ශූරතාවය තෙවරක් ජය ගත් පළමු බැඩ්මින්ටන් ක්‍රීඩිකාව බවට පත්වූවාය. ඒ 2014, 2015 සහ 2017 බැඩ්මින්ටන් ලෝක ශූරතා තමන් සතුකර ගැනීමත් සමඟයි. ලොව ශ්‍රේෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස සැලකෙන චීනයේ ලින් ඩෑන් ඔලිම්පික් රන් පදක්කම දෙවරක් සහ ලෝක ශූරතාවය 5 වරක් දිනාගෙන තිබෙනවා.

මට ඕන ඉතිහාසයේ හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩිකාව වෙන්න.” ඇය සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කොට තිබුණි.

ඒක කියන්න නම් ඉතාම පහසුයි. නමුත් ඒක ඇත්ත වශයෙන්ම කරන්න අපහසු දෙයක් වේවි. ඒක ලබාගන්න මම ඕනෑම දෙයක් කරන්න සූදානම්.”

තව එක ඔලිම්පික් පදක්කමක් සහ අඩුම වශයෙන් ලෝක ශූරතා දෙකක් දිනාගන්න තියෙනවා නම් මම කැමතියි.” ඇය තවදුරටත් කියා තිබුණි.

ඇය වමත් ක්‍රීඩිකාවකි

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ රෆායෙල් නඩාල්” ලෙස හැඳින්වෙන මරීනා වමත් ක්‍රීඩිකාවකි. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ආසියානු ආධිපත්‍යය බිඳ දමන්නට ඇය සමත් වුනේ 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී ඉන්දියානු ක්‍රීඩිකා P. V. සින්ධු පරාජය කරමිනි. වසර 20ක කාලයක් තුළ යුරෝපයට ලැබුණු පළමු ඔලිම්පික් බැඩ්මින්ටන් පදක්කම ලෙස එය සටහන් විය. එමෙන්ම 1992 වසරේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට හඳුන්වා දීමෙන් පසු යුරෝපයට ලැබුණු දෙවැනි ඔලිම්පික් බැඩ්මින්ටන් රන් පදක්කම එයයි. එහෙත් පාපන්දු ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුලන ස්පාඤ්ඤය තුළ ලෝක ශූර බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක බිහිවීම තරමක් වෙනස් පුවතක් විය.

බැඩ්මින්ටන් ස්පාඤ්ඤය තුළ එතරම් ප්‍රසිද්ධ නෑ. මම බැඩ්මින්ටන් ක්‍රීඩා කළේ විනෝදාංශයක් වශයෙන්. ලෝක ශූරියක් වෙන එක ගැන මම එච්චර හිතුවේ නෑ.” ඇය කියයි.

වයස අවුරුදු 14 දී ජාතික බැඩ්මින්ටන් මධ්‍යස්ථානයට යන්න පටන් ගනිද්දී මම හිතුවා මම කවුරු වෙයි ද කියලා. බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්, මට ඕන වුනේ ලෝකයේ හොඳම ක්‍රීඩිකාව වෙන්න.”

මට වචනවලින් කියන්න බැරිවෙන්න පුළුවන්. ඒක පැහැදිලි කරන්නම බැරි තරම්. මගේ හීනය සැබෑ කරගන්න මට සෑහෙන උත්සාහයක් දරන්න සිදු වුනා. මට කැපකිරීම් රාශියක් කරන්න සිදු වුනා. ඒක ඉතාම-ඉතාම අපහසුයි.”

2016 ඔලිම්පික් පදක්කමින් පසුව ඇයට ආබාධ කිහිපයකට මුහුණ දීමට සිදු විය. දැනට ඇගේ දකුණු පාදයේ වළලුකර ආබාධයක් පවතියි. බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් හොඳම 15දෙනා තරගවාරයක දී තරගාවලි 12කටවත් සහභාගී විය යුතුය යන ලෝක බැඩ්මින්ටන් සම්මේලන නීතිය ගැන ඇය දරන්නේ මෙවන් මතයකි.

මම හිතන්නේ ඔවුන් (ලෝක බැඩ්මින්ටන් සම්මේලනය) ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන වැඩියෙන් සිතිය යුතුයි, මොකද ඔවුන් තමයි ඕනෑම සංගමයකට තිබෙන ප්‍රධානම දේ.”

ඔවුන් අවුරුද්දකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගොඩක් තරගාවලි වල ක්‍රීඩා කරන්නට බල කරන විට අපට ඒක කරන්න බැහැ. අපි රොබෝලා නෙමෙයි, මිනිස්සුනේ. ඉතින් අපට ක්‍රීඩා කරන්න බල කරන විට සමහර වෙලාවට අපි ආබාධවලට ලක්වෙනවා. අපි ආබාධවලට ලක්වෙලා ක්‍රීඩා නොකර හිටියත් අපට දඩයක් ගෙවන්න සිදු වෙනවා.”

ඇගේ මව්රට තුළ බැඩ්මින්ටන් ක්‍රීඩාව එතරම් ප්‍රචලිත නැති වුවත්, ඇගේ ඔලිම්පික් පදක්කමින් පසුව බොහෝ දරුදැරියන් බැඩ්මින්ටන් පිති අතට ගෙන ක්‍රීඩා කරන්නට පටන් ගෙන ඇති බව සතුටුදායක පුවතකි. එහෙත් ඇය වැනි තවත් ක්‍රීඩිකාවක බිහිවෙන බවට ඇය තුළ විශ්වාසයක් නැත.

i.avoz.es – “තවත් කැරොලිනා මරීන් කෙනෙක් බිහිකරන්න එච්චර ලේසි නෑ.”

තවත් කැරොලිනා මරීන් කෙනෙක් බිහිකරන්න එච්චර ලේසි නෑ.” ඇතැම් විට ඇය පවසනවා ඇත්තේ උපන් හැකියාව සහ ඇගේ කැපවීම ගැන විය යුතුය.

මා තුළ මාව විශේෂ කරන, උත්සාහවත් කරන, සිහින දිනා ගැනීමට සටන් කරන, චරිතයක් ජීවත් වෙනවා.” ආසියාවට තනිව අභියෝග කරන යුරෝපියානු බැඩ්මින්ටන් ශූරිය අවසන් වරට පවසා තිබුණේ එලෙසයි.

– රොයිටර් ඇසුරින්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට<<