‘තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය 24 දී වර්ණපුරලා ගහපු ගේම

1893

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි. එ් අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා ලෙසින් කටයුතු කිරීම පමණක් නොව එක්දින තරගවල දී පළමු ජයග්‍රහණය අත්කර දුන් කණ්ඩායමේ නායකයා ලෙසින් ද බන්දුල වර්ණපුර ඉතිහාසගත වීමට වාසනාවන්ත වී තිබේ.

එවන් වාසනාවක් ඇති චරිතයක් බවට පත්වන වර්ණපුර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන්නේ වර්ණභේදවාදය හේතුවෙන් තහනමට ලක්ව තිබුණු දකුණු අප්‍රිකාවට එරෙහිව නායකත්වය ලබා දෙමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමක් රැගෙන යෑම හේතුවෙනි.

බැඳීම් අලුත් කරමින් ජය මාවත විවර කළ SSC මිතුදම

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (20)..

AROSA සංචාරය හෙවත් ‘තහනම් ගහේ ගෙඩි කෑ ගමන’ ලෙසින් නම් පට බැඳි එම සංචාරයට මූලිකත්වය ලබා දීම හේතුවෙන් පළමු ටෙස්ට් නායකයා ලෙසින් කටයුතු කරන ලද 1982 වසරේ දී ම විසිපස් වසරක තරග තහනමකට ලක්වීමට තරම් හෙතෙම අවාසනාවන්ත වන්නේය. එළඹෙන ඔක්තෝබර් මස වන විට 36 වසරක් සපිරෙන එම තරග සංචාරයේ අප නොඇසූ සහ මෙතෙක් කලක් නොකියැවුණු රස මුසු තැන් බොහෝය. මේ දිග හැරෙන්නේ මීට වසර 36කට පෙර වර්ණපුර ඇතුලු තවත් 13 දෙනෙකුගේ ක්‍රිකට් දිවියට ‘කණකොකා හැඬවූ’ එම තහනම් සංචාරය පිළිබඳව දිග හැරී මතකයයි.

වර්ණභේදවාදය තදින්ම ක්‍රියාත්මක වීමත් එ් හරහා කලු ජාතිකයින්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීම තහනම් වීමත් සමඟ 1970 වසරේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගන්නේය. එ් හරහා වූ කඩා වැටීමට පැලැස්තරයක් එළීම විනා ඉහළ ගෙවීම් කරමින් විදෙස් රටවල කණ්ඩායමට දකුණු අප්‍රිකාවට ගෙන එ්මට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගන්නේය. එසේ ගන්නා ලද උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් වර්ණපුරගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා කණ්ඩායම එම තරග සංචාරයට සහභාගි වන්නේය.

එවකට  ඕලන්දයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ගොස්ව සිටි ටෝනි ඕපාත හරහා මෙම සංචාරය සම්බන්ධීකරණය වී තිබෙන අතර එ් සඳහා එවකට ප‍්‍රකට ක්‍රීඩකයකුව සිටි ෆ්ලේවියන් අපෝන්සු ද උඩ ගෙඩි දී තිබේ. එම ආරාධනාව වර්ණපුර වෙත කෙරෙන විටත් හෙතෙම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන්නේය. නායකත්වය දැරීම හේතුවෙන් එක හෙළාම එම තීරණයට විරෝධය දක්වන වර්ණපුරට එවකට පැවති කෙනෙහිලිකම් සහ පාවාදීම් හරහා අවසානයේ එම තරග සංචාරයට අකමැත්තෙන් හෝ සිය දායකත්වය ලබා දීමට සිදුවන්නේය.

දකුණු අප්‍රිකානුවන් හැඬවූ නිහඬ වීරයා “දිල්රුවන්”

තම ජීවන දිවියේ 36 වැනි උපන් දිනය එළිපත්තේ සිටින දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන්..

එදා ගනු ලැබූ එම තීරණය නිසා අදටත් පසුතැවෙන බන්දුල වර්ණපුර තම මතකය දිග හැරියේ එම ආරාධනාව තමාට ලැබුණු මතකයේ සිටය. ‘‘ගොඩක් අය හිතන්නේ මේ තරගාවලියේ මූලිකත්වය ගෙන වැඩ කළේ මම කියලා. විශේෂයෙන්ම කණ්ඩායම තේරීමේ දී. එ්ත් ටෝනි  ඕපාත සහ ෆ්ලේවියන් අපෝන්සු තමයි මේ වැඩේට මුල් වෙලා සියලු කටයුතු සංවිධානය කළේ. එ්කට දුලිප් මෙන්ඩිසුයි රෝයි ඩයසුන් දෙන්නත් සම්බන්ධ වුනා. 1982 පැවති ඉන්දීය සංචාරයෙන් පස්සේ රෝයි සහ දුලිප් අපිව මහා පාවාදීමකට ලක් කළා. එ් තරගාවලියට දුලිප් සහ රෝයි ගියේ නැති නිසා තමයි ආදේශ ක්‍රීඩකයන් ගන්න මම සෘජුව මුල් වෙලා කටයුතු කළේ’’ යැයි වර්ණපුර පවසයි.

‘‘මට හොඳට මතකයි අපිට යන්න තිබුණේ සඳුදා දවසක. ඔය සංචාරයට යන්න කලින් දවසේ අපිට දින දෙකේ තරගයකට ක්‍රීඩා කළා. එ් වෙළඳසේවා මැච් එකක්. ටෝනි අපිට කිව්වේ සැක නොහිතෙන විදියට සෙනසුරාදා ඉරිදා මැච් එක ගහන්න කියලා. මැච් එක ගහලම යන්න පුළුවන් නිසා අපිත් එ්කට කැමති වුනා. එ්ත් හදිසියේම ටෝනි ඇවිත් කිව්වා මට වැරදුණා; සෙනසුරාදා තමයි යන්න තියෙන්නේ කියලා. මෙතැන වුන කනගාටුදායකම සිදුවීම තමයි තරගයක් අතරතුර දාලා යන්න වෙච්ච එක ගැන. ටොබැකෝ එකේ මැච් එකක් ගැහුවේ. එ්කෙ පළවැනි දවසේ ක්‍රීඩා කරපු අපි දෙවැනි දවසේ නෑ. එ් තරගයට මහේෂ් ගුණතිලකයි; බර්නාඩ් පෙරේරායි දෙන්නම ක්‍රීඩා කළා. මම එයාලට කිව්වේ මොනවහරි අසනීපයක් කියලා තරගයෙන් ඉවත් වෙන්න කියලා. එ්ත් එයාලා එයට කැමති වුනේ නෑ. කොහොම හරි එදා අපේ අතින් වුනේ ලොකු වැරැද්දක්’’.

අප කථා නායකයා පවසන අන්දමට මෙය නීතියට පටහැනිව සිදු කරන ලද තරගාවලියක් බැවින් තමා ඇතුළු කණ්ඩායම ගුවන් තොටුපොළට යන එන අතරතුර ද දී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පැවති හෙයින් එසේ රහසේම තරගාවලියට යෑමට සැලසුම් කළ බවයි. එබැවින් මේ සියල්ලම හැකි තරම් රහසේ සිදු කිරීමට එකඟතාවයට පැමිණ තිබේ. වර්ණපුර පවසන අන්දමට එය කෙතරම් රහසක් ලෙස පැවතියේ ද කිවහොත් එම සංචාරයට පිටත්ව යන බව තම පියාට පවා පවසා සිටියේ පිටත්ව යෑමට සිය බඩුබාහිරා දී ලකලෑස්ති කරගන්නා ලද එදින රාත‍්‍රියේ දී බවයි.

‘‘මේ ගැන පිටට ආරංචි නොවන විදියට ඉන්න අපි පුළුවන් තරම් උත්සාහ ගත්තා. කොටින්ම කියනවා නම් මැච් එක ගහලා ඇවිල්ලා යන්න ලෑස්ති වෙනකොට තමයි එ් ගැන මම තාත්තටත් කිව්වේ. එහෙම කිව්වාම තාත්තා ඇහුවේ මේ ගැන කාගෙන් හරි ඇඩ්වයිස් ගත්ත ද කියලා විතරයි. එ් වෙනකොට අපි එච්. එල්. ද සිල්වා කියලා ලෝයර් කෙනෙක්ගෙන් තොරතුරු ලබාගත්තා. එහෙම කිව්වහම තාත්තා කමක් නෑ කියලා කිව්වා’’.

‘‘එ් දවස්වල මොබයිල් තිබුණේ නෑ. ගොඩක්ම කතා කළේ ලෑන්ඩ් ෆෝන්වලින්. එහෙමත් නැත්නම් මුණ ගැහිලා. කණ්ඩායමක් විදියට අපි අන්තිමටම මුණ ගැහුණේ ඊට දවස් දෙකකට කලින්. එතැන දී කතා වුනේ එකට යන එක හොඳ නෑ මොකද එහෙම වුනොත් අපිව නවත්තන්න පුළුවන් කියලා. එ්ක නිසා අපි ගුවන් තොටුපොළට ගියේ වෙන වෙනම. ඔක්කොමල්ලා එකට ගියේ නෑ. මාත් එක්ක ගියේ මහේෂ් ගුණතිලකයි බර්නාඩ් පෙරේරායි. කොහොම හරි අපි ඔක්කොම ගුවන්තොටුපොළේ දී මුණ ගැහිලා එතන දී තමයි කොටස් වශයෙන් ඇතුළට ගියේ. හිතේ දෙගිඩියාවක් තිබුනත් කිසිම අවුලක් වුනේ නෑ’’.

ඔහුගේ මුවින් පිටවුණු වචනවලට අනුව මෙම ගමන සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ගමනකි. ගුවන්ගතවීම සඳහා වූ පළමු කවුන්ටරය වෙත යෑමට පෙර තමන් මේ සිදුකරන්නේ වැරැද්දක් නොවේ දැයි තව වරක් නොසිතුණේ දැයි ඇසීමට බාධා කළේ එ් වන විටත් වර්ණපුරගේ වයස අවු. 28ක් තරම් තරුණ වයසේ පැවතීම හේතුවෙනි.

දේවපතිරාජයේ බැටින් මැෂිම “පවන් සන්දේශ්”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ…

‘‘නෑ නෑ. එහෙම දෙයක් හිතුණේවත් හිතුවේවත් නෑ. කවුරු හරි අපිව ප‍්‍රපාතකයකට තල්ලු කරලා දැම්මොත් එතැනින් ගොඩ වෙන්නම එපායැ. පරිපාලනයෙන් අපිට සිදුවෙච්ච දේට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සහ මුදලක් හම්බ කිරීමේ පරමාර්ථයෙන් තමයි අපි එ් ගමන ගියේ. මගේ මතකයේ හැටියට අපිට එවලා තිබුණු ටිකට් අතර දුලිප්ගෙයි රෝයිගෙත් ටිකට් තිබුණා. මොකද හේතුව අපිව එයාර්පෝට් එකේ දී අත්අඩංගුවට ගත්තොත් ගන්න  ඕන එයාලවත් එක්ක නිසා. මේ වැඩේ ප්ලෑන් කළේ එයාලා. දුලිප් කියන්නේ ඩබල් ගේම් ගහන මිනිහෙක් කියලා අපි කීයටවත් හිතුවේ නෑ. ටීම් එක බිඳ වැටුණේ ඔවුන් කරපු පාවාදීමෙන් පස්සේ. එයා ටුවර් එක යන්නේ නැතුව සද්ද නැතිව සිටියා නම් මේ මුකුත් ප්‍රශ්නයක් නෑ. අපිට එ් කාලේ අයි. පී. එල්. තිබුණේ නෑ. තිබුණේ ඕක විතරයි. එ් නිසා එ් ගැන මුකුත්ම හිතුණේ නෑ. අපි කෙළින් ඇතුළට ගියා’’ යැයි පවසන හිටපු ටෙස්ට් නායකයා, නැවතත් මාතෘකාවට අදාළව සිය වචන පෙළ දිග හැරියේය.

දකුණු අප්‍රිකාව බලා ගිය ගමනේ බන්දුලලාගේ පළමු නවාතැන වන්නේ හොංකොං රාජ්‍යයි. තමන් ඇතුළු කණ්ඩායමට ලබා දුන් වසර 25ක දඬුවම පිළිබඳව ද දැන ගනු ලබන්නේ මෙහි සිටින කාල සීමාවේ දී ය. අද මෙන් තාක්ෂණය නොදියුණු 80 දශකයේ තහනම පිළිබදව වූ පණිවුඩය ඔවුනට හිමිවන්නේ විදුලි වේගයෙනි.

‘‘අපි කෙළින්ම දකුණු අප්‍රිකාවට ගියේ නෑ. මුලින්ම හොංකොං වලට. මට මතක විදියට එහේ අපි දවස් දෙකක් ද කොහේ ද හිටියා. එහේදී දකුණු අප‍්‍රිකාවෙන් අපිව හොදට බලාගත්තා. එ් කියන්නේ අපි ගැන ඔවුන් හොඳ අවධානයකින් සිටියේ. ඔය ඉන්න කොට තමයි අපිට ඔවුන් කිව්වේ වසර 25ක තහනමක් දාපු කතාව. ඔක්කොම නිවුස් එන්නේ අපේ මැන්ජර් විදියට හිටපු ටෝනිට. පස්සේ ජාත්‍යන්තර මාධ්‍ය හරහාත් අපිට එ් ගැන දැන ගන්න පුළුවන් වුනා’’

‘‘දකුණු අප්‍රිකාවෙන් ටෝනිට කිව්වට වඩා නිවුස්වල යන්න පටන් ගත්තහම තමයි ඔක්කොම කලබල වුනේ. එ්ක බලලා ගොඩක් අය අප්සට් ගැහුවා. එහෙම වුනාම අපිට ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කරන්න ක්‍රිකට් පරිපාලනයට එන්න බැහැ. බැලුවහම ලොකු තහනමක්. හරියට බැලුවොත් මට වයස අවුරුදු 53ක් වෙනකම් සෙල්ලම් කරන්න හෝ පරිපාලනයට එන්න බෑ. අනිත් එක මේ තරගාවලියේ දී අපිට හම්බවෙන මුදලත් 100%ක්ම ටැක්ස් කරනවා කියලා කිව්වහම අප්සට් නොගහ හිටියි ද?’’

‘‘මගෙ මතකයේ හැටියට මහේෂ් තමයි ඉස්සෙල්ලම ලොකුවටම කලබල වුනේ. එ්ක එක එක පුද්ගලයන්ගේ හැටිණේ. එතන කාරණා දෙකක් තිබුණා. එකක් තමයි සල්ලි හොයා ගැනීමට යන එක. එ්ක 100%ක්ම ටැක්ස් කරනවා කිව්වහම බය නොවී තියෙයිද.? අනිවාර්යයෙන්ම බය වෙනවා නේ. එ් කියන්නේ ලංකාවට ආවම සල්ලි මොනවත්ම නෑ. දෙවැනි කාරණාව තමයි අපිට තහනමක් පැණවුණොත් ආයි ලංකාවට ආවම කරන්න දෙයක් නැති එක. අපි දන්නේ ක්‍රිකට් විතරයි. එහෙම වුනොත් ක්‍රිකට් සම්බන්ධ කිසි දේකට සම්බන්ධ වෙන්න බෑ. කොටින්ම කියනවා නම් ක්‍රිකට් සම්බන්ධ මෙලෝ දෙයක් කරන්න බෑ. එ් පැත්තම බ්ලොක් වෙලා’’.

‘‘කොහොම හරි එ් කලබලය එතැනි තිබුණේ විනාඩි 15ක් 20ක් විතර. කට්ටිය නැවත එකතු වෙලා කතා කරාම එ් තත්ත්වය නැති වෙලා ගියා. මගේ දෙයක් තියෙන්නේ දෙයක් භාරගත්තොත් එ්ක ලේසියෙන් අත හරින්නේ නෑ. එතැනදි ආපසු හැරෙන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ’’.

‘‘ලස්සනම වැඩේ මොකද්ද දන්නවද? මේ තරම් ලොකු තහනමක් දාලා තියෙද්දීත් දුලිපුයි, රෝයි, ජෙගනාදන් සහ ඩී. එස්. ද සිල්වා අපිත් එක්ක එකතු වෙන්න කැමැත්ත පළ කරපු එක. එ් එවපු ලියුමේ කොපියක් අදටත් මං ළඟ තියෙනවා. එතකොට ඔවුන් හිටියේ සිම්බාබ්වේ තරගාවලියකට ගිහිල්ලා. දුරකථනයෙන් අපිත් සමඟ සම්බන්ධ වුනා. මම නම් කතා කරන්න ගියේ නෑ. ටෝනි තමයි කතා කළේ. එ් වෙලාවේ මම කිව්වෙ මෙහෙට ආවොත් එයාලව මේ හෝටලයේවත් තියන්න එපා කියලා. මම විතරක් නොවෙයි කවුරුත්ම කැමති වුනේ නෑ ඔවුන් එනවට. මොකද එයාලා අපිට කරපු වැඩත් එක්ක එකට කන්න බොන්න පුළුවන්කමක් නැති නිසා. පුළුවන් කමක් තියෙනවාද? නෑනේ. එ්ත් පාස්පෝර්ට් ගන්න බැරිවීමයි ඉල්ලපු සම්පූර්ණ මුදල දකුණු අප්‍රිකාව දෙන්න බෑ කියපු නිසයි නැවතුණා’’ යැයි තම ක්‍රිකට් දිවියට තිත තැබුණු  සංචාරයේ අවසන් පැය 24 ක මතකයේ දිග හැරුම වර්ණපුර අවසන් කළේය.

මෙම සංචාරයට AROSA යන නම තැබීම ද විශේෂත්වයක් ගෙන දෙන්නකි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ගමන සම්බන්ධීකරණය කරන ලද ටෝනි  ඕපාතගේ නමට අදාළ ඉංග්‍රීසි අක්ෂර 3 එකතුවෙන් AROSA යන නම තබා තිබේ. එයින් කියැවෙන්නේ ඇන්ටොනි රල්ෆ්  ඕපාත දකුණු අප්‍රිකා සංචාරය වශයෙනි.

AROSA ගමනේ අවසන් පැය 24 මෙම ලිපියට පාදක වුවත් වර්ණපුර දිග හැරි මතකය අතරින් ඔබ්බට ගොස් ප්‍රශ්නයක් ඇසීමට මා සිත උනන්දු කරවීය. එනම් එදා ගත් එ් තීරණය පිළිබඳව වර්තමානයේ සිට ආපසු හැරී බැලීමේ දී දැනෙන හැඟීම පිළිබඳවය.

‘‘එ් තීරණය එදා ගත්තු එක ගැන අදටත් මම පසුතැවෙනවා. මේක ක්‍රිකට් විනාශ කරන්න කරපු දෙයක් නොවෙයි. සිදු වූ පාවාදීම හරහා අපේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත්, මුදලක් හම්බ කිරීමේ මූලික පරමාර්ථයෙන් තමයි අපි එ් තරගාවලියට ගියේ. එහෙම කළා නම් එදා මේ සංචාරය අර්ජුණවත් (රණතුංග) අරගෙනයි අපි යන්නේ. නමුත් අපි එහෙම කළේ නැත්තේ ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන හිතලා. එ්ත් මේ ගැන ගාමිණී දිසානායක මහත්තයා හරි අපිත් එක්ක කතා කරා නම් අපි එ් සංචාරයට යන්නේ නෑ. විශේෂයෙන්ම කියනවා නම් එළිපිට කතා කරා නම් ලේසියෙන්ම මේ සංචාරයට යන්න කලින් අපිව නවත්ත ගන්න තිබුණා. දුලිප්ට, රෝයිට කතා කරන්න පුළුවන්කම තිබුණා නම් ඇයි අපිට කතා කරන්න බැරි? යන ප්‍රශ්නාර්ථයත් සමඟ එම පිළිතුර අහවර කළේය

බන්දුල වර්ණපුර, ලලිත් කලුපෙරුම, ටෝනි  ඕපාත, නිර්මාල් හෙට්ටිආරච්චි, හේමන්ත දේවප‍්‍රිය, බන්දුල ද සිල්වා, අනුර රණසිංහ, බර්නාඩ් පෙරේරා, ජෙරී වවුටර්ස්, අජිත් ද සිල්වා, මහේෂ් ගුණතිලක, ලන්ත‍්‍ර ප‍්‍රනාන්දු සහ සුසන්ත කරුණාරත්න තහනම් ගෙඩි කෑ කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනා වෙති. කෙසේ වෙතත් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක මහතාගේ මැදිහත්වීම හරහා මෙම පිරිසට එරෙහිව ලබා දුන් විසිපස් වසරක තහනම වසර 08ක් දක්වා අඩු කරන්නේය. එ් හරහා පසු කලෙක ඔවුන්ට ක්‍රිකට් ආයතනයේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ආයතනය සහ රටවල්වල විවිධ තනතුරු හැදෑරීමට අවස්ථාව උදා විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<