බාබර්ගේ සටන්කාමි ශතකය අපතේ හරිමින් ඕස්ට්‍රේලියාව ජය ගනියි

පාකිස්තානයේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2019

58

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (24) බ්‍රිස්බේන් හිදී නිමාව දුටුවේ ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

ඉන්දියාව ටෙස්ට් වාර්තා පොත් අලුත් කරයි

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය………

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශාන් මසූඩ් සහ අසාර් අලී පළමු කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවයක් ගොඩනැංවුවත් ඔවුන්ගේ මැදපෙළ අසාර්ථක වීම නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 240කට සීමා විය. 

දකුණතින් පිතිකරණයේ නිරත වන අසාද් ශාෆීක් 4 පහර 7ක් එල්ල කරමින් පන්දු 134ක දී ලකුණු 76ක් වාර්තා කර ගත් අතර ඔහු හැරෙන්නට වෙනත් කිසිදු පාකිස්තානු පිතිකරුවෙකුට ඔවුන්ගේ පළමු ඉනිම තුල දී සාර්ථක වීමට අවස්ථාව උදා වූයේ නැත. කෙසේ නමුත් පාකිස්තානු නව ටෙස්ට් නායක අසාර් අලී සහ මොහොමඩ් රිස්වාන් පිළිවෙළින් ලකුණු 39ක් සහ ලකුණු 37ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ග්ස් පාකිස්තානු පළමු ඉනිමේ කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් පාකිස්තානු පිතිකරුවන්ව පාලනය කළේය.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලය වූ ඩේවිඩ් වෝනර් සහ ජෝ බර්න්ස් පාකිස්තානු පන්දු යවන්නන් හට දැඩි ප්‍රහාරයක් දියත් කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 222ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවන ලදි. 

එම සබඳතාවය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙක් 2004 වසරට පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූ දෙවන හොඳම සබඳතාවය බවට පත් වූ  අතර එය දෙවන වූයේ මොවුන් දෙදෙනාම විසින් 2015 වසරේ දී නවසීලන්තයට එරෙහිව ගොඩනැංවූ ලකුණු 237 සබඳතාවට ය. එම තරගය පවත්වා ඇත්තේ බ්‍රිස්බේන් පිටියේ දී වීම සුවිශේෂී වේ.

4 පහර 10ක් සමඟ ලකුණු 97ක් ලබාගෙන ශතකය පෙනෙන මානයේ සිටි බර්න්ස් දැවී ගිය පසුව පිටියට පැමිණි මාර්නස් ලබුශේන් ද පාකිස්තානු පන්දු යවන්නන්ට ප්‍රබල පිති ප්‍රහාරයක් දියත් කළේ 4 පහර 20ක් සමඟ ලකුණු 185ක් ලබා ගනිමිනි. 

අවසන් පන්දුවාරයේ දී ඉසුරු උදාන මැජික් පෙන්වයි

දකුණු අප්‍රිකානු Mzansi Super League තරගාවලියේ Paarl ……….

ඔහු හා වෝනර් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක සබඳතාවයක් ගොඩනංවන ලදි. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගිය වෝනර් වෙනදා ලැබෙන ප්‍රහාරාත්මක පිතිකරණයෙන් තරමක් ඔබ්බට ගොස් පිටියේ ස්ථාවර වෙමින් මේ ලකුණු 154ක් වාර්තා කර ගත්තේය. 

ඔවුන්ගේ මැදපෙළ සිටින ප්‍රබල පිතිකරණ තුරුම්පුවක් වන ස්ටීව් ස්මිත් ලකුණු 4කට දැවී යාමේ හිදැස පිරවීමට ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් රැසක් නොඉවසිල්ලෙන් සිටින බවක් පෙනෙන්නට වූයේ ඔහුට පසුව පිටියට පැමිණි මැතිව් වේඩ් ද අර්ධ ශතකයක් ලබා ගැනීම නිසාවෙනි. වේඩ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 5 වැනි අර්ධ  ශතකය ද වාර්තා කරගනිමින් ලකුණු 60ක් වාර්තා කළේ 4 පහර 7ක් සහ එක් 6 පහරක් සිය ලකුණු ගිණුමට ඇතුළත් කරගෙනයි.

පා දඟපන්දුවෙන් දස්කම් පෙන්වනු ලබන යසීර් ශා දවා ගත් කඩුලු 4 නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 580කට හෝ සීමා කර ගැනීමට අවස්ථාව උදා විය. 

ලකුණු 340ක පළමු ඉනිමේ අවාසියක් සහ වැඩි පීඩනයක් සමඟින් පිටියට පැමිණි පාකිස්තාන දෙවන ඉනිමේ ආරම්භය අසාර්ථක වූයේ ඔවුන්ගේ මුල්පෙළ ප්‍රබල කඩුලු 5ක් ලකුණු 94ක් තුල දැවී ගියේය. 

6 වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ බාබර් අසාම් සහ කඩුලු රකින පිතිකරුවෙක් වන මොහොමඩ් රිස්වාන් ලකුණු 132ක සබඳතාවයක් ගොඩනංවමින් පාකිස්තාන දෙවන ඉනිම යම් ස්ථාවර මට්ටමකට රැගෙන එන ලදි. 

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට

අබුඩාබි T10 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (24) අබුඩාබි ……..

4 පහර 13ක් සහ එක් 6 පහරක් සමඟ සිය දෙවන ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගත් අසාම් නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ ටිම් පේන් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ 6 වැනි කඩුල්ලේ ස්ථාවරත්වය බිඳ දමමිනි. 

සිය මංගල ටෙස්ට් ශතකය ආසන්නයට පැමිණි රිස්වාන් ලකුණු 95ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යාමත් සමඟම පාකිස්තානයේ ඉනිමක පරාජය තහවුරු වන්නට පටන් ගැනුනි. කෙසේ නමුත් සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ යසීර් ශා ලකුණු 42ක් ලබා ගනිමින් එම පරාජයෙන් ඔවුන්ව ගලවා ගැනීමට වෑයම් කළත් ඔහුගේ එම වෑයම අවසන් මොහොතේ දී අසාර්ථක විය.

පන්දු යැවීමේ දී ජෝෂ් හෙසෙල්වූඩ් සහ මිචෙල් ස්ටාර්ක් පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් පාකිස්තානු දෙවන ඉනිම නිමා කළේ සිය කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

මෙම ලබා ගත් ජය නිසා ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ප්‍රසාද ලකුණු 60ක් එකතු කර ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණි. 

තරගයේ වීරයා –  මාර්නස් ලබුශේන් 

පාකිස්තාන පළමු ඉනිම – 240 (86.2): අසාද් ශාෆීක් 76, අසාර් අලී 39, මොහොමඩ් රිස්වාන් 37, මිචෙල් ස්ටාර්ක් 4/52, පැට් කමින්ග්ස් 3/60.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 580 (157.4): මාර්නස් ලබුශේන් 185, ඩේවිඩ් වෝර්නර් 154, ජෝ බර්න්ස් 97, මැතිව් වෙඩ් 60, යසීර් ශා 4/205.

පාකිස්තාන දෙවන ඉනිම – 335 (84.2): බාබර් අසාම් 104, මොහොමඩ් රිස්වාන් 95, යසීර් ශා 42, ශාන් මසූඩ් 42, ජෝෂ් හෙසෙල්වූඩ් 4/63, මිචෙල් ස්ටාර්ක් 3/73.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා ඇඩිලේඩ් හිදී ආරම්භ වේ. එම තරගයේ තොරතුරු ද ඇතුළුව ක්‍රීඩා පිටියේ නවතම තතු ඔබ ඉදිරියට රැගෙන ඒමට ThePapare.com සූදානම් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<