CR වේගය ඉදිරිපිට CH අසරණයි!

70

2019 නායකයාගේ කුසලානය වෙනුවෙන් CR&FC සහ CH&FC කණ්ඩායම් අතර අද පැවති තරගයෙන් ලකුණු 41-26ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට CR&FC කණ්ඩායම සමත් විය. උණුසුම් කාලගුණ තත්වයක් යටතේ තරගය පස්වරු 4ට CR&FC ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය.

තහනම් උත්තේජක වළක්වන්න අලුත් මෘදුකාංගයක්

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා සහභාගි වන පොලිස්….

තරගය ආරම්භ කරන මොහොතේ දී පටන් කණ්ඩායම් දෙකම ඉතා හොඳින් තරගයට අවතීර්ණ වූ අතර කණ්ඩායම් දෙක තුළින්ම ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ සුසංයෝගයක් සමඟින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. 

තරගයේ පළමුවෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ රීසා මුබාරක් CR&FC වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. (CR&FC 03-00 CH&FC)

CR&FC ක්‍රීඩක ශරෝ ප්‍රනාන්දු අතින් සිදු වූ අත්වරදීමකට ඔහුට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළ අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් CH&FC ක්‍රීඩකයින් පිට පිටම පහසු උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ සත්කාරකයින් දෙසට පීඩනය එල්ල කරමින්. 

එහි දී Maul අවස්ථාවකින් පන්දුව රැගෙන ධවල රේඛාව පසු කළ CH&FC ක්‍රීඩක ප්‍රසාද් මදුසංකගේ උත්සාහක දිනුම වෙනුවට විනිසුරු පූර්ණ උත්සාහක දිනුමක් CH&FC කණ්ඩායමට ලබා දුන්නේ CR&FC කණ්ඩායම අතින් සිදු වූ අතපසුවීමකට දඬුවමක් වශයෙනි. (CR&FC 03-12 CH&FC)

එයින් පසුබට නොවූ CR&FC ක්‍රීඩකයින් CH&FC ආරක්ෂාව බිඳ දමමින් ඉදිරියට ඇදුණ අතර එහි දී CR&FC ක්‍රීඩක දිනුක් අමරසිංහගෙන් පන්දුව ලබා ගත් කවිඳු ද කොස්තා වේගයෙන් දිවයමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළේ තම කණ්ඩායම නැවතත් සුපුරුදු තරග රටාවට අවතීර්ණ කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (CR&FC 10-12 CH&FC)

CR&FC ක්‍රීඩකයින් ප්‍රථම අර්ධය අවසන් වන විට වේගවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කරමින් නැවත තමන්ගේ ආධිපත්‍ය පතුරවන්නට සමත් වූ අතර එම උත්සාහක දිනුම් තුනටම සාධාරණයක් ඉටු කරමින් ප්‍රවර්තනයන් සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. 

ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් CH&FC කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ තවත් එක් උත්සාහක දිනුමක් හා එක් ප්‍රවර්තනයක් පමණි.

ප්‍රථම අර්ධය: CR&FC 31 – 19 CH&FC

සාර්ථකව දෙවැනි අර්ධය ආරම්භ කිරීමට නැවත පිටියට පිවිසි සත්කාරකයින් පුදුම කරමින් CH&FC ක්‍රීඩක වොරන් වීරකෝන් CR&FC ආරක්ෂාව විනිවිද යමින් පළමු මිනිත්තු 3 තුළ දී ම දෙවැනි අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අර්ෂාඩ් ජමාල්ඩීන් සමත් විය. (CR&FC 31-26 CH&FC)

එයට පිළිතුරු වශයෙන් ක්‍රියාත්මක වූ CR&FC කණ්ඩායම ප්‍රතිවාදියාගේ තරග රටාවට සමාන ලෙස ක්‍රීඩා කරමින් Maul අවස්ථාවකින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. සුපුන් වර්ණකුලසූරිය වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් විය. (CR&FC 38-26 CH&FC)

නැවතත් CR&FC කණ්ඩායම වෙත හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් රීසා මුබාරක් තමන්ගේ කණ්ඩායමේ ලකුණු පුවරුවට තවත් ලකුණු තුනක් එක් කිරීමට සමත් විය. (CR&FC 41-26 CH&FC)

තරගය අවසන් වන තුරුම CH&FC කණ්ඩායම තම ප්‍රතිවාදියාගේ ආරක්ෂාව බිඳ හෙළීමට කොතෙක් උත්සාහක කළත් එම උත්සාහයන් සියල්ලක්ම ව්‍යර්ථ කරමින් පහසුවෙන් තරගය අවසන් කිරීමට CR&FC කණ්ඩායම සමත් විය.

අවසන් ලකුණු තත්වය – CR&FC 41 – 26 CH&FC

ThePapare.com තරගයේ වීරයා – ඔමල්ක ගුණරත්න (CR&FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් –

CR&FC – රීසා මුබාරක් (2P, 5C), කවිඳු ද කොස්තා 1T, ජනිදු ඩිල්ෂාන් 1T, සඳුන් හේරත් 1T, රන්දිත වර්ණපුර 1T, සුපුන් වර්ණකුලසූරිය 1T

CH&FC – ප්‍රසාද් මදුසංක 2T, වොරන් වීරකෝන් 1T, අර්ෂාඩ් ජමාල්ඩීන් 2C, දඬුවම් උත්සාහක දිනුම් 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<