අර්ජුනගෙන් සනත්ට දෝෂාරෝපණයක්

4713
Arjuna blames Sanath

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් නම්කළ සංචිතයට දිනේෂ් චන්දිමාල් නම් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා වෙත දෝෂාරෝපණයක් එල්ල කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග Cricbuzz වෙත අදහස් දක්වා තිබේ.

සිම්බාබ්වේ තරගාවලිය ඇරඹෙන්නට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කළ පරිදි තෙවන එක්දින තරගයෙන් පසුව දිනේෂ් චන්දිමාල් ගැන සලකාබැලීමක් සිදුනොවීය.

“මහේලටයි සංගක්කාරටයි පසුව මම දැකපු හොඳම පිතිකරුවන් තමයි තිරිමාන්න සහ චන්දිමාල්. තේරීම් කමිටුව මේ වෙනකොටත් ඉන් එක්කෙනෙක් විනාශ කරලා ඉවරයි වගේම අනිත් කෙනාවත් විනාශ කරන වැඩේට අතගහලා තියෙනවා. මං ඔවුන්ට කියන්න කැමතියි උපතින් ගේන හැකියාව මරාදමන්න එපා කියලා.අපිට අපහසුතා ඇතිවෙලා තියෙන්නේ අපි අපේ දක්ෂතාවයන් හොඳින් කළමණාකරණය  නොකරන නිසයි.Cricbuzz වෙත අදහස් දක්වමින් අර්ජුන කියා තිබිණි.

තේරීම් කමිටුවේ ධූරකාලයද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා දීර්ඝ කරනු ලැබීය.

සනත්ගේ තේරීම් කමිටුවට ඇමතිගේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් කමිටුවේ…

තත්වය එසේ තිබියදී අර්ජුන පවසන්නේ සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු වැනි ක්‍රීඩකයින් උසස් තලයට පැමිණීමටද යම් කාලයක් වැයකළ බවයි.

“මාවන් පළවෙනි ඉනිම් 6න් 5කම ලබාගත්තේ බිංදු. නමුත් ඔහුට දක්ෂතාවය තියෙන බව හඳුනාගෙන අපි ඔහු පසුපසින් හිටියා. බලන්න, ඔහු විශ්‍රාම යන විට ටෙස්ට් ලකුණු 5,500ක් ලබාගෙන තිබුණා. ඒක මටත් වැඩියි.” තවදුරටත් Cricbuzz හමුවේ අර්ජුන කියා තිබිණි.

සනත් ජයසූරිය පිළිබඳ අදහස් දක්වමින් අර්ජුන කියාතිබුණේ,

“සනත් පළවෙනි ඉනිම් 55දිම ලබාගෙන තිබුණේ එක් අර්ධ ශතකයයි. ඔහුව ඉවත් කරන්නැයි අපට ලොකු පීඩනයක් තිබුණා. ඒත් අත්දැකීම් සමඟ ඔහුට කරන්න පුළුවන් දේවල් තේරුම් අරගෙන අපි ඔහුව හොඳින් බලාගත්තා. ඔහු ලෝක වාර්තා රැසක් බිඳහෙලුවා. මට කණගාටුයි අපි සනත් දිහා බලපු විදිහට සනත්ට නවකයො බලන්න බැරි එක ගැන.” යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතීතය එවැන්නකි. ඉවසීමෙන් නවකයන් රැකබලාගෙන ඔවුන්ට ශක්තිමත් මනසක් ගොඩනගාගන්නට කාලය ලබාදී ඔවුන්ගෙන් උපරිම සේවයක් ශ්‍රී ලංකාවට ලබාගැනීම අපට පුරුදුය. එහෙත් නවකයන් බුද්ධිමත්ව ක්‍රීඩා නොකරන විට ඔවුන් කණ්ඩායමේ සිටිය යුතු නැතැයි නැගෙන චෝදනාවට මුහුණපාන්නට ද තේරීම් කමිටුවට සිදුවේ.

එහෙත් සිම්බාබ්වේ වැනි රටක් ඉදිරියේ චන්දිමාල් වැනි ක්‍රීඩකයෙකුට නැවතත් තම සුපුරුදු ක්‍රීඩා විලාශයට පැමිණිය හැකිව තිබූ බවයි අර්ජුන Cricbuzz වෙත පවසා තිබුණේ.

“ඔහුට විශ්වාසය ගොඩනගාගැනීමට ඉතාම සුදුසු තරගාවලියක් තමයි මේ. තේරීම් කමිටුව චන්දිමාල්ට අංක 4, 5, 6 කියන හැම තැනකම ක්‍රීඩා කරන්න දීලා තිබෙනවා. ඔහුට එක් නිශ්චිත ස්ථානයක් දෙන්න. ඔහු විශේෂ පිතිකරුවෙක් වේවි.

අර්ජුන රණතුංග යනු “එසේ මෙසේ මොළයක්” නොවන බැවින් ඔහුගේ කතාවටද යම් පදනමක් ඇතැයි තේරුම් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කාලය ගතකළහොත් තවත් නවක ක්‍රීඩකයෙකුගේ අනාගතය ඒ මත ගොඩ නැගෙනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට