හොංකොං ක්‍රීඩකයින් යොවුන් ඇතුන්ගේ දළ සිඳියි

812

ද්විපාර්ශවීය සටනේ ශ්‍රී ලාංකේය ජයග්‍රහණ ඉඩෝරය තව දුරටත් දිගු කරවමින්, ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා බලාපොරොත්තු තවත් ඈතට පා කර හරින්නට හොංකොං කණ්ඩායම අද සමත් විය.

ඒ අද (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති ආසියානු ශූරතා වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව හා හොංකොං දේශය අතර පළමු අදියරේ තරගයෙන් ලකුණු 37-08 ලෙස පහසු ජයක් ලබා ගනිමිනි.

හොංකොං අභියෝගයට යෞවනයින් සූදානම්

පසුගිය වසරේ අඳුරු මතක මකා දමමින්,ලෝක ශූරතා කුසලානයට වරම් ලැබීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා වයස අවුරුදු…

පසුගිය වසරේ අමිහිරි මතකයන් අමතක කර දමා තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උත්සාහ කළ ද තරගය ආරම්භයේ සිටම පන්දුව  ශ්‍රී ලංකා අර්ධයේ රඳවා ගෙන ක්‍රීඩා කළ හොංකොං  ක්‍රීඩකයන් 6 වන වන මිනිත්තුවේ දී එම උත්සාහය බොඳකර හරින්නට සමත් වූයේ පිටියේ දකුණු කෙළවරින් විවෘතව තිබූ ඉඩ තම වාසියට ගෙන වින්ග් ක්‍රීඩක මාකස් රැමේජ් හරහා තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමිනි. පෝල් ඕල්ටෙයර් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමත් සමඟ තරගයේ පෙරමුණ ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය (ශ්‍රී ලංකාව 0-7 හොංකොං).

කෙසේ නමුත් එම උත්සාහක දිනුමෙන් පසු තරගය හොංකොං අර්ධය වෙත රැගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොංකොං ක්‍රීඩකයන් වෙත දිගින් දිගටම එල්ල කළ පීඩනය මධ්‍යයේ පන්දුව හැසිරවීමේ වැරදි සිදු කළ නිසා  තරගයේ 15 වන මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව වෙත පිරිනැමුණු දඬුවම් පහර සාන්ත ජෝසප් විදුහලේ චතුර සෙනෙවිරත්න විසින් සාර්ථක කර ගැනීමත් සමඟ ලකුණු පුවරුවේ ශ්‍රී ලංකා අන්තය ක්‍රියාත්මක වීම ආරම්භ විය (ශ්‍රී ලංකාව 3-7 හොංකොං).

දෙපිලම ලකුණු රැස්කිරීමෙන් පසු යළි තරගය උණුසුම් වීමත් සමඟ 22 වන මිනිත්තුවේ දී හොංකොං වින්ග් ක්‍රීඩක ග්‍රෙ‍ග‍ර් රැමේජ් ෆ්ලයි හාෆ් ක්‍රීඩක චතුර සෙනෙවිරත්න වෙත එල්ල කළ අනිසි බලපෑමක් නිසා ඔහුට කහ කාඩ්පත පෙන්නූ විනිසුරු ශ්‍රී ලංකාව වෙත දඬුවම් පහරක් පිරිනැමූව ද එය සාර්ථක කර ගැනීමට චතුර සමත්වූයේ නැත.

දුලාජ්ගේ දඬුවම් පහරින් CR සිහින බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ සයවැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (09) පැවැත්විය…

පසුව නැවතත් තරගයේ 25 වන මිනිත්තුවේ දී හොංකොං ෆ්ලයි හාෆ් ක්‍රීඩක පෝල් ඕල්ටෙයර් විසින් හොංකොං පසුපස ප්‍ර‍හා‍ර‍ක‍ වළල්ල පිටියේ කෙළවරට විහිදුවා හරිමින් පිටියේ සම්පූර්ණ ඉඩ භාවිතා කර එල්ල කළ ආ‍ක්‍ර‍ම‍ණ‍ය‍ ඇලෙක්ස් නිස්බට් විසින් අවසාන කළේ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි.  නමුත් පෝල් ඕල්ටෙයර්ගේ ප්‍රවර්තනය එවර සාර්ථක වූයේ නැත (ශ්‍රී ලංකාව 3-12 හොංකොං).

තරගයේ 33 වන මිනිත්තුවේ දී නැවත වරක් තම හැකියාවන් ප්‍ර‍ද‍ර්ශ‍ණය‍ කළ මාකස් රැමේජ් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය.  එවරත් පෝල් ඕල්ටෙයර්ගේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත (ශ්‍රී ලංකාව 3-17 හොංකොං).

පළමු අර්ධයේ අවසානයට එළඹෙත්ම 35 වන මිනිත්තුවේ දී වේගවත් ධාවනයක නිරත වූ හොංකොං ක්‍රීඩක ශොන් හොන් චොන්ග් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ශ්‍රී ලංකා ජයග්‍රහණයක් පිළිබඳ සුළු හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් එය ද සුන් කර දමමිනි. තුන්වන වරටත් පෝල් ඕල්ටෙයර් ගේ ප්‍රවර්තනය අසාර්ථක වුවද ඒ වන විට හොංකොං කණ්ඩායම තරගයේ පාලනය තම අතට ගෙන අවසාන වී තිබුණි (ශ්‍රී ලංකාව 3-22 හොංකොං).

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 3 (1P) – 22 (4T 1C) හොංකොං

දෙවන අර්ධය ආරම්භ වී මද වේලාවක් ගත වූ තැන තරගයේ  42 වන මිනිත්තුවේ පිටියේ දකුණු පස විවෘතව තිබූ ඉඩෙන් උපරිම ඵල නෙලා ගත් සාන්ත පීතර විදුහලේ තීක්ෂණ දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට චතුර සෙනෙවිරත්න සමත් වූයේ නැත (ශ්‍රී ලංකාව 8-22 හොංකොං).

එම උත්සාහක දිනුමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැඩි උද්වේගයකින් තරගයට පිවිසුණ නමුත් එම උද්වේගය පාලනය කර ගත නොහැකි වූ  No-8 ක්‍රීඩක සාන්ත ජෝසප් විදුහලේ ගිහාන් පෙරේරා හට විනිසුරු විසින් තරගයේ 44 වන මිනිත්තුවේ දී කහ කාඩ්පත පෙන්වීය.

ඉන්පසුව තම අමතර ක්‍රීඩකයාගෙන් උපරිම වාසිය ලබාගත් හොංකොං කණ්ඩායම වැඩි වේලාවක් නොගෙන ශ්‍රී ලංකා උත්සාහක දිනුමට පිළිතුරු සැපයූවේ 46 වන මිනිත්තුවේ දී ග්‍රෙ‍ග‍ර් රැමේජ් වාර්තා කළ උත්සාහක දිනුමක් මඟිනි. එහි දී සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩක මෙන්ම ශ්‍රී ලංකා නායක නවීන් හේනකන්කානම්ගේ විසින් හොංකොං පසුපෙළ ක්‍රීඩකයන් විසින් උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේ දී පන්දුව අතිනත හුවමාරු කරන අවස්ථාවේ දී පන්දුව සොරා ගැනීමට අගනා උත්සාහයක් දැරූව ද එය අසාර්ථක වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු යළිත් වරක් සුන් කර දමමිනි. ඕල්ටෙයර්ගේ ප්‍රවර්තනය එවර ද සාර්ථක වූයේ නැත (ශ්‍රී ලංකාව 8-27 හොංකොං).

තරගයේ 50 වන මිනිත්තුවේ දී හොංකොං ක්‍රීඩක මාකස් රැමේජ් තම තුන්වන උත්සාහක දිනුමත් වාර්තා කර තරගයේ උත්සාහක දිනුම ත්‍රිත්වයක් සටහන් කළේය. එහි ප්‍රවර්තනය ද පෝල් ඕල්ටෙයර් විසින් ඉවතට එල්ල කරන ලදි (ශ්‍රී ලංකාව 8-32 හොංකොං).

නාවික උත්සාහය වතුරේ යයි

Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තය ආරම්භ කරමින් අද (9) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා මහනුවර…

50 වන මිනිත්තුවෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක වෙහෙසකාරී අයුරකින් ක්‍රීඩාවේ යෙදුණ අතර එයින් මෙවර ඵල නෙලාගත්තේ හොංකොං Prop ක්‍රීඩක ජේ කුක් විසින්ය. 53 වන මිනිත්තුවේ දී මීටර් 10ක් පමණ දිවගොස් කුක් විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් හොංකොං කණ්ඩායම තරගය තමන් ඉදිරියෙන් තහවුරු කර ගත් අතර එහි ප්‍රවර්තනය පෝල් ඕල්ටෙයර් අසාර්ථක කර ගත්තේ තමා එල්ල කළ ප්‍රවර්තන 7කින් එකක් පමණක් සාර්ථක කර ගනිමින් 14%ක සාර්ථක සාමාන්‍යයක් රඳවා ගනිමිනි (ශ්‍රී ලංකාව 8-37 හොංකොං).

ඉන් පසුව කණ්ඩායම් දෙකම තම අතිරේක ක්‍රීඩකයන් තරගයට යොදාගත් අතර ඒ නිසාවෙන් යළිත් කණ්ඩායම් දෙකෙහිම ආ‍ක්‍ර‍ම‍ණ‍ හා ආරක්ෂණයන් තරමක් උද්වේගකර ස්වරූපයක් ගන්නා ලදි. එතැන් පටන් තරගය අවසානය වන තෙක්ම දෙපිලටම යළිත් ලකුණු රැස් කිරීමට නොහැකි වූ නමුත්  යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් පෙන්නුම් කරන ලද සටන්කාමී ස්වභාවය විචාරකයන් ගේ පැසසුමට ලක්විය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 08 (1T 1P) – 37 (7T 1C) හොංකොං

ThePapare.com තරගයේ වීරයන්: ඔලිවර් ඕවර්මන් සහ පෝල් ඕල්ටෙයර් (හොංකොං)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව – තීක්ෂණ දසනායක 1T,  චතුර සෙනෙවිරත්න 1P

හොංකොං – මාකස් රැමේජ් 3T, ඇලෙක්ස් නිස්බට් 1T, ශොන් හොන් චොන්ග් 1T, ග්‍රෙ‍ග‍ර් රැමේජ් 1T, ජේ කුක් 1T, පෝල් ඕල්ටෙයර් 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<