කටාර් ජාතික කණ්ඩායම වසර 12ක් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයා

1357
Batticaloa District head cricket coach

ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් සමඟ සංසන්දනය කිරීමේ දී ජාතික කණ්ඩායමේ හෝ පළමුපෙළ ක්‍රීඩා සමාජවල නැගෙනහිර පළාතේ ක්‍රීඩකයින්ගේ දායකත්වය සාපේක්ෂව අඩු මට්ටමක පවතී.

නමුත් නැගෙනහිර පළාතෙන් පවා ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් ජාතික තලයට යන දවස වැඩි ඈතක නොවන බව පැහැදිලි වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වන විට ඇති වී තිබෙන නව පිබිදීම නිසාවෙනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පෙම් ස්වරය – ප්‍රේමසර ඈපාසිංහ

ශ්‍රී ලාංකේය ක්‍රිකට්ලෝලීන්ට ගුවන් විදුලිය හරහා ක්‍රිකට් මවා දුන් ජීවී කට හඬක උරුමකරුවා ප්‍රේමසර ඈපාසිංහ..

එවන් පසුබිමක මඩකලපුව ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට  මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මෙන්ම කටාර් ජාතික කණ්ඩායමට වසර 12ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වන පී. කේ. අන්වර්ඩීන් සාකච්ඡාවක් සිදු කිරීමට ThePapare.com අපට හැකි විය.

ප්‍රශ්නය – මුලින්ම ඔබ පිළිබඳව හැඳින්වීමක් කරොත්.

මම දකුණු ආසියාවේ වරාය නගරයක් වන හම්බන්තොට ප්‍රදේශයේ ඉපදුණ කෙනෙක්. හම්බන්තොට සහිරා ජාතික පාසලෙන් තමයි අධ්‍යාපනයට අත්පොත් තිබ්බේ.

ප්‍රශ්නය – ඔබ ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ ආකාරය ගැන සඳහන් කළොත්.

මුලින්ම මම පාසලේ 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඊට පස්සේ 15න්, 17න්, 19න් පහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළා. ඊට පස්සේ 1987 අපේ පාසල් ක්‍රීඩා පිටියේ පැවති අන්තර් පාසල්  ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කළා. 1989 මම අපේ පාසලේ 15න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත් වුනා. ඊට පස්සේ 17න් හා 19න් පහළ කණ්ඩායම් ශූරයින් බවට පත්වන තෙක් කණ්ඩායමට මගේ නායකත්වය ලබා දුන්නා. ඒ හේතුවෙන් අපේ පාසල ශ්‍රේණිගත කිරීම්වල තුන්වන කොටසේ ඉඳලා දෙවන කොටස දක්වා ඉදිරියට ආවා.

ප්‍රශ්නය – පාසල් ක්‍රිකට්වලින් පසුව ඔබේ ක්‍රිකට් ජීවිතයේ වෙනසක් ඇති වුනා ද?

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පස්සේ මට ශ්‍රී ලංකාවේ පළමුපෙළ ක්‍රිකට් සමාජයක් වන මුවර්ස් ක්‍රීඩා සමාජයේ 23න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වුනා. මම ඒ කණ්ඩායමේ ටික කාලයක් ක්‍රීඩා කළා. ඊට පස්සේ කටාර් රාජ්‍යයේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න වරමක් ලැබුණා.

මම කටාර් ජාතික කණ්ඩායමේ වසර 12ක් පමණ ක්‍රීඩා කළා, ඒ විතරක් නෙවෙයි වසරක කාලයක් කණ්ඩායමේ නායකත්වයත් දැරුවා. කටාර් ජාතික කණ්ඩායම නියෝජනය කරන කාලේ ආසියානු ක්‍රිකට් ශූරතාව, අයි. සී. සී. ලෝක කුසලානය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ තරගවල දී මම හොඳින් ක්‍රීඩා කළා.

ප්‍රශ්නය – කටාර්වල දී ඔබ දක්වපු විශේෂ දස්කම් ගැන කතා කළොත්.

කටාර්වල පැවති පළමුපෙළ තරගයක දී මම නොදැවී ලකුණු 227ක් වාර්තා කිරීම විශේෂ දක්ෂතාවයක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම පන්දු යැවීමේ දී ලකුණු 6කට කඩුලු 6ක් දවා ගන්නත් මම සමත් වෙලා තියෙනවා.

ප්‍රශ්නය – ජාතික කණ්ඩායමක් නියෝජනය කළ ඔබ කොහොමද පුහුණුකරුවකු බවට පත් වුනේ?

2010 වසරේ මම නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ දී මගේ බිරිඳගේ ඉල්ලීමක් මත මම ක්‍රිකට් පුහුණුකරුවෙකු වෙන්න තීරණය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාව මඩකලපුව දිස්ත්‍රික් ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු වශයෙන් තෝරා පත්කළා.

ප්‍රශ්නය – මඩකලපුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය කොහොමද?

දැනට මම අවුරුදු 5ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කයේ තුන්වන පෙළ කණ්ඩායම් පාසල් 8ක් තියෙනවා. පසුගිය කාලවල පැවති තරග දිහා බැලුවම අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ඉහළ මට්ටමකට පැමිණ තිබෙන ආකාරය බලා ගන්න පුළුවන්. මම හිතනවා මේ ප්‍රදේශයේ වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාවට උචිත පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා.

මේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ලොකුම බාධකය තමයි නිවැරදිව සකස් කළ තණ තීරු සහිත ක්‍රීඩා පිට්ටනි නොමැති වීම. ඒ නිසා මේ ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතුවල දී බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා. නමුත් අද වන විට මඩකලපුව ක්‍රිකට් සංගමයේ උත්සහයෙන් මඩකලපුව වෙපර් ක්‍රීඩා පිටියේ එක්පැත්තක් තණතීරු සහිතව සකස් කරලා දීලා තියෙනවා. ඉදිරියේ දී ඒ හරහා අපේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින්ට තම දක්ෂතා වර්ධනය කර ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය – මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති පාසල්වල ප්‍රගතිය කොයි වගේ ද?

පුහුණුකරු තනතුර භාර ගත්තු අවස්ථාවේ ඉඳලා මම වැඩි අවධානයක් යොමු කළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සම්බන්ධවයි. විශේෂයෙන් මඩකලපුව මෙතිදිස් මධ්‍ය මහා විද්‍යාලය හා හින්දු විද්‍යාලයේ 13න් හා 17න් පහළ කණ්ඩායම් පසුගිය දිනවල පැවති පාසල් ක්‍රිකට් තරගාවලියේ දී හොඳින් ක්‍රීඩා කරලා අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගමන් කළා.

මේ ප්‍රදේශයේ දෙමව්පියන් ක්‍රීඩාවට වඩා අධ්‍යාපනයට වැඩි ප්‍රමුඛ ස්ථානයක් දෙන නිසා  පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් 17න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමෙන් පස්සේ තම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනවා. දෙමව්පියන්ගේ මග පෙන්වීම හා සහයෝගය ලැබෙන ක්‍රීඩකයින්ව පමණක් ඉදිරියට ගෙන යන්න පුළුවන්. මඩලපුවේ දෙමව්පියන් මේකට දක්වන දායකත්වය ඉතා අඩුයි. ඒ වගේම හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුව තේරීම් නිලධාරීන් විසින් තෝරා ගෙන තිබෙන අවස්ථාවල දී  ඔහු හොඳින් ක්‍රීඩා කළත්, ඔවුන්ට ඒ අලුත් පරිසරයට හැඩ ගැසිලා හොඳින් ක්‍රීඩා කරලා තම හැකියාවන් ප්‍රදර්ශනය කරන්න බැරි වෙලා තියනවා. ඒ නිසා ඒ අයව ඉස්සරහට ගෙන යන්න බැරි වෙලා තියෙනවා. මේ වගේ හේතූන් නිසා මේ ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායම වගේම පළමුපෙළ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන්න අවස්ථාවන් හිමි කර ගැනීම අපහසු වෙලා තියනවා.

ප්‍රශ්නය – අද වන විට ඔබේ ප්‍රදේශය තුළ බිහි වෙලා ඉන්න දක්ෂ ක්‍රීඩකයින් ගැන කතා කළොත්.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ක්‍රීඩකයෙක් බිහි කිරීම තමයි මගේ ආසාව. ඒ අනුව 2013 අපේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩිකාවක් වන ජොන්සන්, නැගෙනහිර නියෝජනය කරමින් පළමු වතාවට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගත්තා. ඒක අපේ දිස්ත්‍රික්කය ලබා ගත් ලොකු ජයග්‍රහණයක්.

ඒ වගේම අප සතුව දක්ෂ වේගපන්දු යවන්නන් දෙතුන්දෙනෙක් ඉන්නවා. පැයට කිලෝමීටර 130ක වේගයෙන් පන්දු යවන්න පුළුවන් අය ඉන්නවා. ඒ අයගෙන් අඩුම වශයෙන් එක් ක්‍රීඩකයෙක්වත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරවීම තමයි මගේ ඉලක්කය. නවක ක්‍රීඩකයෙකු ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීම වෙනුවෙන් අපේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය තම සම්පූර්ණ දායකත්වය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේ දී අනිවාර්යයෙන්ම අපේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු ජාතික කණ්ඩායමට පියමන් කරාවී.

ප්‍රශ්නය – අවසන් වශයෙන් අපට කියන්න, ඔබ අත්දැකීම් සහිත ක්‍රිකට් ක්‍රීඩකයකු, පුහුණුකරුවෙකු හැටියට සෙසු ක්‍රීඩකයින්ට කියන්න තියෙන දේ.

දක්ෂ ක්‍රීඩකයෙකු වීමට නම් කැපවීම හා පුහුණුවීම් කියන කරුණු ප්‍රධාන සාධක වෙනවා. ඕනෑම ක්‍රීඩකයෙකු දැඩි අපහසුතා මධ්‍යයේ වුවත් ආත්ම විශ්වාසයෙන් කැපවීමෙන් කටයුතු කළොත් හොඳ අනාගතයක් උදා කර ගැනීම අපහසු දෙයක් නෙමෙයි. මේ උත්සහය සියලු දෙනාම පිළගත යුතු දෙයක්.

දැඩි කාර්ය බහුල අවස්ථාවක පවා වෙහෙස මහන්සිය නොබලා අප සමඟ සාකච්ඡාවට සම්බන්ධ වූ මඩකලපුව දිස්ත්‍රික්ක ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු P. K. අන්වර්ඩීන්ට ThePapare.com අපගේ ස්තුතිය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<