සාන්ත තෝමස් පිතිකරුවන් රාජකීය ප්‍රථම ඉනිම සම කරයි

582

වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන මහා ක්‍රිකට් උත්කර්ෂයක අසිරිය විඳ ගැනීමේ අරමුණින් අද (10) කොළඹ SSC පිටියට රැස්වූ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේ සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, රාජකීයයන් මුල් ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 255ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගන්නට සමත් විය. කෙසේ වෙතත් අයහපත් ආලෝක තත්වය නිසාවෙන් 138වැනි නිල් මහ සටනේ තීරණාත්මක දෙවැනි දිනයේදී ක්‍රියාත්මක කල හැකි වූයේ පන්දුවාර 61යි පන්දු 3ක් පමණි.

කළණගේ වේගය ඉදිරියේ රාජකීයයන් පසු බසියි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටයින් රැසක් දායාද කර ඇති කීර්තිමත් පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 138වැනි පාසල් මහා ක්‍රිකට් තරගය…

අද උදෑසන 9.45ට පමණ තරගය ආරම්භ කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 33ක් ලබාසිටි තෝමසුවන් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 127ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගුවේ රාජකීය පන්දු යවන්නන්ට දැඩි තර්ජනයක් එල්ල කරමිනි. රවිඳු කොඩිතුවක්කු ලකුණු 51ක් ලබා සිටියදී ලබා දුන් උඩපන්දුව පසිඳු සූරියබණ්ඩාර අතින් ගිලිහී යාම රාජකීය විද්‍යාලය තවත් පියවර පසුපසට ඇද දැමීමට ප්‍රමාණවත් විය. අවසානයේ දිවා විවේකයට සුළු මොහොතක් ඉතිරිව තිබියදී රාජකීය විද්‍යාලයේ වේග පන්දු යවන ක්‍රීඩක හිමේෂ් රාමනායක මෙම දැවැන්ත සබඳතාවයට තිත තබමින් ලකුණු 35ක් රැස් කරගෙන සිටි දුලිත් ගුණරත්නව නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

දිවා විවේකයෙන් අනතුරුව තරගය ආරම්භ වී පන්දුවාර කිහිපයක් ගතවෙද්දී ඉතාමත් ප්‍රශංසනීය ඉනිමක් ක්‍රීඩා කරමින් තම ශතකය ආසන්නයටම ලඟා වී සිටි රවිඳු කොඩිතුවක්කු ගලි කලාපයේ පන්දු රැකි ගනිඳු සන්දීප අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේ තම විද්‍යාලය වෙනුවෙන් වාර්තා වන ශතකයක මිහිර විඳින්නට සිටි තෝමස් ප්‍රේක්ෂකාගාරය මොහොතකට නිහඬ කරමිනි. දැකුම්කළු හතරේ පහර 14ක් සහ හයේ පහරක් තම ඉනිම තුල අන්තර්ගත කරමින් ලකුණු 98ක් රැස්කල ඔහු හිස පහතට හරවාගෙන නැවත ක්‍රීඩාගාරයට පියමන් කරන විට රාජකීය විද්‍යාලයේ ක්‍රීඩකයින් ඔහු වෙතට පැමිණ සුබ පතමින් ඔහුව සැනසීම විද්‍යාල දෙක අතර සහෝදරත්වයේ යදම් වැල කෙතරම් ශක්තිමත් ද යන්න විශිෂ්ට අයුරින් නිරූපණය වූ අවස්ථාවක් බවට පත්විය.

[rev_slider dfcc728]
.

රවිඳුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි දකුණත් පිතිකරු දිනුර ගුණවර්ධන ලකුණු 16ක් ලබා සිටියදී ගනිත් සන්දීපගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඩෙලෝන් පීරිස්ගේ ඉනිම ද අද ලකුණු 3කට සීමාවිය. එම ඉක්මන් කඩුලු දෙක හේතුවෙන් සාන්ත තෝමස් ප්‍රථම ඉනිම පන්දුවාර 52ක් ගතවෙද්දී සටහන් වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් වශයෙනි. නමුත් ඉනිම නැවත ගොඩ නැගීමේ කාර්‍යයට උරදුන් කඩුලු රකින පිතිකරු සිතාර හපුහින්න සහ තෝමස් නායක රොමේෂ් නල්ලපෙරුම පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක නොබිඳුණු සබඳතාවයක් පවත්වමින් තෝමස් ලකුණු පුවරුව රාජකීය ප්‍රථම ඉනිම හා සම කරවීමට සමත් වූහ. සිතාර මේ වනවිට හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 54ක් ලබා සිටින අතර රොමේෂ් අනෙක් අන්තය රැක ගනිමින් ලකුණු 32ක් ලබා සිටියි.

කෙසේ වෙතත් දිනය නිමාවීමට පැය 2ක් පමණ ඉතිරිව තිබියදී SSC ක්‍රීඩාංගණයට අඳුර ගලා ආ බැවිනි තරගය නතර කිරීමට සිදුවූ අතර නැවතත් අද දිනය සඳහා තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැත. හෙට උදෑසන 9.30ට නිල් මහ සටනේ 138වැනි අදියරේ තුන්වැනි දිනයේ අසිරිය විඳින්නට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවන අතර දිනය පුරාවට පන්දුවාර 113ක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නිසා ගිය වසරේ මෙන් කුතුහලය දනවන උණුසුම් අවසානයක් දැකබලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදාවීමට ඉඩ ඇත.

රාජකීය විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 71.3): රෝනුක ජයවර්ධන 32, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, හිමේෂ් රාමනායක 41, ගනිත් සන්දීප 42, කළණ පෙරේරා 5/47, පවිත් රත්නායක 2/69.

සාන්ත තෝමස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 255 (පන්දුවාර 72): රවිඳු කොඩිතුවක්කු 98, දුලිත් ගුණරත්න 35, සිතාර හපුහින්න 54*, රොමේෂ් නල්ලපෙරුම 32*, හිමේෂ් රාමනායක 2/57, ගනිත් සන්දීප 1/47, මනුල පෙරේරා 1/37.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට