ලෝක ශූරියට තනි කකුලෙන් අඬගසන ශ්‍රී ලංකා කෙල්ල

9135
Anusha Kodithuwakku

ඇය පන්නල ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරියකි. වසර 15කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා දේශීය බොක්සිං වළල්ලේ අපරාජිත ප්‍රහාරිකාවකි. ශ්‍රී ලංකාවට මෙතෙක් “ජාත්‍යන්තර මට්ටමේ බොක්සිං පදක්කම්” 14ක් පමණ ගෙන ආ ක්‍රීඩිකාවකි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 6 දක්වා ඉහළ නැගුනු එකම ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකාව ද වේ. ඈ අනූෂා කොඩිතුවක්කු ය. ඈ මේ සියල්ල සිදුකරන්නේ තනි කකුලෙන් බව ඔබ දැන සිටියාද?

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කේමන් දූපත් නියෝජනය කළ බ්‍රැන්ඩි බාන්ස් දෙවරක්ම දරුණු ප්‍රහාරයන්ට ලක්කළේ 2017 දෙසැම්බරයේ ශ්‍රී ලංකා ජාතික බොක්සිං තරගාවලියේදී ඈ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට කළ ආකාරයෙන්මය. ඒත් සමඟින් අවසන් පූර්ව වටය නියෝජනය කරන ඈ නිශ්චිතවම පොදු රද මඩුලු ලෝකඩ පදක්කමක හිමිකාරියකි.

එතැන් සිට දේශීය බොක්සිං වළල්ලේ ඈ අපරාජිතය.

ඒ වසර 68කට පසු ය. 1950 වසරේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමිවීමෙන් පසු බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් හිමිවූ පළමු අවස්ථාව මෙයයි. ඒ සැමටම වඩා කාන්තාවක විසින් මෙරටට පැළඳු පළමු ඉතිහාසගත බොක්සිං පදක්කමද මෙය වන්නේය. 2017 වසරේදීද ශ්‍රී ලංකාවේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව බවට පත්වූ අනූෂා පසුකළ ගමන සැබවින්ම පුදුම සහගත ගමනකි.

අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාවේ පළමු කාන්තා රග්බි කණ්ඩායමේ වින්ග් ත්‍රී ක්‍රීඩිකාව ය. ඇගේ වේගයත්, දරාගැනීමත් මනාව හඳුනාගත් ශ්‍රී ලංකාවේ බොක්සිං භාරකරු, ඩයන් ගෝමස් මහතා ඇයට බොක්සිං ක්‍රීඩාව පුහුණුවන්නටැයි ආරාධනා කළේය. එතැන් සිට දේශීය බොක්සිං වළල්ලේ ඈ අපරාජිතය.  

“අනූෂා අනෙකුත් ක්‍රීඩිකාවන් උද්‍යෝගිමත් කළා. සෑමවිටම ඔවුන්ට සහය දුන්නා. නායිකාවක් වශයෙන් වැඩකළා. ඒක තමයි අනූෂාගෙන් ගන්න පුළුවන් ලොකුම දේ කියල මට සාඩම්බරව කියන්න පුළුවන්.” ඩයන් ගෝමස් මහතා කියයි.  

අනූෂාගේ කතාව වීර කතා රැසකින් සමන්විත කතාන්දරයකි. ප්‍රියංකා චොප්රා රඟන “මේරි කොම් චිත්‍රපටය” සමහර විට ඔබ නරඹන්නට ඇති. ඒ ඉන්දියානු මාධ්‍ය සහ ප්‍රජාව තම ක්‍රීඩිකාවගේ වීරත්වය උද්දීපනය කරන ආකාරයයි. එහෙත් ඔබ නොදත් වීර කතා ඔබේ මව්රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිත තුළ කොතෙකුත් ඇත. අනූෂාගේ කතාවද රසවත් වීර කතාවකි.   

Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 1

ක්‍රීඩාවේ දහසකුත් එකක් මානයන් අන්තර් ඥානයෙන් පූර්වාබෝධ කර ගනිමින් ද..

2016 ආසියානු බොක්සිං ශූරතාවලියේදී ලෝක ශූර ඉන්දියානු ක්‍රීඩිකා මේරි කොම්ට එරෙහිව තරග වදින්නට අනූෂා බොක්සිං වළල්ලට පිවිසියාය. තරගය සම තරගයකි. මේරි කොම්, ඔබ අප කවුරුත් දන්නා පරිදි (මේරි කොම් චිත්‍රපටය නිසා හෝ) ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් බිහිවී ලොව ජයගත් ඔලිම්පික් ශූරියකි. කොහොමටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා ඉන්දියානු නළු නිලියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන මෙරට සමහරුන්ට කැක්කුමක් ඇත.

කෙසේවෙතත් ලෝක මට්ටමේ බොක්සිං ක්‍රීඩාවේදී තාක්ෂණික වශයෙන් ඔබ කෙතරම් ඉදිරියෙන් සිටීදැයි වැදගත් නැත. වැදගත් වන්නේ ඔබ අවස්ථාවන් කෙතරම් හොඳින් කළමනාකරණය කරන්නේද යන්න යි. 2016 ආසියානු තරගය එතරම් ලෙහෙසියෙන් තමා වෙතට නොඑනා බව හඳුනාගත් ඔලිම්පික් ශූරිය, අනූෂාට එරෙහිව “ජිමික්ස්” යොදාගැනීම අරඹන්නේ ඉන් පසුවයි.

ඉහත වීඩියෝවේද දැක්වෙන පරිදි අනූෂා තම හොඳම ක්‍රීඩා සමය පසුකරමින් සිටියදී මේරි කොම් සමඟින් හෝ කරට කර සටනක් දීමේ ශක්‍යතාවයෙන් පසුවූ බව පැහැදිලි ය. එය හඳුනාගත් මේරි කොම්, තම අත්දැකීම් යොදාගනිමින් සිදුකළ “ජිමික්” එක අනූෂාට හරහට හිටියේය. ඈගේ දකුණු දණහිසේ බන්ධනිය (ligament) අස්ථාවර වී සදාකාලික ආබාධිතයෙකු වීමේ අවදානමට ඈ ලක්විය. ආබාධයට පත්වීමෙන් පසුද ඈ තරගයෙන් ඉවත් නොවීය. දණහිසේ වේදනාව කෙතරම් වන්නට ඇතිද? ශ්‍රී ලංකා සිත්වල හයිය එයයි.

විනිසුරු තරගය නවත්වා මේරි කොම් හට ජයග්‍රහණය ලබාදුන්නේ බොක්සිං නීතිරීති වලට අනුකූලව ය. අනූෂා දකුණත් ක්‍රීඩිකාවක වීම නිසා ඒ දණහිස (දකුණු) ඇගේ වටිනාම දණහිස විය. බොක්සිං ක්‍රීඩාවේ මුෂ්ටි ප්‍රහාර සඳහා ඔබට පදනම සකසන්නේ ඔබේ පුරුදු අතට ප්‍රතිවිරුද්ධ පාදයේ දණහිසයි.

“මම ආත්ම විශ්වාසය විශ්වාසයක් කරගන්නවා”

ඇය නිහඬ විය. ඈ වටා සිටි ඇතැමුන්ද නිහඬ විය. එහෙත් ක්‍රීඩාව කෙරෙහි තිබූ ඇල්ම සහ කෙදිනක හෝ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් මෙරටට පළඳන සිහිනය අනූෂා කෙරෙන් පිට නොවීය. ඊට තවත් හේතුවක් තිබිණි.

වාසනාව හෝ අවාසනාව ක්‍රීඩකයෙකු හි ක්‍රීඩිකාවකගේ දිවියේ වැදගත්ම කොටසකි. 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමටද තේරීපත්වූ අනූෂාට ඒ අවස්ථාවද අහිමි විය. ඒ රිය අනතුරක් හේතුවෙන්. 2014 තරගාවලියට ඉතාම සුළු කාලයකට පෙර සිදුවූ ඒ ඇබැද්දිය නිසා ඇගේ අතක් ආබාධයකට පත්විය. එහෙත් අනූෂාගේ වචනයෙන්ම කිවහොත් “මම ආත්ම විශ්වාසය විශ්වාසයක් කරගන්නවා” යන වාක්‍යය ඇගේ සිත තුළ කැකෑරෙමින් තිබිණි.

2014න් පසුව නැවතත් බොක්සිං වළල්ල වෙත පැමිණ එහි ආධිපත්‍ය පතුරුවමින් පෙරට යද්දී 2016 ආසියානු ක්‍රීඩා උළෙලේදී සිදුවූ දණහිසේ ආබාධයත් සමඟින් ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් බලාපොරොත්තුවක් බිඳවැටිණි. 2017 වසරේ මැද භාගයේ දිනක අනූෂාව කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේදී මට මුණගැසිනි.

“ඒක මට ගහන්න තිබුණු ෆයිට් එකක් (මේරි කොම්ට එරෙහිව). උන් අපිට වඩා දේවල් පුරුදු වෙනවා. ඉන්ටනැෂනල් මැච් වලදී කපටි වෙන්නත් ඕන.” ඇය එසේ කීවාය. ඈ ඇගේ පාඩම උගෙන තිබිණි. අනූෂා මෙතෙක් ලද සාර්ථකත්වයේ රහස එයයි. ඇය වැටෙන්නේ නැත, හඬන්නේ දොඩන්නේ නැත. ඇය වරදින විට ඉගෙන ගනියි.

එතැන් සිට ශල්‍යකර්ම වලට මුහුණ දෙමින් නැවත තම වටිනා දණහිස පුනරුත්තාපනය කරගැනීමට මහත් වෙහෙසක් දැරීමට ඇයට සිදුවූයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කරගැනීමට සහ කළමනාකරණය කරගැනීමට නිදහසින් වසර 70කට පසුත් නිසි ක්‍රමවේදයක් නැති නිසාවෙනි. අවාසනාව නම් රට වෙනුවෙන් තම ශරීර කොටස් පවා පුද දෙමින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන් පසුගාමීත්වයට පත්වීමයි. එහෙත් ඒ අනූෂා නම් නොවේ. ඈ වාසනාවන්තය. අප වාසනාවන්තය. ඇගේ කැපවීම ඈ හරි තැනට ගෙන ආවේය. දණහිසක බන්ධනියේ ආබාධ කලින් කලට ඔබට වේදනා ගෙන ආ හැකිය. අනූෂාව පොදුරාජ්‍ය මණ්ඩලය කරා රැගෙන එන්නේ සකසන ලද දණහිස නොව ඇගේ යකඩ සිතයි.  

දෛවය හරිම පුදුමාකාර ය. 2016 වසරේ අනූෂාට මේ ඇබැද්දිය සිදුකළ මේරි කොම්, 2018 වසරේ කි.ග්‍රෑම්. 48 බරපන්තියේ අවසන් පූර්ව තරගයේදී අනූෂා හට හිමිවන ප්‍රතිවාදිනිය යි. 2016 පළිය ගැනීමට නිසිකාලය එළඹ ඇත. අනූෂාට ජයගත හැකිවුවහොත් ඇය අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ලෝක ශූරිය තරගාවලියෙන් ඉවත් කරමිනි. දැනටමත් ඈ පොදු රද මඩුලු ලෝකඩ පදක්කමකින් ශ්‍රී ලංකාව සරසා ඇත.

Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 2

ක්‍රීඩාවේ දහසකුත් එකක් මානයන් අන්තර් ඥානයෙන් පූර්වාබෝධ කර ගනිමින් ද..

මාගේ කළමනාකාරිනිය, එසේම ThePapare.com ප්‍රධාන සංස්කාරකවරිය සෑමවිටම පවසන පරිදි, ඔබ අවංකවම කැපවන්නේනම්, ඔබ අවංකවම ඔබේ සේවය ඉටුකරන්නේනම්… අහසේ තරු, ග්‍රහචාරය සියල්ල වෙනස් වී ඔබව හරි තැනට කොහෙන් හෝ කැරකී එනු ඇත. අනූෂාට මෙවර හිමිව ඇත්තේ ඒ අවංක කැපවීමේ මහත් ඵලයයි. 2016 වාඩුව ගන්නට ඇවැසි පිටියට මේරි කොම් සහ අනූෂා කොඩිතුවක්කු පා තබනු ඇත්තේ එළඹෙන 11 වැනිදායි. ශ්‍රී ලාංකික අප, හදවතින්ම ඇය සමඟින් සිටගනිමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<