විදූෂා ජාතික වාර්තාව බිඳී; ප්‍රථම වරට ශර්මිලා 200යෙන් රන් දිනයි

2311
Sri Lanka National Athletics

එළඹෙන දෙසැම්බරයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩාවෙන් සුදුස්සන් තෝරා ගැනීම සඳහා වන අවසන් තෝරා ගැනීමේ තරගාවලිය වන “97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය” අද (18) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ ජාතික වාර්තා 3ක්, තරග වාර්තා 6ක් සහ එක් තරගාවලි වාර්තා සමකිරීමක් සමඟින්.

හිමාෂ දශමයෙන් විනෝජ්ව ඉස්සර කරද්දී අඹේපිටිය පිටියෙන් සමුගනී

හිරුණි විජයරත්න සිය පළමු ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සඳහා අද (17) සහභාගී විය..

පසුගිය දා නිමා වූ වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී පවා පදක්කමක් ජයග්‍රහණය කළ තුන්පිම්ම ඉසව්වේ ජාතික වාර්තාවට හිමි කියන විදූෂා ලක්ෂානි වසර දෙකකට පසුව ඇගේ ජාතික වාර්තාව අලුත් කරන්නට ඇය අද සමත් වූවාය. ඇයට හිමි වූ පළමු අවස්ථාවෙන්ම ජාතික වාර්තාව අභිබවා ගිය ඇය මීටර් 13.66 දුරක් වාර්තා කළාය. තරගයෙන් පසුව ඇය අදහස් දැක්වූයේ මෙසේයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිටි පැනීමේ වාර්තාවට හිමිකම් කියන ජාතික ශූර ඉෂාර සඳරුවන් මෙවර රිටි පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවකට හිමිකම් කියන්නට සමත් වූයේ මීටර් 5.01ක් උසක් වාර්තා කරමිනි. කෙසේ නමුත් අවාසනාවට මෙන් ඔහුට SAG සඳහා සහභාගී වීමට නොහැකි වන්නේ ඔහුගේ ඉසව්ව තරගාවලියෙන් ඉවත් කර ඇති නිසාවෙනි.

කෙසේ නමුත් ඔහු සිය පුහුණුවීම් කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත ලෝක ත්‍රිවිධ හමුදා ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාවෙනි.

>> තෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ආර්. එම්. එස්. පුෂ්පකුමාර නැවතත් රන් පදක්කමක් ජයග්‍රහණය කරන්නට අද සමත් වුනේ මිනිත්තු 9:02.62 කාලයක් වාර්තා කරමින්. වසර 14ක් පුරාවට ජාතික වාර්තාව සඳහා හිමිකම් කියන ඔහු අද සන්ධ්‍යා කාලයේ දී පැවති පිරිමි මීටර් 5000 ඉසව්වට වැඩි අවධානයක් යොමු කර සිටි අතර එම ඉසව්වෙන් ද රන් පදක්කම දිනා ගන්නට සමත් විය. සිය ඉසව්වෙන් අනතුරුව ThePapare.com වෙත පවසා ඔහු අදහස් දැක්වූයේ මෙසේයි. 

හිරුණි විජයරත්න ඇගේ දෙවැනි රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඇය සමත් වුනේ මීටර් 5000 කාන්තා ඉසව්වට සහභාගී වෙමින්. ඉසව්ව ආරම්භයේ දී නිලානි රත්නායක ඇයට හොඳ අභියෝගයක් ලබා දෙන්නට සමත් වූවත් පස්වැනි වටයේ දී ඇය ආබාධයකට ලක්විය. තරමක් පසුපසින් සිටි හිරුණි අවසන් වටයේ දී සිය වේගය වැඩි කරමින් සියලු දෙනා අභිබවා යමින් පෙරමුණ ගත්තේ තවත් රන් පදක්කමක් ඇගේ නමට ලියා ගනිමිනි. 

මීටර් 200 කාන්තා ඉසව්වේ ශූරතාව සඳහා අද නව ක්‍රීඩිකාවක් තේරී පත්විය. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ පවා දස්කම් දැක්වූ ශර්මිලා ජාන්ය. පළමු වතාවට මීටර් 200 ඉසව්ව සඳහා සහභාගී වූ ඇය රන් පදක්කමක් සමඟින් ඉසව්ව අවසන් කළේ තත්පර 24.85 කාලයක් වාර්තා කරමින්. ශර්මිලාට හොඳ අභියෝගයක් ලබා දුන් ඊයේ මීටර් 400 ඉසව්ව ජය ගත් නදීෂා රාමනායක රිදි පදක්කමට හිමිකම් කීවාය.

මීටර් 200 පිරිමි ඉසව්ව ද ඉතාමත් උණුසුම් වූ අතර ඊයේ (17) පැවති මීටර් 100 ඉසව්වේ දී අවසන් දශමස්ථානයෙන් රන් පදක්කම අහිමි වී ගිය විනෝජ් සුරංජය අද මීටර් 200 ඉසව්වට සහභාගී වෙමින් තත්පර 21.41 කාලයක් වාර්තා කරමින් ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය. 

මීටර් 400 කාන්තා කඩුලු පැනීම ඉසව්වෙන් කෞෂල්‍යා මදුෂානි ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්පර 58.18 කාලයකින් අවසන් කළේ ඇයගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කරමිනි. මීටර් 400 පිරිමි කඩුලු පැනීමේ ඉසව්වේ ජයග්‍රහණය හිමි කර ගත්තේ අසංක රත්නසේන විසිනි. 

>> තෙවැනි දිනයේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලකුණු සහ වාර්තා <<

දිනයේ තවත් අවධානය දිනා ගත් ඉසව්වක් ලෙස හැඳින්විය හැකි මීටර් 800 කාන්තා ඉසව්වේ නිමාලි ලියනාරච්චි සහ ඩිල්ෂි කුමාරසිංහ අතර හොඳ තරගයක් තිබුණු නමුත් ඉසව්ව ජයග්‍රාහීව නිමා කරමින් රන් පදක්කම දිනා ගන්නට නිමාලි සමත් විය. නිමාලි තරගාවලියේ දී දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වන අතර මීට ප්‍රථම ඇය මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් විය. 

මීටර් 800 පිරිමි ඉසව්ව නිමා වුනේ ඉතාමත් තියුණු අවසානයක් සමඟින්. මීටර් කුපුන් කුෂාන්ත පළමු වටයේ දී පෙරමුණ ගනිමින් ධාවනයේ යෙදුණත්, අවසන් වටයේ දී සියලු දෙනා පුදුම කරමින් ඉඳුනිල් හේරත් සහ ජාතික ශූරයා වන රුසිරු චතුරංග අතර දැවැන්ත සටනක් නිර්මාණය විය. කෙසේ නමුත් දශම කිහිපයකින් ඉස්සර වුනු ඉඳුනිල් රන් පදක්කම දිනා ගන්නා ලදි. කුපුන්ට හිමි වූයේ තෙවැනි ස්ථානයයි.

තරගාවලියේ අවසන් තරග වාර්තාව වාර්තා කළේ සුමේධ රණසිංහ විසිනුයි. හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ ඔහු මීටර් 80.76 දුරක් වාර්තා කිරීමට සමත් විය.

>> තරගාවලියේ අවසන් තරගවල සම්පූර්ණ ලකුණු සටහන <<

තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ කිහිපයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර ඒ අතරින් වැඩි ප්‍රමාණයක් යුද හමුදාව නියෝජනය කිරීම විශේෂත්වයක්. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා කේවල ඉසව්වන් වලදී හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා ලෙස දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අමිල ජයසිරි සම්මාන දිනා ගනිද්දී, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ මීටර් 3000 බාධක දිවීම ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක යි.

දින 3ක් පුරාවට පැවති තරගාවලිය අද සාර්ථකව නිමාවට පත්වූ අතර තරගාවලිය අවසානයේ දී කුසලතා සම්මාන ප්‍රදානෝත්සවයක් ද සිදු කෙරුණි. එහි දී සම්මාන දිනා ගත් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව සඳහා මෙතැනින් පිවිසෙන්න.

තරගාවලියේ දක්ෂතා දැක්වූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්! 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<